ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් සහ 19 න් පහළ ක්‍රිකට් තරගාවලි නියෝජනය කරනු ලබන පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යෑම සඳහා ‘ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටල’ ඇතුළත් බෑගයක් බෙදාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය ලෙසින් සැලකෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම අරමුණු කොට සෑම පාසලකට මෙම ක්‍රීඩා උපකරණ කට්ටල බෙදාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව සිදුකරනු ලබයි. 2023 වසරේ සිදුකරනු ලබන මෙම උපකරණ බෙදාදීමේ වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 25 ක වූ පාසල් 424 කට මෙම ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමට පියවර ගැනුණි.
ක්‍රිකට් පිති 2 ක්, හිස් ආවරණ 2 ක්, පා ආවරණ කට්ටල 3 ක්, අත් ආවරණ කට්ටල 4, කලවා ආවරණ 3 ක්, කඩුලු රැකීම සඳහා යොදා ගනු ලබන අත් ආවරණ සහ පා ආවරණ කට්ටලයක් බෙදා දෙන ලද පාසල් උපකරණ බෑගයට ඇතුළත් විය.
ශ්‍රී ලංකාව තුළ උත්පත්තිය ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථාව උදාකරලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා සිදුකරනු ලබන ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහනේ එක් අදියරක් වශයෙන් මෙම ක්‍රිකට් ක්‍රීඩා උපකරණ බෙදාදීමේ වැඩසටහන හඳුන්වාදිය හැක. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් සමග එක්ව මෙම උපකරණ බෙදාදීමේ වැඩසටහන දීපව්‍යාප්තව සිදුකෙරිණ.
කොවිඩ් වෛරසයෙන් ශ්‍රී ලංකාවට සිදුවූ බලපෑම නිසා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යෑම එම පාසල් වලට දැඩි අසීරු කරුණක් බව සෑම දෙනාම දන්නා කරුණකි. මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කොට සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ විධායක සභාව, ශ්‍රී ලංකාව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන සෑම පාසලකටම මෙම ක්‍රිකට් ආම්පන්න සහිත බෑගය බැගින් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කරන ලදී. එහි සමාරම්භක වැඩසටහන 2022 වසරේදී වයස අවුරුදු 13 න් පහළ සහ 15 න් පහළ කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 650 කට ක්‍රිකට් උපකරණ කට්ටල ඇතුළත් බෑගයක් බැගින් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.
කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, රත්නපුර, මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පාසල් සදහා මෙම ක්‍රීඩා උපකරණ ඇතුළත් බෑගය බෙදා දෙන ලදී.