මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග 10ක් අද සිට 30 දක්වා පැවැත්වෙයි. පළමු සතියේ නිමාවට පත්වූ තරග අතුරින් ලකුණු 336කින් බීආර්සී පිල පරාජය කළ රාගම කණ්ඩායම ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩයේ ලකුණු 18.000ක් ලබා ඉදිරියෙන්ම සිටින අතර, ඉනිමකින් හා ලකුණු 62කින් කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පරාජයට පත් කළ මුවර්ස් ක්‍රීඩා සමාජය ලකුණු 18.500ක් ලබා ‘බී‘ කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටී.
‘ඒ‘ කාණ්ඩයේ ලකුණු 17.815ක් ලබා සිටින කෝල්ට්ස් ක්‍රිකට් සමාජය දෙවැනි ස්ථානයේ සිටින අතර, එස්එස්සී පිල ලකුණු 16.665ක් ලබා තෙවැනි ස්ථානයේ සිටී. ‘ඒ‘ කාණ්ඩයේ පිළිවෙලින් මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 12.930ක්, යුද හමුදාව ලකුණු 12.630ක්, පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 4.565ක්, කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය ලකුණු 4.020ක්, ගාල්ල ක්‍රිකට් සමාජය ලකුණු 3.800ක්, බීආර්සී පිල ලකුණු 3.755ක් හා නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය ලකුණු 3.645ක් ලබා සිටිති.
‘ඩී‘ කාණ්ඩයේ ලකුණු 16.575ක් ලබා සිටින බදුරලිය ක්‍රිකට් සමාජය දෙවැනි ස්ථානයේ සිටින අතර, හලාවත මේරියන්ස් ලකුණු 12.745ක් ලබා තෙවැනි ස්ථානයේ සිටී. ‘බී‘ කාණ්ඩයේ පිළිවෙලින් පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 12.425ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය ලකුණු 12.200ක්, එන්සීසී ලකුණු 4.765ක්, සෙබස්තියනයිට්ස් ලකුණු 4.490ක්, බ්ලුම්ෆීල්ඩ් ලකුණු 4.210ක්, ගුවන් හමුදාව ලකුණු 4.110ක් හා කුරුණෑගල තරුණ ක්‍රිකට් ක්‍රීඩා සමාජ ලකුණු 3.060ක් ලබා සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ සංවිධානය කොට ඇත. ඒ අනුව මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ජූලි මස 23 දක්වා හා දෙවැනි අදියර අගෝස්තු මස 25 සිට ඔක්තෝබර් 8 දක්වා පැවැත්වේ. ‘ඒ‘ හා ‘බී‘ වශයෙන් පළමු පෙළ ක්‍රීඩා සමාජ 22ක් එක්ව සිටින මෙම තරගාවලිය අවසන් මහා තරගය ද ඇතුලුව තරග 82කි.
අවසන්වරට පසුගිය වසරේ පැවැති තරගාවලියේ ශූරතාව පළමු ඉනිමේ ජය අනුව කොළඹ ක්‍රිකට් සමාජය (සීසීසී) පිල දිනාගත් අතර, අනුශූරතාව ද්‍රවිඩ සංගම් පිලට (ටැමිල් යූනියන්) හිමි විය.අවසන් වරට පැවැති මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ වීරයා ලෙස කොළඹ ක්‍රිකට් සමාජයේ චමිදු විජේසිංහ හා තරගාවලියේ වීරයා ලෙස රාගම ක්‍රිකට් සමාජයේ නිශාන් මධුෂ්ක සම්මානයට පාත්‍ර වූහ.
මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ 29 ආරම්භවන තරග මෙසේය.
එන්සීසී – සෙබස්තියනයිට්ස් අතර තරගය එන්සීසී පිටියේදී
සීසීසී – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය අතර තරගය සීසීසී පිටියේදී
යුද හමුදාව – කැන්ඩි කස්ටම් අතර තරගය පනාගොඩ යුද හමුදා පිටියේදී
එස්එස්සී – මීගමුව අතර තරගය එස්එස්සී පිටියේදී
කොල්ට්ස් – බීආර්සී කෝල්ට්ස් පිටියේදී
රාගම – පානදුර අතර තරගය තර්ස්ටන් පිටියේදී
කුරුණෑගල තරුණ – ටැමිල් යූනියන් අතර තරගය වෙලගෙදර පිටියේදී
ගුවන් හමුදාව – මුවර්ස් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේදී
හලාවත මේරියන්ස් – බ්ලුම්ෆීල්ඩ් අතර තරගය බ්ලුම්ෆීල්ඩ් පිටියේදී
බදුරලිය – ඒස් කැපිටල් අතර තරගය මග්ගොන සරේ පිටියේදී