slc
logo
Home   |    News
ජූනි 30, 2023
නවසීලන්ත ක්‍රීඩිකාවෝ තරගාවලිය එකට එක කරති

sinhala editor

නායිකා සොපී ඩිවයින් සහ ඇමෙලියා කර් එක්ව ගොඩනංවන ලද ලකුණු 229 ක වාර්තා ගත කඩුලු සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව අද (30 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 116 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත්විය. මෙම ජයත් සමග තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කර ගැනීමට නවසීලන්ත කාන්තාවෝ සමත්වූහ.

ජයග්‍රහණය සදහා පන්දුවාර 50 කදී ලකුණු 330 ක අසීරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නවසීලන්ත පන්දු යවන්නියන් හමුවේ පන්දුවාර 48.4 කදී රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 218 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම පෙරමුණ බිඳ දැමූ ලී රහුහු පන්දුවාර 8 කදී ලකුනු 31 කට කඩුලු 4 ක් දවා ගත්තාය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භය අසාර්ථක එකක් විය. ඒ ලී ටහුහු විසින් පිට පිට පන්දු දෙකකකදී කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වූ නිසාය. ඒ අතර විශ්මි ගුණරත්නට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසවන්තම පිතිකාරිණිය වන චමරි අතපත්තු සිටීම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් වන්නට විය. මෙම තරගයේදී අංක 3 පිතිකාරිණිය ලෙසින් පිටියට පිවිසි චමරි නවසීලන්ත පිලේ වේග පන්දු යවන්නියක වන ලී ටහුහුගේ පන්දුවක් හමුවේ එල්ල කරන ලද පුල් පහර වැරදී යෑම නිසා එය ස්කෙවයාර් ලෙග් කලාපයේ පන්දු රැකි හනා රෝව් සුරැකිව රැක ගත්තාය. විශ්මි ඊට පෙර පන්දුවේදී  මැඩී ග්‍රීන් අතට උඩ පන්වුක් දී දැවී ගියාය.

එම කඩා වැටීමත් සමග නැවතත් හිස එසවීමට ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට නවසීලන්ත පන්දු යවන්නියෝ අවස්ථාවක් ලබා නොදුන්හ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවැවැනි කඩුල්ල ලෙසින් නිලක්ෂි ද සිල්වා පිටියෙන් ඉවත්වන විට ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 35 ක් ලෙසිනි. කෙසේ වෙතත් පිටියට එක්වූ කවීෂා දිල්හාරි සිය අන්තය ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීම නිසා, අවමන් සහගත පරාජය වෙනුවට ගෞරවාන්විත පරාජයක් කරා තරගය රැගෙන යෑමට අවස්ථාව උදාවිය.

සෙසු පිතිකාරිණියන්ගේ සහාය නොලැබී ගියද හුදෙකලා වුණු කවීෂා අද දිනයේදී සිය මංගල අර්ධ ශතකය වාර්තා කරගත්තේ තමන් මුහුණ දුන් 66 වැනි පන්දුවේදීය. ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි පිතිකාරිනිය ලෙසින් කවීසා පිටියෙන් ඉවත්ව යන විට ඇය පන්දු 98 කට මුහුණ දී ලකුණු 84 ක් ලබා සිටියාය. ඊට හතරේ සීමාව ඉක්මවා ගිය  පහර 9 ක් ඇතුළත්ව තිබිණ. කවීෂාට පසුව ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු සටහන් වූයේ අතිරේක ලකුණු වන අතර එහිදී ලකුණු 38 ක් අතිරේක වශයෙන් සටහන් විය. ඒ අතර දඬුවම් ලකුණු 5 ක්, කඩුලු රකින්නා අතින් ගිලිහී ගිය ලකුණක්, පා ලකුණු 5 ක්, නිපන්දුවක් සහ වයිඩ් පන්දු 26 ක් ඊට ඇතුළත් විය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සුසී බේට්ස් ලකුණු 1 කට දැවී ගියද බර්නඩීන් බෙසෙඩෙන්හෝට් (25)ට එක් වුණු ඇමේලියා කර් ලකුණු 50 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක අඩිතාලමක් එක් කළහ.

කෙසේ වෙතත් ඇමලියා කර්ට එක් වුණු නායිකා සොපී ඩිවයින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 229 ක සම්බන්ධතාවක් එක් කළහ. මෙහිදී දෙදෙනාම ශතක වාර්තා කිරීම කැපී පෙනුණි. ‌මොවුන් දෙදෙනා විසින් රැස් කරන ලද මෙම සම්බන්ධතාව නවසීලන්ත කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව ලෙසින් කඩුලු 7 ක් දැවී නවසීලන්ත පිල රැස් කරන ලද ලකුණු 329 සටහන් විය.

මෙහිදී පෙරමුණ ගත් නායිකා ඩිවයින් පන්දු 121 කදී ලකුණු 137 ක් ලබා ගත්තේ තම ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 17 ක් එක් කර ගනිමිනි. අයට අනගි සහායක් ලබා දුන් කර් පන්දු 106 කදී ලකුණු 108 ක් ලබා ගත්තාය. එම ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

කවීෂා දිල්හාරි සමඟ එක්වූ ඔෂදී රණසිංහ විසින් කර්ගේ කඩුල්ල දවා ගන්නා විට නවසීලන්ත ලකුණු පුවරුව 44 වැනි පන්දුවායේදී කඩුලු 3 කට ලකුණු 286 ක් ලෙසින් සටහන් විය. මොවුන් දෙදෙනා විසින් රැස් කරන ලද මෙම ලකුණු සම්බන්ධතාව තෙවැනි වන්නේ මීට පෙර ලියා කැස්පරේක් සහ ඇමෙලියා කර් එක්ව 2018 වසරේදී අයර්ලන්තයට එරෙහිව රැස් කරන ලද ලකුණු 295 ට සහ සුසී බේට්ස් සහ හයිඩි ටිෆන් එක්ව 2009 වසරේදී පාකිස්තානයට එරෙහිව රැස් කරන ලද ලකුණු 262 ක සම්බන්ධතාවන් වලට පමණි.

මෙම සම්බන්ධතාවය අතරතුරදී ඇමේලියා කර් දවා ගැනීම සඳහා ලෝන් ඔන් හි පන්දු රැකි කවීෂා දිල්හාරි අතට උඩ පන්දුවක් ලබා දුන්නද එය ඇය අතින් ගිලිහී ගියාය. ඒ වන විටත් කර් රැස් කරගෙන සිටියේ ලකුණු 68 ක් පමණි. එම පහසු උඩ පන්දුව කවීෂා අතින් ගිලිහී ගියද ඇය ඉන් පසු රැක ගැනීමට තරමක් අසීරු උඩ පන්දු දෙකක් රැක ගැනීම කැපී පෙනිණ. නමුත් ලැබුණු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නොහැකිවීම වාසියකට හරවා ගත් කර් නතර වූයේ සිය තෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය රැස් කර ගනිමිනි. නායිකා ඩිවයින් විසින් අද දිනයේ රැස් කරන ලද්දේ සිය 7 වැනි එක්දින ශතකය විය.

නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 329 යි – (සොපී ඩිවයින් 137, අමේලියා කර් 108, බර්නඩීන් බෙසෙඩෙන්හෝට් 25, ජෝජියා ප්ලිමර් 10*, හනා රෝව් 12, ඔෂධී රණසිංහ 68/3, උදේශිකා ප්‍රබෝධනී 38/2, සුගන්දිකා කුමාරි 79/1, ඉනෝකා රණවීර 56/1)

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 213 යි – (කවීෂා දිල්හාරි 84, අනූෂා සංජීවනී 17, කාවයා කාවින්දි 15, ලී රහුහු 314, ඊඩන් කාසන් 41/2, හනා රෝව් 32/1, සොපී ඩිවයින් 15/1, අමේලියා කර් 34/1, ෆ්‍රාන් ජොනාස් 29/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee