slc
logo
Home   |    News
ජූනි 11, 2023
අන්තර් සමාජ විස්සයි 20 තරගාවලියේ එන්.සී.සී. – කෝල්ට්ස් සම ශූරයෝ වෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා මතුවීම හේතුවෙන් එන්සීසී – කෝල්ට්ස් ක්‍රීඩා සමාජ සම ශූරයෝ බවට පත්වූහ. කොළඹ එන්සීසී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අතර කොළඹ එස්එස්සී පිටියේදී අද (11) පෙරවරු 10 ට තරගය ආරම්භවීමට නියමිතව තිබුණද වරින් වර ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකි විය.

තරග විනිසුරුවන් විටින් විට එස්එස්සී පිටිය තරගයට සුදුසු දැයි පරීක්ෂා කළ ද යහපත් තත්ත්වයක් නොවූයෙන් අවසානයේ තරගය අත්හැර දැමීමට තීරණය කළහ.

එන්සීසී ක්‍රිකට් නායක නිරෝෂන් දික්වැල්ලට හා කෝල්ට්ස් ක්‍රීඩා සමාජ නායක අකිල ධනංජයට සම ශූරතා කුසලානය සමග රුපියල් ලක්ෂ 5ක මුදල් තෑග්ග දේශීය ක්‍රිකට් මෙහයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න  හා දේශීය ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ පරිපාලන කළමනාකරු සුරේෂ් බුලන්කුලම යන මහත්වරු අතින් පිරිනැමුණි.

තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස එන්සී.සී. පිලේ උපුල් තරංග සම්මානය හා රුපියල් ලක්ෂයක තෑගි මුදල හිමිකර ගත්තේය. තරංග මෙම තරගාවලියේ තරග 4කදී ඉනිම දෙකකට ක්‍රීඩා කොට ශතකයක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 190ක් රැස්කර ගත්තේය. පන්දු 125කට මුහුණදුන් තරංග හයේ පහර 11ක් හා හතරේ පහර 14ක් තරගාවලිය පුරා එල්ල කොට පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටියේය.

තරගාවලියේ දක්ෂතම  පන්දු යවන්නා ලෙස බ්ලූම්ෆීල්ඩ් පිලේ ළහිරු මධුසංඛ සම්මානය හා රුපියල් ලක්ෂයක තෑගි මුදල හිමිකර ගත් අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හා ලක්ෂ 2ක මුදල් තෑග්ග මුවර්ස් ක්‍රීඩා සමාජයේ ළහිරු සමරකෝන් දිනා ගත්තේය. දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සඳහා ළහිරු සමරකෝන් ඇතුළත්ව සිටීම නිසා මෙම සම්මානය ලබා ගැනීම සදහා ඔහුට එම ස්ථානයට පැමිණීමට අවස්ථාව නොමැති විය.

දක්ෂතම පන්දු යවන්නා වූ ළහිරු මධුසංඛ තරග 5කදී කඩුලු 10ක් බිදහෙලූ අතර, හොදම පන්දු යැවීම ලෙස ලකුණු 17කට කඩුලු 4ක් සටහන් විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ළහිරු සමරකෝන් මෙවර තරගාවලියේ තරග 5කදී කඩුලු 12ක් බිදහෙලා කැපී පෙණෙන ක්‍රීඩකයෙකු බවට පත්විය.

මූලික වටය යටතේ එන්. සී. සී. කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේද කෝල්ට්ස් කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේද තරග වැදි අතර එහිදී එන් සී. සී පිල අපරාජිතව අවසන් කණ්ඩායම් හතරේ තරග වටයට පිවිසියේය. කෝල්ට්ස් කණ්ඩායම සහභාගිවූ තරග 4 න් 3 ක් ජය ගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ඉකුත් 9 වැනිදා කොළඹ පී. සරා පිටියේ පැවැති අවසන් පූර්ව තරග වලදී ‌එන්. සී. සීි. කණ්ඩායම මුවර්ස් ක්‍රීඩා සමාජය පරදවමින් හා කෝල්ට්ස් කණ්ඩායම ඒස් කැපිටල් පිල පරදවමින් අවසන් මහ තරගයට පිවිසියහ.

එන්. සී. සී. කණ්ඩායම මූලික වටයේදී පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 48කින් පරාජය කළ අතර, යුද හමුදා පිල කඩුලු 9කින්, ගුවන් හමුදාව කඩුලු 7කින්, හලාවත මේරියන්ස් පිල ලකුණු 56කින් පරාජය කළේය. මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොලිසිය සමග තරගය අයහපත් කාලගුණික තත්ත්වය මත තීරණයකින් තොරව නිමාවට පත් වූවේය.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය මූලික වටයේදී බ්ලූම්ෆීල්ඩ් පිල කඩුලු 3කින් පරාජයට පතකළ අතර, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක පිල කඩුලු 8කින්, රාගම පිල කඩුලු 9කින් පරාජයට පත් කළේය. කෝල්ට්ස් මෙම තරගාවලියේදී එන්සීසී පිටියේ පැවැති සෙබස්තියනයිට්ස් සමග තරගය පමණක් ලකුණු 27කින් පරාජයට පත් විය.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වූ ළහිරු මදුශංක

දක්ෂතම පිතිකරුවා වූ උපුල් තරංග

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ ළහිරු සමරකෝන්

සමශූරයින් බවට පත් වුණු නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු එන්.සී.සී. කණ්ඩායම

සමශූරතාව දිනූ අකිල ධනංජයගේ නායකත්වයෙන් යුතු කෝල්ට්ස් කණ්ඩායම

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee