slc
logo
Home   |    News
මැයි 9, 2023
බංග්ලාදේශ කාන්තා පිල විස්සයි-20 පෙරමුණට

sinhala editor

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ අද (09 දා) ආරම්භ වුණු තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත්වූහ. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලද ජයත් සමඟ තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමටද සංචාරක ක්‍රීඩිකාවෝ සමත්වූහ.

18 වැනි පන්දුවාරය තෙක්ම තරගය ජය ගැනීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුවත් චමරි අතපත්තු විසින් යවන ලද 19 වැනි පන්දුවාරයේදී ප්‍රතිවාදී නායිකා නිගර් සුල්තානා සහ රිතූ මෝනි එක්ව ලකුණු 17 ක් උදුරා ගැනීමත් සමඟ සියලු වාසි බංග්ලාදේශ කණ්ඩායම වෙත දෝලනය විය. එම පන්දුවාරය යැවීමට පෙර බංග්ලාදේශ පිලේ ඉලක්කය පන්දු 12 කදී ලකුණු 24 ක් විය.

ලකුණු 146 ක ඉලක්කයක් හඹා යෑමේදී පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන් ආරම්භක පිතිකාරිණියන් වූ ශමිමා සුල්තානා සහ රූබි හයිදර් දැවී ගියද තෙවැනි කඩුල්ලට එක් වුණු නායිකා නිගර් සුල්තානා සහ ෂෝභනා මොස්ටරි ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූහ. බංග්ලාදේශ ඉනිම ගොඩ නැංවුණු ස්ල්තානා 6 වැනි පන්දුවාරයේදී හතරේ පහර 3 ක් එල්ල කරමින් පිතිකාරිණියක් ලෙස ස්ථාවරත්වයක් ගොඩ නඟා ගත්තාය.

මෙතෙක් තරගාවලියේ පැවැති තරග අතරින් වර්ෂාවෙන් බාධා නොමැතිව පැවැති එකම තරගය බවට පත් වුණු අද තරගයේදී තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දැමීම සඳහා පහසුම අවස්ථා 2 ක් හිමි වුවද එය ශ්‍රී ලංකා පන්දු රකින්නියන් අතින් ගිලිහී ගියේය.

ඒ හැරුණු විට නායිකා සුල්තානා (‌නොදැවී 75) සහ රිතූ මෝනි (නොදැවී 33)ගේ ඉනිම නිමා කිරීමට ප්‍රබල දඟ පන්දු යවන්නියන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සුල්තානා හ‌යේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමඟින් පන්දු 51 කදී ලකුණු 75 ක් ලබා ගත්තාය.

මෙම ජයග්‍රහණය බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිජ බිමේදී ලද පළමු විස්සයි-20 ජයග්‍රහණය මෙන්ම 2014 වසරෙන් පසු ලද පළමු ජයග්‍රහණය විය. 2014 වසරේදී අවසන් වතාවට ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමෙන් පසු ක්‍රීඩා කරන ලද විස්සයි-20 තරග 7 ම බංග්ලාදේශ පිල පරාජයට පත්ව තිබේ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර සුපුරුදු පරිදි විශ්මි ගුණරත්න සමග එක්වෙමින් ප්‍රහාරාත්මක ආරම්භක් ලබා දීමට සමත්විය. විශ්මි ලකුණු 11 දී දැවී ගියද චමරිට එක්වූ හර්ෂිතා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක් එක් කළහ. සුපුරුදු ආක්‍රමණශීලී පිතිහරඹ රටාවේ නියැළි නායිකාව අතපත්තු සිත්සේ පන්දුවට පහර දේදදී නහිඩා අක්ටර් හමුවේ අනපේක්ෂිතව දැවී ගියාය. ඒ පවන විටත් ඇය පන්දු 28 කට මුහුණ දෙමින් ඉන් තෙවතාවක් හතරේ සීමාවට ඉහළින්ද දෙවතාවක් හතරේ සීමාව පසු කරමින්ද පන්දුව යවමින් ලකුණු 38 ක් ලබා සිටියාය.

චමරිගේ දැවී යෑමෙන් පසු කණ්ඩායම රැගෙන යෑමේ වගකීම කරට ගත් හර්ෂිතා නැවතත් ලකුණු අතරට පිවිසෙමින් පන්දු 44 කදී ලකුණු 44 ක් රැස් කරගත්තේය. හතරේ පහර 5 කින් සමන්විත වුනු හර්ෂිතාගේ ඉනිමත් පන්දු 28 කදී වාර්තා වුණ ුනිලක්ෂිගේ ලකුණු 29 ක ඉනිමත් ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 150 සීමාවට රැගෙන යෑමට රුකුළක් විණ.

16 වැනි පන්දුවාරයේදී හර්ෂිතාගේ දැවී යෑමෙන් පසු ඉනිම නිමා වන තෙක් යවන ලද පන්දු 27 ඇතුළත ශ්‍රී ලංකා පිතිකාරිණියන්ව ඇද බැද තබා ගත් බංග්ලාදේශ පන්දු යවන්නියෝ ඒ අතරතුර කාලයේදී හතරේ පහර 2 ක් පමණක් ප්‍රතිවාදී පිතිකාරිණියන්ට ලබාදී තිබිණ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය ලබන 11 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 145 යි – (හර්ෂිතා සමරවික්‍රම 45, චමරි අතපත්තු 38, විශ්මි ගුණරත්න 11, නිලක්ෂි ද සිල්වා 29*, හසිනි පෙ‌රේරා 01, කවීෂා දිල්හාරි 00, අනුෂ්කා සංජීවනී 00, ඔෂධී රණසිංහ 08*, ෆහිමා කටුන් 20/2, රබේයා කාන් 23/1, නහිඩා අක්ටර් 35/1, සුල්ටානා ඛටුන් 30/1, ෆරිහා ට්‍රිෂ්නා 35/1)

බංග්ලාදේශ කාන්තා පිල පන්දුවාර 19.5 කදී කඩුලු 4 ට ලකුණු 146 යි – (නිගර් සුල්ටානා 75*, රිතූ මෝනි 33*, ශමිමා සුල්ටාන් 05, රුබ්හා හයිදර් 09, ෂෝභනා මොස්ටරි 17, මුර්ෂිදා ඛටුන් 00*, උදේශිකා ප්‍රබෝධනී 07/1, කාව්‍යා කාවීන්දි 14/1, ඔෂදී රණසිංහ 39/1)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest