CHAMILA KARAWITA REPORTING FROM GALLE
මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනංවන ලද හොඳම සම්බන්ධතාව ලෙස වාර්තා පොත් අතරට එක් වුණු චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්නගේ ලකුණු 159 ක සම්බන්ධතාව පෙරටු කොට ගෙන නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව අද (27 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබිණ. දෙරට අතර ඉතිහාසයේදී නවසීලන්ත කණ්ඩායමක් පරාජයට පත් කරන ලද පළමු අවස්ථාව ලෙසින් සටහන් වුණු මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙසද පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.
අයි. සී. සී. කාන්තා ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියට අයත් තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගයේදී චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න විසින් බිඳ හෙළන ලද්දේ චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම එක්ව 2022 වසරේදී පාකිස්තානයට එරෙහිව තෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 152 ක සම්බන්ධතාවය විය.
ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා පළමු වතාවට ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ පරාජයට පත් වන විට එක්දින කණ්ඩායම් ශ්‍රේණි ගත කිරීම්හි 5 වැනි ස්ථානයේ පසුවීය. ලකුණු 171 ක ජයග්‍රාහී ඉලක්කයක්හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 6 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ එක් කඩුල්ලක් පමණක් ප්‍රතීවාදී පන්දු යවන්නියන් හමුවේ පිරිනමමිනි. ශ්‍රී ලංකා පිල අද මෙම ජයග්‍රහණය වාර්තා කරන විට එක්දින රටවල් ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ රැදී සිටියේය.
ජයග්‍රහණය සඳහා අනගිභවනීය ඉනිමක් දියත් කළ නායිකා චමරි අතපත්තු අද දිනයේදී සිය 7 වැනි එක්දින ශතකය රැස් කිරීමට කැපී පෙනිණ. පන්දු 83 කට මුහුණ දූන් චමරිගේ පිත්තෙන් ලබා ගන්නා ලද ලකුණත් සමග ශ්‍රී ලංකා ජයග්‍රහහණය සනාථ වන විට ඇය ලකුණු 108 ක් රැස් කරගෙන සිටියාය. දැවැන්ත හයේ පහර 5 කින් සහ හතරේ පහර 10 කින්ද චමරිගේ ඉනිම අලංකාරව තිබිණ. මෙම ශතකයට අමතරව චමරි අද දිනයේදී තම 3000 වැනි එක්දින ලකුණද සම්පූර්ණ කර ගැනීමට සමත්වීමද කැපී පෙනිණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 93 කට ක්‍රීඩා කර ඇති චමරි මේ වන විටත් මුලු ලකුණු 3059 ක් රැස්කරගෙන සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 33.61 ක් රඳවා ගනිමිනි. ඊට අර්ධ ශතක 15 ක්ද ඇතුළත්ය.
ඇයට අනගි සහායක් ලබා දුන් 17 හැවිරිදි විශ්මි අද දිනයේදී තම මංගල එක්දින අර්ධ ශතකය රැස් කර ගත්තේය. කිසිදු අනුකම්පාවකින් තොරව නවසීලන්ත පන්දු යවන්නියන් හමුවේ චමරි පිතිහරඹය දියත් කරන විට ලකුණින් ලකුණ ඉනිමට එකතු කරගත් දකුණත් ආරම්භක පිතිකාරිණිය ඒ සඳහා පන්දු 74 ක් වැය කළේ තම ඉනිමට හතරේ පහර 3 ක් පමණක් ඇතුළත් කර ගනිමිනි.
වර්ෂාව හේතුවෙන් මෙම තරගය එක් පිලකට පන්දුවාර 29 කට සීමා වෙමින් පැවැති අතර ඒ අතරතුරදී වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින් එක් පිලක් පන්දුවාර 28 කට සීමා විය. කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 170 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී ගොස් තිබියදීය.
නවසීලන්තය වෙනුවෙන් අමේලියා කර් (40) සහ සුසී බේට්ස් (28)එක්ව ලකුණු 60 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වූහ. එම සම්බන්ධතාව කවීෂා දිල්හාරි විසින් බිද ලබන ලද්දේ බේට්ස්ගේ කඩුල්ලේ පන්දුව කෙළින්ම වද්දවමිනි. මැද පෙළින් පැමිණි මැඩී ග්‍රීන් 38 ක් සහ ජෝර්ජියා ප්ලිමර් (23*) වශයෙන් නවසීලන්ත මැද පෙළ වෙනුවෙන් ජීවය එක් කළහ.
නවසීලන්තය පන්දුවාර 28 කදී කඩුලු 5 ට ලකුණු 170 යි – (අමේලියා කර් 40, සුසී බේට්ස් 28, බී. බෙසුඩෙන්හෝට් 13, සොපී ඩිවයින් 19, මැඩී ග්‍රීන් 28, ජෝර්ජියා ප්ලීමර් 23*, බෲක් හෝලිඩේ 01*, ඉනෝකා රණවීර 41/1, කවීෂා දිල්හාරි 26/1, සුගන්දිකා කුමාරි 28/1)
ශ්‍රී ලංකාව වපන්දුවාර 27 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 171 යි – (චමරි අතපත්තු 108*, විශ්මි ගුණරත්න 50, හර්ෂිතා සමරවික්‍රම 4*, සොපි ඩිවයින් 20/1)