slc
logo
Home   |    News
අප්‍රේල් 30, 2023
අපිට දැන්අ අවශ්‍ය විදෙස් ටෙස්ට් ජයග්‍රහණ – දිමුත්

sinhala editor

අයර්ලන්තය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තද ශ්‍රී ලංකා පිල සහභාගීවන විදෙස් තරගාවලි ජය ගැනීම රටක් ලෙස ඉතා වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සදහන් කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවූ දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 10කින් ජය ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් කරුණාරත්න මේ බව පැවැසීය. මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ඉනිමක හා ලකුණු 280ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ අතර, එම ජයග්‍රහණය ශ්‍රී ලංකාව මෙතෙක් ටෙස්ට් තරගයකදී ලැබූ දැවැන්තම ජයග්‍රහණයවීම හේතුවෙන් නායක දිමුත් කරුණාරත්නට ද එය මිහිරි මතකයක් වූවේය.

“ අයර්ලන්තයට එරෙහි තරගාවලිය හැම පැත්තකින්ම හොදයි. ලැබූ ජයග්‍රහණය සම්බන්ධව නායකයෙකු ලෙස සතුටු වෙනවා. නමුත් අප කණ්ඩායමක් ලෙස මෙයට වඩා යමක් කළ යුතුයි කියා සිතනවා. අයර්ලන්තය වගේ කණ්ඩායමක් නොවෙයි. ටෙස්ට් පිටියේ එයට වඩා හොද කණ්ඩායමක් ඉදිරියේ සාර්ථකවීම වැදගත්. විශේෂයෙන්ම විදෙස් රටවලදී පවත්වන ටෙස්ට් තරගවලදී ලබා ගන්නා ජයග්‍රහණ විශේෂයි. අප ඒ සදහා සූදානම් විය යුතු වෙනවා. විදෙස් රටකදී පැවැත්වෙන තරගවලදී ලොකු ලකුණු ප්‍රමාණයකින් ජය ගැනීමට අප සැලසුම් සකස්කර ගත යුතුයි. මේ තරගාවලියේදී පිතිකරුවන්ගේ විශ්වාසය හොදින් වැඩි දියුණු වුණා. ඔවුන් ලකුණු ලබා ගැනීම තුලින් මානසික තත්ත්වය උසස් මට්ටමකට පැමිණියා. මේ තරගාවලියේදී අපට අවශ්‍ය වුණේ ක්‍රීඩකයන්ගේ විශ්වාසය ගොඩක් උඩට ගන්නයි. ඒක වුණා. බිහිවූ ක්‍රිකට් වාර්තා ගැන තරගය අතරතුරදී හිතන්නේ නෑ. අපට අවශ්‍ය වුණේ තරගය දිනන සැලසුම පමණයි. ඒ සදහා අවශ්‍ය වාතාවරණය සැකසීම තරගයක මූලිකව සිදු වන්නේ. ඒ ගැන තමයි නිතර සාකච්ඡා කරන්නේ. තරගයේ ප්‍රතිපල ආවාම තමයි බිහිවූ වාර්තා හා අනෙක් දේවල් ගැන සාකච්ඡ කරන්නේ“ දිමුත් කරුණාරත්න පැවැසීය.

මෙයට මාසයකට පමණ පෙර නවසීලන්තයේ පැවැති ටෙස්ට් තරගාවලිය අතතුරදී ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳ දිමුත් කරුණාරත්න කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හෙතෙම පැවැසූවේ නායකත්වය සම්බන්ධයෙන් තේරීම් කමිටුව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවයි.

“ මා එම ප්‍රකාශය කළ පසු නායකත්වයෙන් අයින් වෙන්නේ නැතිව තව ටික කාලයක් ඉන්න කියා තේරීම් කමිටුව ඉල්ලීම් කලා. මට අවශ්‍ය වුණා තේරීම් කමිටුව සමග තවදුරටත් කතා කරන්න. මේ අයර්ලන්ත තරගාවලිය අතරතුරදී ඔවුන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂාවෙන් සිටියා. නමුත් අවස්ථාවක් උදා වුණේ නෑ. ඉදිරියේදී තේරීම් කමිටුවේ සැලසුම් හා අපේක්ෂා පිළිබඳ සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. ඉන් අනතුරුව නායකත්වයේ සිටිනවාද? නැද්ද? යන්න ගැන යමක් කියන්න පුලුවන් වෙයි. තව අවුරුද්දක් ඉන්නවාද? දෙකක් ඉන්නවාද? වෙන කෙනෙකුට දෙනවාද? යන්න සාකච්ඡා කළ යුතුයි. තරග දිනනවා වගේම අපි ඊළග නායකයා හදන්නත් ඕනේ. දැනට කණ්ඩායමේ සම වයසේ ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනකු ඉන්නවා. ඔවුන්ගෙන් අයෙකුට නායකත්වය ලබාදීම කළ යුතුයි. ටෙස්ට් ශූරතාව වසර දෙකක් යන නිසා නායකත්වය පිළිබඳ සැලසුමක් තියෙන්න  අවශ්‍යයි. මොකද මාත් වයසට යනවා. කල් ඇතිව වගකීම් පැවැරීම කණ්ඩායමේ දියුණුවට හොදයි“ දිමුත් කරුණාරත්නගේ අදහස විය.

“ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 500ක් අයර්ලන්තය ගත්තාම අපි ලකුණු 700ක් ගහන්න ඕනේ කියා හිතුවා. අපේ පිතිකරුවන් ලකුණු වේගය හොදින් පවත්වාගෙන ගියා. ඇන්ජලෝ හා කුසල් වේගයෙන් ලකුණු ලබා ගැනීම අපට වාසියකන් වුණා. ඉන් පසුව අපි සැලසුම් කළා ජයග්‍රහණය කරන්න. අසිත, ප්‍රභාත් හා රමේෂ් හැම පන්දුවක්ම යැව්වේ පිතිකරුවන්ට හිසරදයක් වෙන්න. අසිත යොකර් එකයි බවුන්සර් එකයි හොදින් යැව්වා. රිවර්ස් ස්වින්ග් එකක් තිබුණා. ඒ නිසා අසිතව අපි හොදින් භාවිතා කළා. ඒ උපක්‍රමය දවසේ හොදින් වැඩ කළා“

“ආරම්භක පිතිකරුවෙකු ලෙස නිශාන් මධුෂ්කගේ ක්‍රීඩා විලාශයට මා හරිම කැමතියි. ඔහු තුල තියෙන්නේ හරිම සැහැල්ලු ක්‍රීඩා විලාශයක්. ඔහුගේ ක්‍රීඩා විලාශය හරිම සංවිධානාත්මකයි . ඔහු දන්නවා වේලාවට වැඩ කරන විදිහ. මොන වේලාවෙද පහර එල්ල කරන්නේ කියා ඔහු හොදින් සැලසුම් කරනවා. දැන් නිශාන් දන්නවා ටෙස්ට් පිටියේ ලකුණු 200ක් ගහන විදිහ. ඉදිරියේදී ලකුණු 300ක් හෝ එයට වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්නේ කොහාමද කියා ඔහු දැන් දන්නවා. පිතිකරුවෙකු ලෙස ඔහුට හොද අනාගතයක් තියෙනවා“

“ ක්‍රීඩකයෙකුට වැදගත් වන්නේ විශ්වාසය. ලකුණු අතරට ඇවිත් විශ්වාසය වැඩි කර ගන්නේ කොහොමද කියන එක තමයි පළමු දේ. ලකුණු තියෙනවා නම් පිතිකරුවෙකුට බයක් නෑ. දිගින් දිගටම විශ්වාසය ස්ථාවරව තබා ගැනීමත් වැදගත්. මා නායකයෙකු ලෙස කැමැති නෑ ක්‍රීඩකයෙකු පහර දෙන ස්ථානය වෙනස් කරන්න. පිතිකරුවෙකුට ස්ථානය පිළීබඳ විශ්වාසය වැදගත්. කුසල් මෙන්ඩිස් කලින් ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළා. දැන් ඔහු ස්ථීරවම අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරනවා. ඔහුට හොද විශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා. කුසල්ගේ එකම ප්‍රශ්නය තිබුණේ දීර්ඝ ඉනිම් ගොඩනගා නොතිබීමයි. නමුත් ද්විත්ව ශතකය වාර්තා කිරීමත් සමග ඔහු ඔප්පු කළා දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමේ කුසලතා ඔහු සතු බව. කුසල් ටෙස්ට් තරගවලට අමතරව එක්දින හා විස්සයි 20 තරගවලට ක්‍රීඩා කරනවා. මේ අංශ තුනේම ක්‍රීඩා කිරීම ලෙහෙසි නෑ. කුසල් කණ්ඩායමට අවශ්‍ය දේ ලබා දීම සතුටුයි.“ දිමුත් පැවැසීය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගී වූ ටෙස්ට් ක්‍රිකට් තරග 43කින් තරග 25ක ජය වාර්තා කර ඇති හෙයින් ලබාදෙන තණතිල්ල සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු දිමුත්ගෙන් ප්‍රශ්න කළේය.

“අපි ඉල්ලන්නේ මුල් දවස් තුනේ හොදින් පන්දුවට පහරදී අනතුරුව පන්දු යවන්නන්ට හොද විකට්ටුවක් ලබාදෙන ලෙසයි. ඒ කියන්නේ 50ට 50 පමණ දෙපැත්තටම සමබර විකට් එකක් අප ඉල්ලන්නේ. මොකද ටෙස්ට් තරගයක් මලානික ලෙස අවසන් විය යුතු නෑ. හොද තරගයක් දැක බලා ගැනීමට හොද විකට්ටුවක් අවශයයි. ගාල්ල අපට කොහොමත් වාසිදායකයි. අපේ දඟ පන්දු යවන්නන්ට ලොකු සහයෝගයක් ලැබෙනවා. අපට මීළග ටෙස්ට් තරගාවලිය එන්නේ පාකිස්තානයට එරෙහිවයි. ඒ සදහා හොදින් සූදානම්වීම අයර්ලන්ත තරගාවලියේ ජයග්‍රහණය වැදගත් වෙනවා“ දිමුත් කරුණාරත්න සදහන් කළේය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest