slc
logo
Home   |    News
ජූනි 1, 2023
දුශාන් සහ මතීෂට එක්දින වරම්!

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට ළඟා කරගත යුතු අරමුණු කීපයක්ම තිබේ. ඒ අතරින් සංචාරකයින් ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සංයුතිය සකසා ගැනීමට උත්සාහ ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන තරගාවලියට අවශ්‍ය සංයුතිය සකසා ගැනීමේ වෑයමක නිරත වෙයි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම, සංයුතියන් කීපයක් යටතේම තරග වැදීමට බලාපොරොත්තු වන අතර එහිදී සෑම අංශයකට සරිලන පරිදි ක්‍රීඩා කිරීමට ඉදිරි තරග 3 යොදා ගැනීමට නියමිතය. එය ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ වචනයෙන්ම කිවහොත් මේ අයුරිනි. “පළමුව කියන්න ඕන අපි මේ තරගාවලිය ටාගට් කරන්නේ කොලිෆයර්ස්වලට. මෙතැනදි අපි සංයුතීන් දෙක තුනක්ම යොදා ගන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

ශ්‍රී ලංකාව පසු ටෙස්ට් වරම් දිනා ගත්තද ලෝක කුසලාන ගමනේදී ඇෆ්ගනිස්තානු පිල ශ්‍රී ලංකාවට වඩා ගවු ගාණක් දුරිනි. එය තවත් විදියකට කිවහොත් ඔවුන් මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ඇතත් ශ්‍රී ලංකාව එම තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් සටන් වැදීමට සිදුව තීබේ.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අලුතින් සුපර් ලීග් තරගාවලියක් හඳුන්වා දුන් අතර එහිදී ඇෆ්ගනිස්තානය  කණ්ඩායම තරග වැදි තරග 15 න් 11 ක් ජය ගනිමින් එම 7 වැනි ස්ථානයට පත්ව ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදසූකම් ලබා ගනිද්දී තරග 24 කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඉන් ජයග්‍රහණය 7 ක් පමණක් ලබා 10 වැනි ස්ථානයට පත්වූවේය. එබැවින් ශ්‍රී ලංකාවට ලබන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මසදී ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් සිම්බාබ්වේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගෙන පැමිණිය යුතුය.

දෙපිළ අවසන් වතාවේදී 2022 වසරේ නොවැම්බර් මසදී මුණ ගැසීමෙන් පසු ජාත්‍යන්තරයේ එකම එක්දින තරගයකට හෝ ක්‍රීඩා කර නොමැත. එම තරගාවලියද ඇෆ්ගනිස්තානු පීල 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත් වුවත් හෙටින් ආරම්භ වන තරගාවලියේදී ඔවුන්ට මුණ ගැසෙන්නේ ගිය වසරේ මුණ ගැසුණු කණ්ඩායම නොවේ.

එම තරගාවලියේදී ශ්‍රී ලංකාව් ප්‍රධානම උපක්‍රමය බවට පත්ව සිටි දඟ පන්දු යවන්නන්‌ මත වූ විශ්වාසය වෙනුවට හෙට තරගයේ සිට වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් අවතීර්ණ වීම ශ්‍රී ලංකා කලමනාකාරීත්වයේ සැලසුම වී තිබේ. එය ඇෆ්ගනිස්තානුවන්ට නිසැක අභියෝගයකි. මන්ද ශ්‍රී ලංකාව හෙට දිනයේදී යෙදවීමට බලාපොරොත්තු වන ප්‍රධානම වේග පන්දු යවන්නන් තිදෙනාටම පැයට කිලෝ මීටර 145 ට වඩා වේගයෙන් පන්දු යැවීමේ හැකියාව පවතින බැවිනි.

හෙට තරගය සඳහා හම්බන්තොට මහින්ද රාපක්ෂ ක්‍රීඩාංගණයේදී නිර්මාණය කර ඇති තනතීරුවද වේගව පන්දු යවන්නන්ට උචිත වන අයුරින් සකසා තිබීම, වේග පන්දු යවන්නන් තිදෙනකු සමඟ අවතීර්ණ වීම හැර වෙනත් විකල්පයක් කෙරෙහි සිතීමට අවකාශ නොසලසයි.

ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර සහ කසුන් රජිත ඔවුන් අතරින් ඉදිරියෙන්ම සිටිද්දී මැතකදී වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව සිටින මතීෂ පතිරණවද හෙට තරගයට ක්‍රීඩා කරවීම කෙරෙහි ශ්‍රී ලංකා කලමනාකාරරීත්වය දැඩි උනන්දුවකින් පසුවෙයි. ඒ බව අද පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේද ශ්‍රී ලංකා නායකයා විසිනි.

“මේ තණතීරුව අලුත් තණතීරුවක්. විශේෂයෙන්ම වේග පන්දු යවන්නන් තුන් දෙනෙකුට වගේ හෙට තරගයට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා” යැයි සදහන් කරන දසුන්, මතීෂ ගැන විමසීමේදී “මං හිතන්නේ ඔහුට හෙට තරගයට ක්‍රීඩා කිරීමට අවස්තාවක් තියෙයි” යනුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සතු වඩාත් විශ්වාසදායකම පන්දු යවන්නා වන වනිඳු හසරංග ආබාධයකට ලක්ව සිටීම නිසා ඔහු වෙනුවට නවක පා දඟ පන්දු යව දුශාන් හේමන්තව කණ්ඩායමට එක් කර තිබෙන අතර දසුන් සදහන් කර සිටියේ හෙට තරගයේදී ඔහු ක්‍රීඩා කරන බවයි. ඒ අනුව දුෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් 208 වැනි ක්‍රීඩකයා වනු ඇත. “ප්‍රධාන දඟ පන්දු යවන්නෙක් විදියට වනිඳුගේ ආබාධය නිසා හින්ද තමයි දුෂාන් ඇවිල්ලා ඉන්නේ. මං හිතන්නේ දුෂාන්ට අවස්ථාවක් තියෙයි හෙට ක්‍රීඩා කරන්න” යනුවෙන් දසුන් සදහන් කර සිටියේය. හෙට තරගයට වේග පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කරවමින් දුෂාන් හේමන්තටද එක්දින වරම් හිමි වුවහොත් මහිෂ් තීක්ෂණට කණ්ඩායමට පැමිණීමේ අවස්ථාවක් නොමැත. මන්ද යත් ශ්‍රී ලංකාව නිසැකයෙන්ම ප්‍රධාන පිතිකරුවන් හත් දෙනෙකු සමඟ අවතීර්ණ වන බැවිනි.

දිමුත් සහ පැතුම් ආරම්භක පිතිකරුවන් වද්දී කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් අංක 3 න් පිටියට පිවිසෙයි. පළපුරුදු මැතිව්ස් ඔහුට හිමි සුපුරුදු අංක 4 ස්ථානයෙන් පැමිණෙද්දී, චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ නායක දසුන් ඉතිරි ස්ථාන 4 ට ආදේශකයෝ වෙති. ඔවුන් හත්දෙනා සමඟ දුෂාන් හේමන්තත් ක්‍රීඩා කරද්දී දසුන් සදහන් කර සිටින වේග පන්දු යවන්නන් තිදෙනා සංයුතියට යෙදූ විට අවසන් 11 දෙනා සම්පූර්ණ වනු ඇත. එබැවින් තීක්ෂණටය හෙට තරගයට ක්‍රීඩා කිරීම සඳහා ඇත්තේ අවම ඉඩ කඩකි.

මෙහිදී මතීෂ පතිරණ පිළිබඳව දසුන් අදහස් දක්වා සිටියේ මේ අයුරිනි. “මතීෂ ගැන කතා කළොත් මතීෂ අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ඉඳන් ශ්‍රී ලංකාව නියෝජනය කරලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ලබාගත්ත අත්දැකීම් එක්ක තමයි ඔහු එතනට (අයි.පී.එල්.) ගියේ.”

“විශේෂයෙන් කියන්න ඔ්න අයි.පී.එල්. කියන්නේ විශේෂ ආකාරයේ ඉරියව් තියෙන ක්‍රීඩකයින්ට විශේෂ වූ තැනක් තියෙන තැනක. මං හිතන්නේ මතීෂව ලංකාවට ක්‍රීඩා කරද්දී හයිලයිට් නොවුණත් අයි.පී.එල්. ක්‍රීඩා කරද්දි ක්‍රීඩකයෙක්ට හයිලයිට් වෙන්න තියෙන අවස්ථාව වැඩියි.”

“ඉතිං මතිෂ දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම සමග හිටියා. ඔහුට අවසානයේ නවසිලන්තයට යද්දීත් අපිත් එක්ක ගියා. ඔහුට කොවිඩ් හැදුණ හින්දා තමයි විස්සයි-20 තරගවලට ක්‍රීඩා කරන්න බැරිව ගියේ. මම හිතන්නේ මතීෂව හඳුනගත්තේ කළින් ඉඳන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්. ඔහු රට වෙනුවෙන් විස්සයි-20 ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම හෙටින් ආරම්භ වන මේ තරගාවලියේදීත් ඔහුව තරගවලට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා” යි දසුන් බොහෝ දෙනෙකුට අමතක අතීතය මතක් කර දුන්නේය.

මේ අතර ඇෆ්ගනිස්තානු කඳවුර සතු ප්‍රධානම අවිය වන්නේ රශීඩ් ඛාන් වුවත් ඔහුට පළමු තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොමැති බව කණ්ඩායම් ආරංචි මාර්ග වල කියැවෙයි. එහෙත් සංචාරකයින්ව අවතක්සේරුවෙන් සැලකීමට ශ්‍රී ලංකා නායකයා කොහෙත්ම කැමැති නැත.

“රශීඩ් නැති එක වාසියක් කියලා මම දකින්නේ නෑ. එයාලත් එක්ක නූර් අහමඩ් ඉන්නවා. එයා ලංකාවට ඇවිල්ලා ක්‍රීඩා කරලා තියෙනවා. ඒ ව‌ගේම අයි පී. එල්. ක්‍රීඩා කළා. එයා ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම මුජීබුර් රහමන් ඒ වගේම මොහොමඩ් නබී. දඟ පන්දු යවන්නෝ කවුරු ගත්තත් මං හිතන්නේ අත්දැකීම් බහුල දඟ පන්දු බල ඇණියක් ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමඟ සිටිනවා. ඒ නිසා ඔවුන්ව  කිසි විටෙකත් සැහැල්ලුවට ගන්න බෑ. අපි එදා දවසේ ක්‍රීඩා කරන්නේ කවුද එයාලට හොදින් ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ” යැයි හෙට දිනයේ තමන් හමුවේ ඇති අභියෝගය ගැන ශ්‍රී ලංකා නායකයාගේ අදහස එසේ වූවේය.

පළමු එක්දින තරගයට පෙර අද (ජුනි 01 දා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා ඉහත අදහස් පළ කර සිටිද්දී ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න එක්වීම කණ්ඩායමේ ශක්තිය මෙන්ම මානසික ඒකාග්‍රතාව වැඩි වීමට සෘජුවම බලපාන කරුණු බව සදහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, ධනංජයද සිල්වා, දුෂාන් හේමන්ත, කසුන් රජිත, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, සදීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ.

ඇෆ්ගනිස්ථාන පිල – හෂ්මතුල්ලා ශහිදි (නායක), රාමනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහිම් සද්‍රාන්, රාමට් ෂා, නජිබුල්ලා සද්‍රාන්, මොහොමඩ් නබී, අස්මතුල්ලා ඔමර්සායි, මුජිබර් රහමඩන්, නූර් අහමඩ්, ෆරීඩ් අහමඩන්, ෆසාල්හක් ෆරූකි, ඉක්‍රම් අලිබිල්, අබ්දුල්ලා රහමන්, රියාස් හසන්.

Active filters

Recent Posts

  • පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාගේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
    එවකට පොලිස්පතිවරයා ලෙසින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැටුප් ඇතුළු තවත් වරප්‍රසාද ලබා දුන්නේ යැයි විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රී හේෂා විතානගේ […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා […]
  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee