slc
logo
Home   |    News
මාර්තු 29, 2023
යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි

sinhala editor

අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට එරෙහි තීරණාත්මක එක්දින තරගයෙන් ලකුණු 04 ක පරාජයක් ලැබීම නිසා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාාා තිබූ අවස්ථාව අහිමිව ගියේය.

ඉතාම තියුණු තරගයක මුහුණුවර ගත් මෙම තරගයේදී දෙපිළේම නායකයින් ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ. ඒ අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ බෂීර් අහමඩ් අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම වේදනාකාරී පරාජයට මුල් විය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු පිල නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුණු 323 ක් ලබා ගත් අතර එය මෙම තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද ඉශලම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. නමුත් එය හඹා යෑමේද ශ්‍රී ලංකා පිල පන්දුවාර 49.3 කදී ලකුණු 319 කට සීමා විය.

දැවැන්ත ඉලක්කය හඹා යෑමේදී සිනෙත් ජයවර්ධන සහ හිරුන් කපුරුණ්ඩාර මුලු ලකුණු සංඛ්‍යාව 12 ක්ව තිබියදී දවා ගැනීමට ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් සමත්විය. කෙසේ වෙතත් අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි නායක ෂෙවෝන් ඩැනියල් පළමු වතාවට ලකුණු අතරට පිවිසෙමින් ලකුණු 140 ක් රැස් කිරීමට සමත්විය. පන්දු 115 ක මුහුණ දුන් ෂෙවෝන් සිය ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් එල්ල කළේය.

ෂෙවෝන්ට සහායක් ලබා දීමට සෙසු පිතිකරුවන්ට නොහැකිවීම මෙම පරායට මුල් විය. කෙසේ වෙතත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නායකයාට එක් වුණු දිනුර කලුපහන ලකුණු 47 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට සහයෝගය ලබා දුන්නේය.

ශ්‍රී ලංකා ඉනිම කඩුලු 7 ක් ලකුණු 265 කට බිද වැටී තිබියදී පිටියට එක්වූ විශ්ව රාපක්ෂ සහ දුවිඳු රණතුංග 8 වැනි කඩුල්ලට ලකුණු 44 ක් එක් කරමින් නැවතත් තරගයේ බලාපොරොත්තු ශ්‍රී ලංකාවට ලබා දීමට සමත්වූහ. අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා අවශ්‍යව පැවැතියේ ලකුණු 6 ක් පමණක් වුවත්, එම පන්දු වාරය යැවූ කම්රන් හොටක් දුවිඳු රණතුංග සහ ට්‍රෙවීන් මැතිව්ගේ කඩුලු දවා ගනිමින් තරගයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්තානය වෙත ලබා දුන්නේය. එම පන්දුවාරයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස් කරගත හැකි වූයේ ලකුණක් පමණක් බැවින් අවසානයේ ලකුණු 04 ක පරාජයක් උරුම විණ.

පන්දු යැවීමේදී බෂිරී අහමඩ් ලකුනු 54 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගැනීමට සමත්වූ අතර එය මෙවර තරගාවලියේදී පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් විය.

ඇෆ්ගනිස්තානු පිල වෙනුවෙන් තෙවැනි කඩුල්ලට එක් වුණු නෝමාන් ෂා සහ සොහෙල් ඛාන් ලකුණු 151 ක සම්බන්ධතාවක් පවත්වමින් දැවැන්ත ඉනිමකට ශක්තිමත් අඩි තාලමක් එක් කළහ. එහිදී නායකත්වයේ වගකීම අකුරටම ඉටු කළ ෂා පන්දු 109 කට මුහුණ දෙමින් හතරේ පහර 13 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 116 ක් ලබා පිත්තෙන් කැපී පෙනිණ.

ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණ 323 යි – (නෝමන් ෂා 116, සස්බුල්ලා ඩොරනි 39, සුලිමන් අරබාසායි 12, සොහෙල් ඛාන් 52, කම්රන් හෝටක් 13, නසීර් ‌හසන් 14*, විශ්ව රාජපක්ෂ 56ත2, දිනුර කලුපහන 76/2, විශ්ව ළහිරු 41/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 319 යි – (ෂෙවෝන් ඩැනියල් 140, විශේන් හැළඹගේ 14, දිනුර කලුපහන 47, හිරාන් ජයසුන්දර 17, මල්ෂ තරුපති 18, විශ්ව රාජපක්ෂ 26, දුවිදු රණතුංග 27, බශීර් අහමඩ් 54/7, කම්රන් හොතක් 37/2)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest