slc
logo
Home   |    News
අප්‍රේල් 23, 2023
ප්‍රභාත් ජයසූරිය ‘වේගවත්ම දඟයාගේ’ ලෝක වාර්තාව අභියස

sinhala editor

ලෝකයේ සාර්ථකතම දකුණත් හා වමත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනාම ශ්‍රී ලංකාවෙන් බිහිවී ඇති පසුබිමක, වසර සිය ගණනකටත් වැඩි ඈතකට දිවයන ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ එදා මෙදාතුර වේගවත්ම ටෙස්ට් කඩුලු 50 වාර්තා කළ දඟ පන්දු යවන්නා බවට වන ලෝක වාර්තාව අභියසට පැමිණීමට වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය සමත්ව සිටීම ලක් මාතාවට අති විශාල අභිමානයකි.

අයර්ලන්තය සමග ගාල්ලේදී ආරම්භවන මීළග දෙවැනි ටෙස්ට් තරගයේදී ප්‍රභාත් ජයසූරිය තවත් ටෙස්ට් කඩුලු 7ක් දවාගතහොත් වසර 146ක් පැරණි ලෝක ටෙස්ට් තරග බිමේ වේගවත්ම ටෙස්ට් කඩුලු 50 වාර්තා කළ දඟ පන්දු යවන්නාගේ ලෝක වාර්තාව පිහිටුවීම කිසිවෙකුට හෝ වැලැක්වීමට නොහැක. එමෙන්ම කෙටි කලක් තුල අඩුම ටෙස්ට් තරග ගණනකදී කඩුලු 50ක් බිදහෙලාගත් ශ්‍රී ලංකාවේ පළමු පන්දු යවන්නාගේ වාර්තාව ද ප්‍රභාත් ජයසූරිය සතුවනු ඇත.

ප්‍රභාත් මෙතෙක් ටෙස්ට් තරග 6කට සහභාගීවී ඉනිම 11ක් තුල පන්දු 1881කදී ලකුණු 923කට කඩුලු 43ක් දවාගෙන වේගයෙන් කඩුලු බිදහෙලූ දඟ පන්දු යවන්නා බවට පත්ව සිටින අතර, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇල්ෆර්ඩ් ලුයිස් වැලන්ටයින් 1951දී ටෙස්ට් තරග 8කදී වේගවත්ම ටෙස්ට් කඩුලු 50 වාර්තා කළ දඟ පන්දු යවන්නා ලෙස වාර්තා පොත්වල සටහන්ව තිබේ.

තරග 6කදී වේගවත්ම ටෙස්ට් කඩුලු 50 වාර්තා කළ පන්දු යවන්නකු හා තරග 7කදී ටෙස්ට් කඩුලු 50 වාර්තා කළ පන්දු යවන්නන් 2ක් වාර්තා පොතේ ඉදිරියෙන් සිටියද ඔවුන් සියලු දෙනා වේග පන්දු යවන්නන් වීම කැපී පෙනේ. එලෙස තරග 6කදී ලොව වේගවත්ම ටෙස්ට් කඩුලු 50 වාර්තා කළ පන්දු යවන්නා ලෙස ඔස්ට්‍රේලියාවේ චාල්ස් තෝමස් ටර්නර් ඉදිරියෙන් සිටින අතර, ඔහු 1888දී එම දස්කම දක්වා තිබේ.

තරග 7කදී ටෙස්ට් කඩුලු 50 වාර්තා කළ වේග පන්දු යවන්නන් අතර, 1896දී එංගලන්තයේ තෝමස් රිචර්ඩ්සන් හා 2012දී දකුණු අප්‍රිකාවේ වර්නන් ෆිලෙන්ඩර් සිටිති. 1883දී ඔස්ට්‍රේලියාවේ ෆෙඩ්රික් රොබර්ට් ටෙස්ට් තරග 8ක් වෙද්දී කඩුලු 50ක් වාර්තා කළ අනෙක් වේග පන්දු යවන්නා වේ.

මේ සිවුදෙනාට පසුපසින් සිටින සියලු ක්‍රීඩකයන් ටෙස්ට් තරග 8කින් පසුව කඩුලු 50ක් ලබාගත් අය බැවින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය මීළග 7වැනි ටෙස්ට් තරගයේදී තවත් කඩුලු 7ක් ලබාගෙන ලෝක ටෙස්ට් තරග බිමේ වේගවත්ම ටෙස්ට් කඩුලු 50 වාර්තා කළ ලොව පළමු දඟ පන්දු යවන්නා බවට ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළනු ඇතැයි විශ්වාස කළ හැක.

පසුගිය වසරේ ජූලි මාසයේදී රසිකයින්ගේ ඡන්දයකින් පසු අයිසීසී සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් වූ අතර එවිට ඔහු ටෙස්ට් තරග 3කදී කඩුලු 29ක් දවාගෙන තිබිණි.

මාතලේ ක්‍රිස්තු දේව විදුහලින් හා කොළඹ ලුම්බිණි විදුහලෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ දැනට 31වැනි වියෙහි පසුවන ප්‍රභාත් ජයසූරිය කෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් පසු සිංහල ක්‍රීඩා සමාජයට එක්ව ක්‍රීඩා කරමින් සිටී.‍

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලෝකයේ විශාල අවධානයක් ලබාදෙමින් 1992 – 2010 ටෙස්ට් තරඟ දිවිය තුළ මුත්තයියා මුරලිදරන් දවා ගත් කඩුලු සංඛ්‍යාව 800 කි. ඔහුට පසු එම ලයිස්තුවේ සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වොන් සහ ඉන්දීය ක්‍රීඩක අනිල් කුම්බ්ලේ පිළිවෙලින් කඩුලු 708 සහ 619 දවා ගත්හ. වේගයෙන්ම කඩුලු 500, 600, 700, 750 සහ 800 සීමා වෙත ළඟා වූ ක්‍රීඩකයා වූයේ ද මුරලිය.

දකුණත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ටෙස්ට් කඩුලු 400ක් ලබාගත් ලොව පළමු වමත් පන්දු යවන්නා ලෙස ටෙස්ට් වංශ කතාවට එක් වූවේය. විශේෂඥ දඟ පන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රංගන හේරත් සිය ටෙස්ට් දිවිය තුළ කඩුලු 433ක් ලබාගෙන ඇති ඔහු ටෙස්ට් කඩුලු 400 සීමාව ඉක්මවූ එකම වමත් දඟපන්දු යවන්නා ද වෙනවා.

2018 වසරේ දී ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ලොව සාර්ථකම වමත් පන්දු යවන්නා බවට පත්වූ අතර, 2019 වසරේ දී සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා කරන තුරුම ඔහු දෙවැනි වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට පමණි. රංගන හේරත්ගේ ටෙස්ට් කඩුලු 433 අතරට කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථාවන් 34ක් වාර්තා වන අතර එය ලොව දෙවැනි වැඩිම කඩුලු 5 බැගින් ලබා ගත් අවස්ථා සංඛ්‍යාවයි.

එක් ක්‍රීඩාංගණයකදී ලොව වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණි මුරලිදරන් සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී (SSC) පැවති ටෙස්ට් තරඟවලදී කඩුලු සංඛ්‍යාව 166ක් දවා ගත්තේය. ඔහු මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණයේ සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පිළිවෙලින් කඩුලු 117 සහ 111 බැගින් දවා ගෙන ඇත.

ප්‍රභාත් ජයසූරිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පමණක් ටෙස්ට් තරග 4කදී මේ වනවිට බිදහෙලා ඇති කඩුලු ගණන 39 කි.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest