ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි මස 09 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව හරාරේ ක්‍රීඩාංගණයට අවතීර්ණ වන්නේ මෙම තරගාවලියේ එකම අපරාජිත රට ලෙසිනි. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 12.30 සිට පැවැත්වේ. එම තරගයේ ප්‍රථිඵලය කුමක් වුවත් එම කණ්ඩායම් දෙකම මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා අවසන්ය.
ලකුණු 244 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 190 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමට පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න සමත්වූහ. ඒ අතරින් පැතුම් නිස්සංක සිය එක්දින තරග දිවියේ තෙවැනි ශතකයට හිමිකම් කීවේ ලකුණු 104 ක් ලබා ගනිමිනි. පැතුම් විසින් පිට පිටම වාර්තා කරන ලද දෙවැනි ශතකය බවට පත් වුණු මෙම ඉනිම සදහා ඔහු පන්දු 113 ක් වැය කලේය. ඊට හතරේ පහර 14 ක්ද ඇතුළත් විය.
පන්දු 92 කට මුහුණ දුන් දිමුත් කරුනාරත්න අද දිනයේදී රැස් කර ගන්නා ලද්දේ තම 11 වැනි අර්ධ ශතකය විය. ලකුනු 83 කින් සමන්විත දිමුත්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් කර තිබුණේය. කඩුලු 2 ක් දැවී ගොස් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්කය සපුරා ගන්නා ලද්දේ තවත් පන්දු 34 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබාගෙනය.
කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා නායකයා කොදෙව් පිලට ආරාධනා කළ අතර එහිදී ඔවුනට පන්දුවාර 48.1 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 243 ක් පමණි. පළමු කඩුල්ල වෙනුවෙන් බ්‍රෙන්ඩන් කිං සහ ජොන්සන් චාර්ල්ස් ලකුණු 36 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වුවත් පන්දු 13 ක් ඇතුළත ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම ක්‍රීඩා ගාරය වෙත යැවීමට මහීෂ් තීක්ෂණ සමත්විය.
අනතුරුව ජොන්සන් චාල්ස්ගේ කඩුල්ල දවා ගැනීමට මතීෂ පතිරණ සමත්වීමත් සමග කොදෙව් ලකුණු පුවරුව ලකුණු 62 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් මැද පෙලින් එක් වූ කීසි කාර්ටි පන්දු 96 කදී ලකුණු 87 ක් ලබා කොදෙව් ඉනිමේ කොදු නාරටිය බඳු වූවේය. ඔහු පසු පෙළ පිතිකරුවන් වූ රොමාරියෝ ෂෙපර්ඩ්, කෙවින් සින්ක්ලෙයාර් සහ කයිල් මේයර්ස් සමග එක්ව අඩු ලකුණු සංඛඛ්‍යාවකට නිමා වීමේ අවධානමකට ලක් වුණු කොදෙව් ඉනිම ලකුණු 243 ක් දක්වා ඉදිරියට රැගෙන ගියහ.
පන්දු යැවීමේදී පන්දුවාර 10 කදී ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගත් මහීෂ් තීක්ෂණ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් කම් දෙකක් සහිතව තරගයට අවතීර්ණ විය. වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා විවේක ගන්වා තිබූ අතර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුශාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා තිබිණ. මෙහිදී දුහාන් හේමන්ත ලකුණු 49 කට කඩුලු 2 ක් දවා ගනිද්දී අද එක්දින තරග වරම් දිනා ගත් සහන් ආරච්චිගේ ලකුණු 18 කට තම මංගල කඩුල්ල ලෙස කයිල් මේයර්ස්ගේ කඩුල්ල දවා ගත්තේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල පන්දුවාර 48.1 කදී සියලු දෙනා දැවී ලකුණු 243 යි – (කීසි කාර්ටි 87, නිකොලස් පූරාන් 14, බ්‍රේන්ඩන් කිං 10, ජොන්සන් චාල්ස් 39, කයිල් මේයර්ස් 19, රොමාරියෝ ශෙපර්ඩ් 26, කෙවින් සින්ක්ලෙයාර් 25, මහීෂ් තීක්ෂණ 34/4, දුෂාන් හේමන්ත 49/2, සහන් ආරච්චිගේ 18/1, ඩිල්ෂාන් මදුශක 49/1, දසුන් ශානක 27/1, මතීෂ පතිරණ 61/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 44.2 කදී කඩුලු 2 ක් දැවී ලකුනු 244 යි – (පැතුම් නිස්සංක 104, දිමුත් කරුණාරත්න 83, කුසල් මෙන්ඩිස් 34*, සදීර සමරවික්‍රම 17*, මැතිව් සින්ක්ලෙයාර් 52/1, අකීල් හොසේන් 54/1)