slc
logo
Home   |    News
ජූලි 13, 2023
ගියවර නැගීඑන අනුශූරයෝ ශ්‍රී ලංකාව හමුවේ පරදිති

sinhala editor

BY CHAMILA KARAWITA

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් අද (13 දා) ශ්‍රී ලංකාවේදී ආරම්භ වුණු නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගිවුණු පළමු තරගයෙන් ඉකුත් වසරේ නැගීඑන ආසියානු තරගාවලියේ අනුශූරයින් ලෙසින් මෙවර තරගාවලියට අවතීර්ණ වුණු බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 48 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 350 ක දැවැන්ත ඉලක්යක් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට ලබා දුන් නමුත් පන්දුවාර 48.3 කදී ඔවුනට රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 301 ක් පමණි.

බංග්ලාදේශ ‘ඒ’ කන්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 69 ක වේගවත් ආරම්භයක් ලබා දීමට මොහොමඩ් නයිම් ෂෙයික් සහ ටන්සිඩ් හසන් සමත් වුවත්, ඔවුන් දෙදෙනාම ලකුණු 05 කදී ඉවත් කිරීමට සහන් ආරච්චිගේ සහ චාමික කරුනාරත්න සමත්වූහ. එහෙත් තෙවැනි කඩුල්ලට එක් වුණු සකිර් හසන් සහ මොහොමඩ් සයිෆ් හසන් පන්දු 64 කදී වේගවත් ලකුණු 78 ක සම්බන්ධතාවක් පවත්වමින් බංග්ලාදේශය කණ්ඩායමට ජයග්‍රාහී බලාපොරොත්තු එක් කිරීමට සමත්වූය. මෙහිදී සයීෆ් හසන්ගේ දායකත්වය පන්දු 46 කදී ලකුණු 53 ක්ද සකිර් හසන්ගේ දායකත්වය පන්දු 24 කදී ලකුණු 26 ක්ද වශයෙන් සටහන් වූහ.

අංක 6 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි සෞම්‍ය සර්කාර් පන්දු 46 කදී ලකුණු 42 ක් රැස් කළ නමුත් එය බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ප්‍රමාණවත් නොවීය. කෙසේ වෙතත් බංග්ලාදේශ පසු පෙළ පිතිකරුවන් වුණු මෙහෙදි හසන් (31) අමතරව රකිබුල් හසන් සහ රිපොල් මොන්ඩල්ද ලකුණු අතරට පිවිසීම නිසා මීට වඩා පරතරයකින් ජය ගැනීමට තිබූ තරගයේ ජය ලකුණු 48 ක් තරම් අවම මට්ටමකට රැගෙන ආහ.

නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 349 ක් රැඳවීම පිටුපස ශ්‍රී ලංකා පිලේ කශේරුකාව වූයේ අවිශ්ක ප්‍රනාන්දුය. පන්දු 56 කදී අර්ධ ශතකය වාර්තා කළ අවිශ්ක ශතකය කරා ගිය ගමනේදී ඒ සඳහා පන්දු 48 ක් වැය කළ අවිශ්ක ශතකය සම්පූර්ණ කර ගත්තේය. එතැකින් නොනැවතුණු දකුණත් ආරම්භක පිතිකරුවා තවදුරටත් පිටියේ රැදී සිටිමින් සිය ඉනිම ලකුණු 133 ක් දක්වා දීර්ඝ කර ගත්තේ පන්දු 124 කට ක්‍රීඩා කරමිනි. හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් ඇතුළත් වුණු අවිශ්ක 42 වැනි පන්දුවාරයේදී පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 271 ක් ලෙසින් සටහන් විය.

8 වැනි  පස්දුවාරය වන විට එල්ල කරන ලද වැරැදි පහරක් උඩ පන්දුවක් ලෙස ඇදී යෑම නිසා ලසිත් කෲස්පුල්ලේ අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් විය. එහෙත් අනතුරුව පිටියට පිවිසි මිනෝද් භානුක පන්දු 55 කදී ලකුණු 57 ක අනර්ඝ ඉනිමක් දියත් කරමින් අවිශ්ක සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 124 කදී ලකුණු 125 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඉදිරියට රැගෙන ගියහ. පන්දු 55 කදී ලකුණු 56 ක් ලබා සිටියදී රිපොන් මොන්ඩොල්ගේ පන්දුවක‌ට මෙහිදි හසන් අතට උඩ පන්දුවක් දී මිනෝද් භානුක දැවී යන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 176 ක් ලෙසින් සනිටුහත් විය.

මොවුන් තිදෙනාට අමතරව මැද පෙළින් පැමිණී පසිඳු සූරියබණ්ඩාර (43), අෂේන් බණ්ඩාර (35) සහ නායක දුනිත් වෙල්ලාලගේ (31) වේගවත් පිතිහරඹයක නිරත වීම නිසා අවසන් පන්දුවාර 10 දී ලකුණු 93 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අවස්ථාව උදාවිය. පන්දු 19 කට මුහුණ දුන් වෙල්ලාලගේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් ලබා ගනිද්දී අෂේන් බණ්ඩාර පන්දු 25 කදී ලකුණු 35 ක් වාර්තා කළේය.

‌මෙම තරගයේ වීරයා සම්මානයෙන් ශතක ලාභී අවිශ්ක ප්‍රනාන්දු පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා ‘ඒ්’ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 349 යි – (අවිශ්ක ප්‍රනාන්දු 133, ලසිත් කෲස්පුල්ලේ 31, මිනෝද් භානුක 57, සහන් ආරච්චිගේ 02, පසිදු සූරියබණ්ඩාර 43, අෂේන් බණ්ඩාර 35 දුනිත් වෙල්ලාලගේ 31, චාමික කරුනාරත්න 08, දුෂාන් හේමන්ත 03*, ප්‍රමෝද් මදුශාන් 00*, රිපොන් මොන්ඩොල් 71/3, සෞම්‍ය සර්කාර් 52/3, රකිබුල් හසන් 63/1, මෙහෙදි හසන් 48/1)

බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 48.3 කදී  ලකුණු 301 යි – (මොහොමඩ් ෂෙයික් 22, ටන්සිජ් හසන් 51, සකිර් හසන් 26, මොහොමඩ් හසන් 53, මහමුදුල් හසන් ජෝයි 11, සෞම්‍ය සර්කාර් 42, අක්බාර් අලී 00, මෙහෙදි හසන් 31, රකිබුල් හසන් 40, රිපොන් මොන්ඩොල් 16*, මුසිෆික් හසන් 00, සහන් ආරච්චිගේ 62/2, දුෂාන් හේමන්ත 54/3, ප්‍රමෝද් මදුෂාන් 50/3, චාමික කරුණාරත්න 60/1, දුනිත් වේලලාලගේ 41/1)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest