slc
logo
Home   |    News
ජූලි 6, 2023
කොළඹ උතුර පරදවා යූත් ලීග්  ශූරතාව මහනුවර දිනා ගනියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වරටත් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී කොළඹ උතුරු කණ්ඩායම කඩුලු 6 කින් පරාජයට පත් කල මහනුවර කණ්ඩායම එම තරගාවලියෙන් ශූරතාව දිනා ගැනිමට අද (06 වැනිදා) පස්වරුවේ සමත්විය. ඒ සමගම ජයග්‍රාහී මහනුවර කණ්ඩායමට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 4 ක ත්‍යාගයක් හිමිවිය.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායමේ නායක රහල් අමරසිංහගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුරු කණ්ඩායමට පන්දුවාර 48.1 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 177 ක් පමණි. එම ඉලක්කය හඹා ගිය ජයග්‍රාහී මහනුවර පිතිකරුවෝ පන්දුවාර 14 යි පන්දුවක් සහ කඩුලු 6 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ.

එම හඹා යෑමේදී පළමු කඩුල්ල ලෙස පුළිඳු පෙරේරා (01) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 09 දී දැවී ගියද දෙවැනි කඩුල්ලට එක් වුණු නායක රහල් අමරසිංහ සහ සුපුන් වඩුගේ ලකුණු 91 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය සදහා වන මූලික අඩිතාලම එක් කළහ. මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රහල් අමරසිංහ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් පන්දු 52 කදී වේගවත් ලකුණු 70 ක් ලැබා ගත්තේය. මෙම ඉනිම හේතුවෙන් අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන්ද මහනුවර නායකයා පිදුම් ලැබීය. ඔහුට අමතරව සුපුන් වඩුගේ පන්දු 40 කදී ලකුණු 31 ක් ලබා ගනිද්දී කවිජ ගමගේ පන්දු 64 කදී ලකුණු 49 ක් ලබා කණ්ඩායම ජයග්‍රහණය සනිටුහන් ‌වන තෙක් කඩුල්ල ආරක්ෂා කර ගත්තේය.

කොළඹ උතුරු කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 18 දී බිද වැටෙද්දී මුලු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 11 ක් එකතු වද්දී ඉදිරි‌ පෙළ පිතිකරුවන් පස් දෙනාම තරග නරඹන්නනට බවට පත් කිරීමට තෙනුක ඒකනායක සහ අබ්දුලු හකම සමත්වූහ. මොවුන් දෙදෙනා අතර හකම කඩුලු 3 ක් දවා ගනිද්දී ඉතිරි ඉදිරි පෙළ කඩුලු දෙක තෙනුක ඒකනායක විසින් බිඳ හෙළීය.

කෙසේ වෙතත් අංක 6 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි සරුජන ශන්මුගනාදන් සහ අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රශ්මික හිරූෂාන් එක්ව කඩා වැටුණු කොළඹ උතුරු ඉනිමට මුක්කු ගැසූහ. ඒ අනුව ඔවුන් දෙදෙනා 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක් එක් කරන ලද්දේ පන්දු 84 ක් වැය කරමිනි.

ඉතා ඉවසිලිවන්ත වූ පිතිකරණයකට නියැළි සරුජන්, පන්දු රකින්නන් නොමැති ස්ථාන වලට පන්දුව යොමු කරමින් තම ඉනිම ගොඩ නැංවීය. පෙරමුණ බිඳ වැටී අසරණව තිබූ කොළඹ උතුරු ඉනිම ලකුණු 177 ක් දක්වා රැගෙන ඒමේ පූර්ණ ගෞරවය සරුජන්ට හිමිවිය.

කෙසේ වෙතත් පන්දු 48 කදී ලකුණු 30 ක් රැස් කළ ‌රශ්මික හිරුෂාන්ගේ කඩුල්ල දවා ගනිමින් එම සම්බන්ධතාව බිඳ දැමීමට දිනුක තෙන්නකෝන් සමත්වූවේය. තෙනුක දැවී යන විටත් ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුනු 89 ක් ලෙස සටහන්ව තිබුණත් සටන අත් නොහළ සරුජන් පසු පෙළ පිතිකරුවන් සමඟ එක්ව කොළඹ උතුරු කණ්ඩායම ලකුණු 200 ඉලක්කය ආසන්නය කරා රැ‌ගෙන ගියහ.

සරුජන් තම අන්තය රැක ගනිද්දී ඔහුට සහයෝගය ලබා දුන් පසු පෙළ පිතිකරුවෝ පන්දුවාර 13 කුත් පන්දුවකදී කඩුලු ආරක්සා කර ගැනීමට සමත් වූහ. එහිදී 8 වැනි කඩුල්ල ලකුණ 122 දී බිද වැටුණද අවසන් කඩුලු 2 දී තවත් ලකුණු 55 කින් ලකුණු පුවරුව පෝෂණය කිරීමට උවින් පෙරේරා (08) සහ නායක දුවිඳු රණතුංග (නොදැවී 14), සරුජන් සහයෝගය දැක්වූහ.

මෙම තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තරග 3 කදී කඩුලු 10 ක් බිඳ හෙලූ ගාල්ල කණ්ඩායමේ යූරි කොත්තිගොඩද, දක්ෂතම පිතිකරුවා ලෙස තරග 3 කදී ශතකයක් ද සමඟ ලකුණු 178 ක් රැස් කළ පුළිඳු පෙරේරා ද සම්මාන දිනා ගනිද්දී තරගාවලියේ වීරයා සම්මානය දෙදෙනෙකු අතර බෙදී යෑම කැපී පෙනිණ. මෙහිදී ගාල්ල කණ්ඩායමේ නායක මල්ෂ තරුපති සහ කොළඹ දකුණු කණ්ඩායමේ විශේන් හැළඹගේ මෙවර තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලද ක්‍රීඩකයෝ බවට පත්වූහ. මල්ෂ මෙවර තරග වාරයේ තරග 3 කදී කඩුල 6 ක් සහ පන්දුවට  පහර දෙමින් ලකුණු 104 ක් ද විශේන් තරග 3 කදී ලකුණු 48 ක් සහ කඩුලු 9 ක් බිඳ හෙළමින්  එම සම්මානයට සමව හිමිකම් කීය. අනුශූරතාවට පත් කොළඹ උතුරු කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 3 ක මුදලක් හිමිවිය.

තරගාවලියේ ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ක්‍රිකට් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුරේෂු බුලන්කුලම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවසන් මහ තරගය ඊයේ (05 වැනිදා) පැවැත්වීමට නියමිත තිබුණද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා අද පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 48.1 කදී සියලු දෙනා දැවී ලකුනු 177 යි – (සරුජන් සම්මුගනාදන් 76, රහ්මික හිරුෂාන් 30, හිරුන් කපුරුබණ්ඩාර 15, ඉනුක කරන්නාගොඩ 10, දුවිඳු රණතුංග 14*, තෙනුක ඒකනායක 27/3, අබ්දූල් හකම 39/3, කවිෂ පියුමාල් 25/2, දිනූක තෙන්නකෝන් 38/2)

මහනුවර  පන්දුවාර 35ග5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 178 යි – (රහල් අමරසිංහ 70, සුපුන් වඩුගේ 31, කවීජ ගමගේ 49*, මනුල කුලරත්න 14, දුවිදු රණතුංග 36/2, උවින් පෙරේරා 15/1, විහන් තෙව්මික 28/1)

තරගාවලියේ ශූරතාව දිනා ගත් රහල් අමරසිංහගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම

අනුශූරතාවට පත් කොළඹ උතුරු කණ්ඩායම

අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ මහනුවර කණ්ඩායමේ නායක රහල් අමරසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය තරග අංශ ජ්‍යෙෂ්ඨ කලමනාකරු සුරේෂ් බුලන්කුලම මහතා අතින් කුසලාන ලබා ගනිමින්.

 

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar