slc
logo
Home   |    News
අප්‍රේල් 7, 2023
මේ තරුණ ක්‍රීඩකයින් අනාගතයේදී ශ්‍රී ලංකාව බබළවාවි – මිනෝද් භානුක

sinhala editor

නැෂනල් සුපර්ලීග් එක්දින තරගාවලියේ සහ ඊට පෙර පැවැති සිව්දින තරගාවලියේ ශූරතාවන් දෙකම දිනාගත් දඹුල්ල කණ්ඩායමට නායකත්වය ලබාදීමට අවස්ථාව උදාවීම පිළිබඳව තමා බෙහෙවින්ම සතුටු වන බව දඹුල්ල කණ්ඩායමේ නායක මිනෝද් භානුක බ්‍රහස්පතින්දා (6) රාත්‍රියේ පැවැති තරගාවසානයේදී සඳහන් කර සිටියේය.

සිව්දින ශූරතාව දිනාගැනීම වෙනුවෙන් තමන්ට වැඩිපුරම දායකත්වයක් ලබාදුන්නේ කණ්ඩායමේ තරුණ ජවය බව පවසා සිටි ජයග්‍රාහී කණ්ඩායමේ නායකයා එක්දින තරගාවලියේදීත් ඔවුන්ගේ දක්ෂතා ඉතා හොඳින් දැක ගැනීමට හැකිවූ බවත්, සඳහන් කර සිටියේ මේ තරුණ ක්‍රීඩකයන් අනාගතයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බබළවනු ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවැනි තරගාවලියන් නිරතරුවම පවත්වා අපේක්ෂා කළේ මෙවැනි යෞවනයන්ට ඉදිරියට යාමට අවස්ථාව සැළසීම බව පැවැසූ භානුක මේ තරගාවලියන් දෙකේදීම විදහා දැක්වුණු දක්ෂතාවයන්ගෙන් සහ පතිඵලයන්ගෙන් මෙය සනාථ වූ බව ද කීවේය.

දඹුල්ල කණ්ඩායමේ නායකයා මෙන්ම කණ්ඩායමේ කඩුලු රකින්නා ද වන මිනෝද් භානුක පවසන්නේ කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීම තමාට අමතර වාසියක්ව ඇත්තේ එම ස්ථානයට මුළු ක්‍රීඩාංගණයම පැහැදිලිව දක්නට ලැබෙන හෙයින් බවද කියයි.  භානුක නැෂනල් සුපර්ලීග් සිව්දින තරගාවලියේ දී ලකුණු 456ක් රැස් කරමින් එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්විය.

“සොනල් දිනුෂ, පවන් රත්නායක, දුෂාන් හේමන්ත අවුරුදු 20-21 යෞවනයන්.  අවසාන තරගයේදීත් ඊට පෙර තරගවලදීත් ජ්‍යෙෂ්ඨයින් සමග කරට කර ගැටී ක්‍රීඩා කළ අයුරු සැවොම දුටුවා.  අප දැනට ලබාගෙන තිබෙන මේ ගැම්ම දිගටම පවත්වාගෙන යාම අපගේ අපේක්ෂාවයි. සිව්දින තරගාවලියේ දී ජයග්‍රහණ හයක් සහ එක්දින තරගාවලියේ දී ජයග්‍රහණ නවයකින් අපගේ දක්ෂතා අපි ඔප්පු කර තිබෙනවා”

“ක්‍රීඩාංගණය තුළදීත් ඉන් බාහිරවත් අප සතු එකමුතුකම සහ කැපවීම මෙන්ම ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ යනුවෙන් පිල් නොබෙදී සැමට එක හා සමානව සැළකීම අපගේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුවක්.  මීට වසරකට පෙර සිව්දින තරගාවලියේ සහභාගි වූ තරග පහම පරාජය වූ අප දැන් සිව්දින තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියේත් ශූරයින් බවට පත් වො තියෙනවා. කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයනට මෙහි ගෞරවය හිමිවිය යුතුයි’.

“වනිඳු හසරංග ජාතික කණ්ඩායමේ මෙහෙවරෙහි යෙදී සිටින හෙයින් ඔහු වෙනුවට ක්‍රීඩා කළ දුෂාන් හේමන්ත දැක්වු දස්කම් ඉතාමත් ප්‍රශංසනීයයි.  දුෂාන් හේමන්තටත් තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස අනාගතයේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට හොද අවස්ථාවක් තියෙනවා” යැයි මිනෝද් භානුක සඳහන් කර සිටියේය.

වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි මිනෝද් භානුක කුරුණෑගල මලියදේව ජ්‍යෙෂ්ඨ පිල පසුව නියෝජනය කළේය.  ශ්‍රී ලංකා 19න් පහළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ එමර්ජින් කණ්ඩායම් නියෝජනය කළ භානුක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සහ එක්දින හතරක් ද විස්සයි-20 තරග පහක්ද නියෝජනය කර තිබේ.

 

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar