slc
logo
Home   |    News
මැයි 28, 2023
වත්මන් ශූර යුද හමුදාව පළමු තරගයම පරදියි

sinhala editor

එන්.සී.සී. කණ්ඩායමේ වමත් පිතිකරු 38 හැවිරිදි උපුල් තරංග මැයි 27 වැනිදා ආරම්භ වූ 2023 මේජර් අන්තර් සමාජ විස්සයි 20 තරගාවලියේ පානදුර කණ්ඩායම සමඟ තරගයේදී ලකුණු 89ක් රැස් කරමින් දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. මේ තරගයෙන් එන්.සී.සී. කණ්ඩායමට ලකුණු 48ක පහසු ජයක් ද අත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම තරගාවලියේ ප්‍රථම දිනයේ ජය අත්කරගත් කණ්ඩායම් හතර වූයේ එන්.සී.සී., චිලව් මේරියන්ස්, මුවර්ස් සහ සී.සී.සී. ය. එන්.සී.සී. කණ්ඩායමේ උපුල් තරංග දිනයේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 89ක් රැස් කළේ පන්දු 58කට මුහුණදී හතරේ අටක් සහ හයේ පහර හතරක් ද එල්ල කරමිනි.

මීට අමතරව මෙදින ජයගත් කණ්ඩායම් වූ චිලව් මේරියන්ස් කඩුලු හතරකින් ශ්‍රී ලංකා යුද හමුදාව ද මුවර්ස් කඩුලු අටකින් කැන්ඩි කස්ටම් ද සී.සී.සී. ලකුණු 107කින් ගෝල් කණ්ඩායම ද පරාජය කළහ. යුද හමුදා කණ්ඩායම ගිය වර ශූරයින් වූ අතර ඔවුන් මෙවර තරග වාරයේ පළමු තරගයම පරාජයට පත්වීම කැපී පෙනෙයි.

මෙදින අර්ධ ශතක රැස් කළ අනෙක් පිතිකරුවන් දෙදෙනා වූ සී.සී.සී. කණ්ඩායමේ විනුෂ්ක සිල්වා (74) සහ සොනල් දිනුෂ (නොදැවී 51) ගෝල් සමඟ දක්ෂතා දැක් වූහ. සොනල් දිනුෂ පන්දු යැවීමේදී ලකුණු හයකට කඩුලු තුනක් දවා තුන් ඉරියව්වේම කැපී පෙනුණි.

මුවර්ස් කණ්ඩායමේ මල්ෂා තරුපති කැන්ඩි කස්ටම් සමඟ ලකුණු 12කට කඩුලු හතරක් දවා දිනයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේය.

 

  • එන්.සී.සී. ලකුණු 48කින් පාණදුර පරාජය කරයි

එන්.සී.සී. කණ්ඩායමේ අංක හතර පිතිකරු 38 හැවිරිදි උපුල් තරංග  පන්දු 58කදී හතරේ පහර අටක් සහ හයේ පහර හතරක් සමඟ  ලකුණු 89ක් රැස් කරමින් එන්.සී.සී. කණ්ඩායමට ලකුණු 48කින් පාණදුර පරාජයට පත් කිරීමට මූලිකව ක්‍රියා කළේය .

මග්ගොන සරේ  ක්‍රීඩාංගණයේ  පැවැති  මෙම ‘ඒ’ කොටසේ තරගයේදී මුලින් පන්දුවට පහරදුන්  එන්.සී.සී. කණ්ඩායමේ තෙවන කඩුල්ලට උපුල් තරංග (89) සහ කවීෂ  අභිෂේක්  (46) ලකුණු 92ක සබඳතාවයක් තබා ගත්තේ පන්දු 69කට මුහුණ දීමෙනි.

එන්.සී.සී. සිව්වන කඩුල්ලට මීටත් වඩා ආක්‍රමණශීලීව පන්දුවට පහර දුන් උපුල් තරංග සහ අහන් වික්‍රමසිංහ ලකුණු 68ක් එක්කළේ පන්දු 31කට පමණක් මුහුණ දෙමිනි.

එන්.සී.සී. වෙනුවෙන් උපුල්  තරංගට අමතරව දස්කම්පෑ කවීෂ අභිෂේක් පන්දු 31කදී හතරේ පහර හයක් හයේ පහරක්  සමඟ ලකුණු 46ක් ද  අහන් වික්‍රමසිංහ පන්දු  11කදී හතරේ තුනක් සමඟ  නොදැවී ලකුණු 19ක් ද  ලබා සිටියහ.

පාණදුර වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ සිනෙත් ජයවර්ධන පන්දු 29කදී හතරේ පහක් හයේ දෙකක් සමඟ  ලකුණු 42ක් ද සුඛිත මනෝජ් පන්දු 32කදී හතරේ දෙකක් හයේ දෙකක් සමඟ  ලකුණු 43ක් ද රැස් කළහ. එම ඉනිමේ හොඳම සබඳතාව ලෙස මොවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට ලකුණු 39ක් එක් කළහ.

ලකුණු පුවරුව

 එන්.සී.සී. කඩුලු 4ට 182 (පන්දු වාර 20යි) – (උපුල් තරංග 89, කවීෂ  අභිෂේක් 46, අහන් වික්‍රමසිංහ  නොදැවී 19, නිරෝෂන් දික්වැල්ල 15, යසාන් කවිශ්ක 18/1, කවීෂ සත්සර 33/1යි).

පානදුර සියල්ල දැවී 134යි. (පන්දුවාර 19.4යි) – (සිනෙත් ජයවර්ධන 42, සුඛිත මනෝජ් 42, අසේල් සිගේරා 8/3, චාමික ගුණසේකර 26/2යි).

 

  • චිලව් මේරියන්ස් කඩුලු හතරකින් යුද හමුදාව පරාජ කරයි.

සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ‘ඒ‘ කොටසට අයත් මේ තරගයේදී මුලින් පන්දුවට පහරදුන් යුද හමුදාව පන්දු වාර 8.5ක් වන විට ලකුණු 43කට කඩුලු පහක්ම දැවී අසීරුම තත්ත්වයක සිටියදී නායක තිසර පෙරේරා ලකුණු 41ක් ද (පන්දු 28යි හතරේ දෙකයි හයේ දෙකයි) සහ පැතුම් කුමාර ලකුණු 45ක් ද (පන්දු 37යි හතරේ පහයි)  හය වන කඩුල්ලට ලකුණු 90ක් රැස් කිරීමෙන් එම කණ්ඩායමට පන්දු වාර 20 වන විට ලකුණු 143ක් කරා යාමට අවස්ථාව උදා විණි.

චිලව් මේරියන්ස් ලකුණු144ක ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී පන්දු වාර නවයක් වන විට ලකුණු 50කට කඩුුලු තුනක් දැවී සිටියත් සිව්වන කඩුල්ලට සුපුන් කාවින්ද (36) සහ චමෝද් සඳරු (36) ලකුණු 71ක සබඳතාවයකින් තම කණ්ඩායම  ජයග්‍රහණය කරාගෙන ගියහ.

මෙහිදී දැඩි ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැලුණු සුපුන් කාවින්ද පන්දු 17කට මුහුණදී හයේ තුනක් සහ හතරේ තුනක් සමඟ ලකුණු 36ක් ද චමෝද් සඳරුවන් පන්දු 26කදී හයේ තුනක් සහ හතරේ පහරක් සමඟ ලකුණු 35ක් ද එක් කළහ.

චිලව් කණ්ඩායමේ නිපුන් ප්‍රේමරත්න සහ කවිඳු නිර්මාණත් යුද හමුදාවේ ලක්ෂාන් එදිරිසිංහ සහ කෞමාල් නානායක්කාරත් පන්දු යැවීමේදී කැපී පෙනුණි.

ලකුණු පුවරුව

 යුද හමුදාව කඩුලු 7ට 143යි (පන්දු වාර 20යි) – පැතුම් කුමාර 45, තිසර පෙරේරා 41, ෂෙහාන් ප්‍රනාන්දු 10යි. නිපුන් ප්‍රේමරත්න 23/2, කවිඳු නිර්මාණ 25/2යි.

චිලව් මේරියන්ස් කඩුලු 6ට 149යි (පන්දු වාර 19යි) – ( සුපුන් කාවින්ද 36, චමෝද් සඳරු 35, ලුසිත් ලක්ෂාන් 19, ලක්ෂාන් එදිරිසිංහ 22/2, කෞමාල් නානායක්කාර 19/2යි).

  • මුවර්ස් කඩුලු අටකින් කැන්ඩ් කස්ටම්ස් පරාජය කරයි.

සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ‘ඩී‘ කොටසට අයත් මේ තරගයේදී මුවර්ස් කණ්ඩායම පහසුම ආකාරයකින් මේ තරගය ජයගත්තේ කඩුලු අටකිනි. ඔවුන් මේ තරගය ජය ලැබුවේ පන්දු 52ක් ද ඉතිරිව තිබියදීය.

කැන්ඩි කස්ටම් මුලින් පන්දුවට පහරදෙද්දී මුවර්ස් කණ්ඩායමේ මල්ෂා තරුපතිගේ සහ ළහිරු සමරකෝන් යැවූ දක්ෂ පන්දු යැවීම හමුවේ කැන්ඩි කස්ටම් ඉනිම පන්දු වාර 17.3කදී නිම වූයේ ලකුණු 89කටය.

මුවර්ස් ලකුණු 90ක ජයග්‍රහණ ඉලක්කයක් කරායාමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා සොහාන් ඩී ලිවේරා (ලකුණු 46යි පන්දු 20යි හතරේ හතයි හයේ දෙකයි) සහ දිනුක දිල්ෂාන් (ලකුණු 27යි) මුල් විකට්ටුවට පන්දු 32කදී ලකුණු 68ක් රැස් කරමින් පහසු ජයග්‍රහණයකට මාවත විවෘත කළහ.  දිනුක නොදැවී ලකුණු 27ක් රැස් කළේ පන්දු 26කදී හතරේ පහර හතරක් ද එල්ල කරමිනි.

 ලකුණු පුවරුව

කැන්ඩි කස්ටම් සියල්ල දැවී 89යි (පන්දු වාර 17.3යි) – හරිඳු ජයසේකර 32, සසිත් මනුරංග 14, අයේෂ් හර්ෂණ 12, මල්ෂා තරුපති 12/4, ළහිරු සමරකෝන් 9/2යි).

 මුවර්ස් කඩුලු 2ට 90යි (පන්දු වාර 11.2යි) – සොහාන් ඩී ලිවේරා 46, දිනුක දිල්ෂාන් නොදැවී 27, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 11, යොහාන් සුරේෂ් 17/1, නිසල ආකාෂ් 7/1යි).

 

  • සී.සී.සී. ලකුණු 107කින් ගෝල් පරාජය කරයි

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති ‘ඩී‘ කොටසේ මේ තරගයෙන් සී.සී.සී. ජය ලැබුවේ ලකුණු 107කිනි. සී.සී.සී. කණ්ඩායමේ සොනල් දිනුෂ  මේ තරගයේදී තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වූයේ පන්දුවට පහර දෙද්දී නොදැවී ලකුණු 51ක් ලබා පසුව  පන්දු යැවීමේදී ලකුණු හයකට කඩුලු තුනක් දවාලමිනි.

සී.සී.සී. මුලින් පන්දුවට පහරදෙද්දී මුල් විකට්ටුවට විනුෂ්ක සිල්වා (74) සහ නිමේෂ් ගුණසිංහ (09) ලකුණු 66ක් රැස් කළේ පන්දු 35ක් තුළය. සී.සී.සී. වෙනුවෙන් විනුෂ්ක සිල්වා ලකුණු 74ක් ද (පන්දු 38යි හතරේ නවයයි හයේ හතරයි) සොනල් දිනුෂ නොදැවී 51ක් ද (පන්දු 37යි හතරේ දෙකයි හයේ තුනයි) රැස් කරමින් කැපී පෙනුණි.

ගෝල් කණ්ඩායම ලකුණු 66කට දැවී ගියේ සොනල් දිනුෂ සහ සඳුන් මෙන්ඩිස් කඩුලු තුන බැගින් දවා පෙන්වූ දක්ෂතා මුල් කරගෙනය.

ලකුණු පුවරුව

 සී.සී.සී. කඩුලු 7ට 173 (පන්දු වාර 20යි) – විනුෂ්ක සිල්වා 74, සොනල් දිනුෂ නොදැවී 51, පවන් රත්නායක 15, චතුරංග ද සිල්වා 14, තරින්ද ගුරුගේ 21/3, දමිත් රත්නායක 24/2)

ගෝල් සියල්ල දැවී ලකුණු 66යි (පන්දු වාර 13.4යි) – (ඕෂද ප්‍රනාන්දු 18, ෂානුක ගලගොඩ 12, නුවන් තුෂාර 14/2, සොනල් දිනුෂ 6/3, සඳුන් මෙන්ඩිස් 6/3

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee