slc
logo
Home   |    News
මැයි 11, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඉහළම පෙළේ (Level iii) පුහුණු වැඩසටනක්

sinhala editor

මෙරට ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වන ලද දේශීය පුහුණුකරුවන්ගේ ඉහළම මට්ටම ලෙසින් සැලකෙන තෙවැනි ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (SLC Level iii) ඉකුත්දා අති සාර්ථකව පවත්වා අවසන් කරන ලදී. ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු වැඩසටහන සමගාමීව මෙම තෙවැනි ශ්‍රේණියේ පුහුණු වැඩ සටහන ක්‍රියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකය විසින් වැඩි දියුණු කරමින් පවත්වන ලද මෙම නව වැඩසටහනට, ඉහළ කාර්යය සාධන සංස්කෘතිය (High Performance Culture), කණ්ඩායම් සන්නාමය (Team Branding), මානසික කුසලතා (Mental skills), නිපුණතා අනුවර්තනය (Skill Adaptability), ජෛව යාන්ත්‍ර විද්‍යාව (Bio-Mechanics) වැනි ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ දැනුම ගොඩ නැගීම කෙරෙහි සෘජුබ බලපාන මාතෘකා පිළිබඳව අවධානය යොමු කරමින් පවත්වනු ලැබීය.

ඊට අමතරව පන්දුවට පහර දීමේදී මෙන්ම පන්දු යැවීමේදී සිදුවන චලනයන්හි විශ්ලේෂණයන් සහ කාර්යය සාධනයේ විශ්ලේෂණයන්ද ඉහත කරුණු වලට අමතරව මෙම වැඩසටහනට ඇතුළත්විය. උක්ත කරුණු වලට අමතරව, මාධ්‍ය සම්බන්ධතා සහ ගනුදෙනු කිරීම්, ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම්, තොරතුරු තාක්ෂණය මෙන්ම ස්වයං අධ්‍ය්‍යන කුසලතා වැඩි දියුණු කිරීම යනාදිය පිළිබඳව වූ පුහුණුවද මෙහිදී ලබාදෙන ලදී.

“තෙවැනි ශ්‍රේණියේ මෙම පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණ අධ්‍යාපන අංශයේ විශිෂ්ඨ හඳුන්වාදීමක් ලෙස සඳහන් කළ හැකියි. පුහුණුකරුවන් වෙනුවෙන් ජාත්‍යන්තරයේ සිදුකෙරෙන පුහුණු වැඩසටහන් හා සමගාමීව අප විසින් මෙම තෙවැනි ශ්‍රේණියේ පාඨමාලාව සකස් කර තිබෙනවා. ඒ අනුව මෙය අපේ පුහුණුකරුවන්ගේ දැනුම් මට්ටම දියුණු කිරීමට කදිම වේදිකාවක් වනු ඇත” යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණ අධ්‍යාපන අංශයේ ප්‍රධානී හේෂාන් ද මෙල් මහතා සඳහන් කර සිටියේය.

මෙම අභිනව තෙවැනි ශ්‍රේණියේ පුහුණුකරු පාඨමාලාව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දින 5 ක නේවාසික වැඩසටහනක් ලෙසින් පැවැති අතර ඒ සඳහා දිස්ත්‍රික්, පළාත්, සමාජ සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය ආවරණය වන පරිදි වූ පුහුණුකරුවන් 19 දෙනෙකු සහභාගිවූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරණ අධ්‍යාපන ඒකකයේ හේෂාන් ද මෙල් මහතාට අමතරව නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුවන් කල්පගේ, අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක් සහ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමිල ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක කෞෂල්‍ය ගජසිංහ, පරිගණක දත්ත විශ්ලේෂක ශිරන්ත නිරෝෂණ, ඉහළ කාර්යය සාධන අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කලමනාකරු ප්‍රසන්න රොද්‍රිගෝ යන මහත්වරුන් මෙම වැඩසටහනේ සෙසු උපදේශකයින් ලෙසින් කටයුතු කළහ.

2008 වසරේදී ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණ අධ්‍යාපන ඒකකය මේ වන විට 0 මට්ටමේ සිට ඉහළම මට්ටම වන තෙවැනි මට්ටම දක්වා වූ මූලාශ්‍ර 4 ක් ඔස්සේ අංග සම්පූර්ණ පුහුණුකරුවන් පුහුණු කිරීමේ ඒකකයක් දක්වා අතිශය සාර්ථක දියුණුවක් ලබා සිටියි.

මෙම ඒකකය ස්ථාපනය කිරීමට පෙර පුහුණු වැඩසටහන් පැවැත්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඒ සඳහා විදෙස් පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමට සිදුවූ නමුත් වර්තමානය වන විට එය පුහුණු අධ්‍යාපන ඒකකයේ සිටින දේශීය පුහුණුකරුවන්කා විසින්ම සිදුකිරීම මෙම පුහුණුකරණ අධ්‍යාපන ඒකකය ලබා තිබෙන වර්ධනයක් ලෙසින් සදහන් කළ හැක.

පසු පෙළ වමේ සිට දකුණට – සුදර්ශන ජයලත්, අමිල පෙරේරා නිශාද් ලියනගේ, නිලන්ත ‌බෝබගේ, ඩී. කනකදරන්, සංජය රාජපක්ෂ, නිශාන්ත වීරසිංහ, උෂාන්ත ගුණරත්න, සුරංග විජේනායක, නිලන්ත විමලවීර, රේසා තහීර්, කාමන් මාපටුන, ඇන්ටන් කොස්තා, සසිත් බණ්ඩාර.
අසුන්ගෙන වමේ සිට දකුණට – චමින්ද තොටගමුව, චමින්ද කොඩිකාර, හර්ෂ ගමාධිකාරි, කෞෂල්‍ය ගජසිංහ, සචින්ත කුරේ, රුවන් කල්පගේ, හේෂාන් ද මෙල්, චමිල ගමගේ, ජෙහාන් මුබාරක්, ධම්මික සුදර්ශන, අමිල පින්නදූව, වසන්ත විජේසූරිය, සුජීව ගුණරත්න.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar