slc
logo
Home   |    News
ජූනි 11, 2023
පසිඳු සූරියබණ්ඩාරට ‘ඒ’ කණ්ඩායමේ දොරගුලු විවර වෙයි

sinhala editor

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට (12 දා) ආරම්භ වන තරග 2 කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට පළමු වතාවට ළාබාල වයසේ පසුවන පිතිකරුවකු වන පසිඳු සූරියබණ්ඩාරව ඇතුළත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

නිමාවට පත් වුණු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා සම්මානයෙන් පිදුම් ලත් පසිඳු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබේ. සිව්දින ක්‍රිකට්  තරගාවලියේදී ගාල්ල කණ්ඩායමට ක්‍රීඩා කළ පසිදු ඉනිම 8 කදී ලකුණු 323 ක් රැස් කරන ලද්දේ ඉනිමක සාමාන්‍ය 46.14 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය දෙවැනි වන්නේ එම තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලද කොළඹ කණ්ඩායමේ අෂේන් බන්ඩාර (59.85)ට පමණි.

මේ අතර දකුණු අප්‍රීකානු ‘ඒ’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ ස්ථාන කීපයක්ද වෙනස්වී තිබෙන නමුත් නායකයා ලෙස නිපුන් ධනංජය දිගටම කටයුතු කරනු ඇත. නිපුන්ගේ සහායකයා ලෙස ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන කමිඳු මෙන්ඩිස්ව ඇතුළත් කර තිබේ. ඊට අමතරව එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂිත මානසිංහ, ප්‍රවීන් ජයවික්‍රම, රමේෂ් මෙන්ඩිස් සහ මිනෝද් භානුකව සිව්දින තරගාවලිය සදහා වූ කණ්ඩායමට එක් කර තිබේ.

“ඒ කණ්ඩායම් තරගාවලිවල ගොඩක් අරමුණු තියෙනවා. එකක් තමයි නැෂනල් ටීම් එකට අපි ප්ලේයර්ස්ලාව ලෑස්ති කරලා දෙන එකක්. නැෂනල් ලෙවල් එකේ ප්ලේයර්ස්ලා සමහර වෙලාවට පොඩ්ඩක් අවුට් ඔෆ් ෆෝම් යනවා. ඒ වුණාම ආයි ඒ ටීම් එකට ඇවිල්ලා ෆෝම් එක අරගෙන ආයි නැෂනල් ටීම් එකට යවන තැනක්. මං හිතන්නේ ඒක තමයි ඒ ටීම් තරගාවලිවලි තියෙන කාර්යය. ඒ වගේම තරුණ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා. ඒ ක්‍රීඩකයින්ට මේ වගේ හොද කණ්ඩායමක් (දකුණු අප්‍රිකානු ඒ) එක්ක ලබා දෙන අත්දැකීම්. මේවා තමයි ඒ ටීම් තරගාවලිවල තියෙන වැදගත්ම දේවල්” යැයි හෙටින් ආරම්භ වන දෙපිළ අතර තරගාවලිය පිළිබඳව ඇති වටිනා කම පිළිබඳව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන අවිශ්ක ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.

ගුණවර්ධන මහතා එසේ සඳහන් කර සිටියදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ඉදිරි තරග 2 සයුතීන් දෙකක් යටතේ තරග කළත් තරගාවලිය ජයග්‍රහණය කිරීමටම ක්‍රීඩා කරන බවයි. එහිදී වඩා වැදගත් වනුයේ ජාතික කණ්ඩායමට අවශ්‍ය ඊළඟ ආදේශක ක්‍රීඩකයින් සොයා ගැනීමටද ‘ඒ’ තරගාවලි වැදගත් කාර්යය භාරයක් ඉටුකරනු ලබන බවද ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේය.

“අපි ගොඩක් වෙලාවට තරග දෙක සංයුතිදෙකකින් ක්‍රීඩා කරයි. මොකද සිලෙක්ටර්ස්ලාට ඔ්න කීප දෙනෙකුට චාන්ස් එකක් දීලා බලන්න. ඒ එක්කම පාකිස්තානු පිල ටෙස්ට් තරග 2 කට පැමිණෙනවා. ඒකෙත් සමහර ක්‍රීඩකයෝ මේගොල්ලන්ට අත්හදා බලන්න ඔ්න. අපි තරගාවලිය දිනනන්න ක්‍රීඩා කරන්නේ. හැබැයි මේන් ඔබජෙක්ට්ටිව් එක ඇවිල්ලා අපි ට ඊළඟ රිප්ලේස්මන්ට් ටික හොයා ගන්න එක” යැයි තරගාවලියේ වටිනා කම පිළිබඳව ඒ මහතා අදහස් දක්වා සිටියේය.

දකුණු අප්‍රිකානු ‘ඒ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත් වුවද එම තරගාවලියේදි තම ක්‍රීඩකයින් ඉතා හොද සටනක් දුන් බව ද මෙහිදී ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේය. “දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් හත් අට දෙනෙක් ඉන්නවා. ඒක හින්දා අපේ නවකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අත් දැකීම ඉතාමත් හොඳයි” යැයිද ‘ඒ’ පිලේ ප්‍රධාන පුහුණුකරු එක්දින තරගාවලියේ ලද ධනාත්මක කරුණු ගෙන හැර පෑවේය.

තරග 3 දීම තිබුණු තරගකාරීත්වය ගැන මම සතුටු වෙනවා. දකුණු අප්‍රිකානු කන්ඩායම ගොඩක් අත්දැකීම් බහුල කණ්ඩායම්. අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ වයස සාමාන්‍ය ගත්තහම 23 ක් විතර. ඉතං මේ ඉන්නේ තරුණ කණ්ඩායමක්. මම හරිම සතුටු වෙනවා එයාලගේ තරගකාරීත්වය ගැන.

නම් කරන ලද මූලික සංචිතයට වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දුව ඇතුළත් කර තිබුණද ඔහු ආබාධයකට මුහුණ දීම නිසා ඒ වෙනුවට තෙවැනි එක්දින තරගයේදී කණ්ඩායමට කැඳවූ ළහිරු සමරකෝන්ව තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට පියවර ගෙන තිබේ. ළහිරු සමරකෝන් අද (11 දා) නිමාවට පත් වුණු අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් මෙන්ම නිමාවට පත් වුණු නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් ද පිදුම් ලැබීය. සිව්දින තරගාවලියේදී ශූරතාව දිනු දඹුල්ල කණ්ඩායමේ සාමාජිකයකු වූ අතර ඔහු වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනිමට මත්වූවේය. එම තරගාවලියේ තරග 8 කදී ළහිරු බිඳ හෙළූ සමස්ථ කඩුලු සංඛ්‍යාව 15 ක් වන අතර ඔහුගේ හොඳම පන්දු යැවිම ලෙස ලකුණු 39 කට කඩුලු 4 ක් දවා ගැනීම සටහන් වේ. නිමාවට පත් වුණු ක්‍රීඩා සමාජ විස්සයි-20 තරගාවලියේදීද මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ළහිරු තරග 5 කදී කඩුලු 12 ක් ලබා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයටද හිමිකම් කීවේය.

එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පැවැති තරගාවලියේදී පිතිකරුවකු ලෙස දක්ෂතා දක්වමින් නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැති විස්සයි-20 තරගාවලියට නම් කෙරුණු ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේටද සිව්දින තරගවලට ක්‍රීඩා කිරීම සදහා අවස්ථාව ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එක්දින තරගාවලියටද කෲස්පුල්ලේ ඇතුළත් වුවත් පැවැති තරග 3 දී ඔහුට රැස් කරගත හැකි වූයේ ලකුණු 09 ක් පමණි.

එළැඹෙන පාකිස්තානු ටෙස්ට් තරග සංචාරය ඉලක්ක කර ගනිමින් ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ රිද්මය පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා දීමද මෙම තරගාවලිය තේරීම් කමිටුව අවස්ථාවක් කරගෙන තිබේ. එහිදී ප්‍රවීන් ජයවික්‍රම සහ දකුණත් පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් සිව්දින තරගාවලියට ඇතුළත්ව සිටියි. කෙසේ වෙතත් එංගලන්ත ලයන්ස් පිලට එරෙහි තරගාවලියේදී පිට දඟ පන්දු යවන්නකු ලෙසින් අතිශය සාර්ථකත්වයට පත් ලක්ෂිත මානසිංහද, නම් කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

මෙම කණ්ඩායම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අවසරය සඳහා යොමු කර තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), නිශාන් මදුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, පසිඳු සූරියබණ්ඩාර, ළහිරු උදාර, ජනිත් ලියනගේ, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂිත මනසිංහ, ඩිල්ෂාන් මදුශංක, මිලාන් රත්නායක, ප්‍රවීන් ජයවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, මිනෝද් භානුක, නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු සමරකෝන්, ලසිත් ඇඹුල්දෙණිය.

Active filters

Recent Posts

  • හම්බන්තොට පළමු ජය ලබයි
    ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් […]
  • ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු […]
  • ජනසතු සේවා ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට
    සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ […]
  • තෙවැනි දින තරග 3 ටම වර්ෂාවෙන් බාධා
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. […]
  • කලම්බු පැරදවූ ජැෆ්නා පිල ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට
    Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee