slc
logo
Home   |    News
අප්‍රේල් 24, 2023
අයර්ලන්ත පිතිකරුවෝ දිගු ඉනිමකට සැරසෙති

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නතර කරන විට පූර්ණ ගෞරව අත්කර ගැනීමට අයර්ලන්ත පිතිකරුවෝ සමත්වූහ. පළමු ටෙස්ට් තරගයේදී බිංදුවටම වැටුණු සංචාරකයෝ යළි සාර්ථකත්වයට පැමිණියේ පළමු දින අවසනදී කඩුලු 4 කට ලකුණු 319 ක් ලකුණු පුවරුවේ රඳවමිනි.

ලකුණු 89 කට මුල් පෙළ කඩුලු 3 ම දැවී ගොස් තිබියදී පිටියට එක්වූ නායක ඇන්ඩි බිල්බර්නි සහ පෝල් ස්ටර්ලිංග් සිව්වැනි කඩුල්ල වෙනූවෙන් වාර්තාගත ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩ නඟමින් අයර්ලන්ත පළමු ඉනිමට සාර්ථක අඩිතාලමක් එක් කළහ.

දිවා ආහාරයෙන් පසු තරගයේ සියලු පාලනය අතට ගත් නායක බැල්බර්නි සහ උප නායක ස්ටර්ලිංග් පළමු සැසියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ වාසි සියල්ලම ඈතට රැගෙන යමිනි. තේ පානය තෙක්ම කඩුලු ආරක්ෂා කරගත් මොවුන් දෙපළගේ සම්බනන්ධතාව බිඳ වැටුණේ ස්ටර්ලිංග්ගේ පාදයේ මස් පිඬු පෙරැළී යෑමත් සමඟිනි. එයට මේ දින වල පවතින අධික රශ්නය ද ප්‍රධාන හේතු සාධක විය. ස්ටර්ලිංග් පිටියෙන් ඉවත් වන විට පන්දු 133 කට මුහුණ දී ලකුණු 74 ක් ලබා ගත්තේ හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක්ද එල්ල කරමිනි. තාවකාලිකව ඉනිම නතර කොට ස්ටර්ලිංග් පිටියෙන් ඉවතට ගියද දෙවැනි දිනයේදී ඔහු යළිත් පන්දුවට පහර දීමේ සූදානමිිින් සිටින්නේය.

එම සිදුවීමට පෙර මොවුන් දෙදෙනා එක්ව එරට ටෙස්ට් තරගවල ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලයක් වාර්තා කරන ලද ඉහළම කුණු සම්බන්ධතාව වාර්තා කිරීමට සමත්වූහ.  කෙවින් ඔබ්‍රියන් සහ ස්ටුවර්ට් තොම්සන් අතර 2018 වසරේදී පාකිස්තානයට එරෙහිව 7 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කර ඇති ලකුණු 114 අයර්ලන්ත ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ‌ලෙසින් සටහන් වේ.

අයර්ලන්ත ඉනිම බැල්බර්නිගේ ඉනිම වටා ගොඩ නැංවිණ. සිව්වැනි පන්දුවාරයේ සිට පන්දුවට පහර දීමට පැමිණි දකුණත් පිතිකරුවා මුහුණ දුන් 41 වැනි පන්දුවේදී සිය ටෙස්ට් තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය සපුරා ගත්තේ ඉනිමට හතරේ පහර 10 ක්ම ඇතුළත් කර ගනිමිනි. අර්ධ ශතකය වාර්තා කර ගැනීමෙන් පසු තැන්පත් ඉනිමක නිරත වුණු අයර්ලන්ත නායකයා ඉතිරි ලකුණු 44 ලබා ගැනීම සදහා පන්දු 122 කට මුහුණ දුන්නේය. ඒ අතර තුර පන්දුව සිවු වතාවකදී පමණක් හතරේ සීමාව වෙත යැවීමට තරම් හේ පරෙස්සම් සහගතව පන්දුවට පහර දුන්නේය. රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී එය පිත්තේ නොපිට පැත්තේ වැදී ස්ලිප් ස්ථානයේ පන්දු රැකි ධනංජය ද සිල්වා රැක ගැනීම නිසා මංගල ශතකය ලබා ගැනීමට බැල්බර්නිට තිබූ අවස්ථාව අහිමි වූවේය.

මොවුන් දෙදෙනා පිටියෙන් ඉවත්ව ගියද අධිෂ්ඨානශීලී ඉනිමක් දියත් කළ ලෝර්කන් ටකර් පන්දු 102 කදි ලකුණු 78 ක් ලබා තරගයේ දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමට සූදානමින් සිටින්නේය. වර්තමාන කණ්ඩායමේ ශතක ලාභී පිතිකරුවකු වන ටකර් කර්ටිස් කැම්පර් සමඟ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩ නගා සිටියි. ඊට කැම්පර්ගේ දායකත්වය පන්දු 64 කදී ලකුණු 27 කිනි.

පන්දු යැවීම දෙස අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අයර්ලන්ත පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමට අපොහොසත් වූහ. ඒ අතරින් යම්තාක් දුරටකට සාර්ථක වූ පන්දු යවන්නා වූයේ ප්‍රභාත් ජයසූරිය වේ. දිනයේ ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 90 න් පන්දුවාර 32 ක් යැවූ වමත් දඟ පන්දු යවන්නා ලකුණු 92 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත පිලේ ආරම්භය තරමක් වික්ෂිප්ත කිරීමට ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වන ප්‍රනාන්දු යුගලය සමත්වූහ. විශ්ව සහ අසිත එක්ව ඉතා හොදින් පන්දුව දෝලනය කරමින්  පන්දු යැවූ නමුත්, අසිත පමණක් කඩුල්ලක් දවා ගත්තේය. ජයසූරිය සමඟ අනෙක් ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට ඇතුළත්ව සිටින රමේෂ් මෙන්ඩිස් බැල්බර්නිගේ කඩුල්ල දවා ගත් නමුත් සමස්ථ පන්දු යැවීම දෙස බැලීමේදී එය ප්‍රශස්ථ මට්ටමක නොතිබුණේ ප්‍රතිවාදී පිතිකරුවන් ඔහුගේ පන්දුවලට ලබා ගෙන තිබෙන දළ ලකුණු වේගය දෙස අවධාන යොමු කිරීමේදීය. පන්දුවාර 19 ක් යැවූ රමේෂ්‌ට ලකුණු 84 කට එක් කඩුල්ලක් ලබාගෙන ගැනීමට පන්දුවාරයකට දළ ලකුණු ලබා ගැනීමේ වේගය 4.42 ක් රඳවා තබා ගනිමිනි.

කාසි‌යේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දී ශ්‍රී ලංකාවට අභියෝගයක් ලබා දීම අයර්ලන්ත සැලසුම විය. විශ්ව ප්‍රනාන්දු විසින් යවන ලද තරගයේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවම ප්‍රබල ඉල්ලීමකින් ආරම්භ වුවද එය විනිසුරු කුමාර් ධර්මසේන නිෂ්ප්‍රභා කළේය.

පිටියේ විනිසුරුවරයාගේ තීරණයෙන් සෑහීමකට පත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම එය අභියෝගයට ලක් නොකිරීමට වග බලා ගත්තේ පන්දුව පා ඉන්න ප්‍රදේශයට පිටින් පතිත වූයේ ද යන්න සැකය හේතුවෙනි. එය එලෙසින්ම පා ඉන්නට පිටතින් පතිතවූ අයුරු පැහැදිළිවම දැකගත හැකි විය. යම් ලෙසකින් ධර්මසේන මහතාගේ තීරණය අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකා නායකයා පියවර ගෙන තිබුණේ නම් ශ්‍රී ලංකාවට නිසැකයෙන්ම තෙවැනි විනිසුරු විමසීමේ අවස්ථාවක් අහිමිව යනු ඇත.

ප්‍රභාත් ජයසූරිය සිය සුපරුදු ඉලක්කයට ඉක්මනින් අනුගත වෙමින් පන්දු යවනු දැක ගත හැකි වුවත් රමේෂ් මෙන්ඩිස්ගෙන් එවන්නක් දැක ගත නොහැකි විය. දිවා භෝජනය තෙක් යවන ලද පන්දුවාර 8 දී කුණු 33 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වී සිටියහ.

අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ පීටර් මුවර් දැවී නොගිය පිතිකරුවකු ලෙස ප්‍රධාන විනිසුරු පෝල් රයිෆල් මහතා සදහන් කර සිටියත් එය ‌තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේදී කෙළින්ම කඩුල්ලේ වදින පන්දුවක් ලෙසින් දිස්විය. එබැවින් මුවර් ලකුණු 05 කට දැවී ගියේය.

අසිත හරුණු කොට අද තරගයට ක්‍රීඩා කරන විශ්වට කඩුලු දවා ගැනීමට අවස්ථාව නොමැති වුවත් ඉතාම හොඳින් පන්දු ය වන ආකාරය දැක ගත හැකි විය. නිවැරදි ස්ථානයට පතිත කිරීම මෙන්ම පන්දුවේ දෝලනයද ඉතා හොඳින් දැක ගත හැකි වූ නමුත් එම සෑම අවස්ථාවකදීම විශ්වට වඩා අයර්ලන්ත පිතිකරුවෝ වාසනාවන්ත වූහ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee