slc
logo
Home   |    News
ජූලි 3, 2023
නවසීලන්තය පරදවා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඓතිහාසික තරගාවලි ජයක් වාර්තා කරති

sinhala editor

Chamila karawita reporting from Galle

චමරි අතපත්තුගේ අනුකම්පාවිරහිත වේගවත් ශතකය හමුවේ තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (03 දා) පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (03 දා) පස්වරුවේ සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය. නවසීලන්ත කණ්ඩායමක් ද්වී පාර්ශ්වික තරගාවලියක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු තරගාවලිය ලෙසින් සටහන් වුණු තරගාවලි ජය ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයකි.

වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29 කදී ලකුණු 196 ක සංශෝධිත ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාරයකට ලබාගත යුතු වේගය ‌ලෙසින් 6.76 ක් සටහන් විය. අභියෝගාත්මක හඹා යෑමේ වගකීම කරට ගත් චමරි අතපත්තු සහ නිලක්ෂි ද සිල්වා එම ඉලක්කය හඹා ගියේ පන්දු 13 ක් සහ කඩුලු 8 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබමිනි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භය ඇල් මැරුණු ස්වභාවයක් ගනු ලැබුවේ මුලු ලකුණු සංඛ්‍යාව 06 ක්ව තිබියදීම විශ්මි ගුණරත්න (00) සහ හර්ෂිතා සමරවික්‍රම (03) දැවී යෑම නිසාය. එහෙත් චමරි අතපත්තුට එක් වූ නිලක්ෂි ද සිල්වා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 190 ක වාර්තා ගත සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා කාන්තා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු 140 කදී වාර්තා වුණු මෙම ලකුණු සම්බන්ධතාව ශ්‍රී ලංකා පිලේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මීට පෙර ඉහළම ලකුණු සම්බන්ධතාව බවට පත්වූයේ ඉකුත් සතියේදී චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න විසින් පවත්වන ලද ලකුණු 159 ක සම්බන්ධතාව විය.

මුහුණ දුන් 30 වැනි පන්දුවේදී අර්ධ ශතකය වාර්තා කළ චමරි 60 වැනි පන්දුවේදී සිය 8 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය සටහන් ගත්තේ තරගය නිමා වන විටත් පන්දු 105 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 13 ක් සමඟින් නොදැවී ලකුණු 140 ක් ලබාගනිමිනි. ඇයට අනගි සහායක් ලබා දුන් නිලක්ෂි ද සිල්වා පන්දු 68 කදී ලකුණු 48 ක් ලබා ගත්තේ තම ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් කරමිනි.

තරගාවලියේ දෙවැනි ශතකය ලෙසින් සටහන් වුණු චමරිගේ ශතකයත් සමග මේ වන විට ලොව වැඩිම ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ ‌සිව්වැනි ස්ථානයේ සම තැන් ගැනීමටද ඇයට අවස්ථාව උදා වූවාය. චමරිට ඉදි‌රියෙන් ඔස්ට්‍රේලියානු පිලේ ලැනින්ග් (15), නවසීලන්ත පිලේ සුසී බේට්ස් (12) සහ එංගලන්ත පිලේ බීමවුන්ට් සහ එඩ්වර්ඩ්ස් (9) ඉදිරියෙන් පසුවෙති.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායිකා සොපී ඩිවයින් පළමුව පන්දුවට පහර දීමට තීර‌ණය කළාය. නවසීලන්ත කණ්ඩායමේ 31 වැනි පන්දුවාරය යවා අවසන් වීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ වන විටත් නවසීිලන් පිතිකාරිණියෝ කඩුලු 2 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටියහ.

පෙ.ව. 11.52 ට ඇද හැළුණු වර්ෂාව නිසා තරගය නැවතත් ආරම්භ කෙරුණේ ප.ව. 3.30 ට විය. පැය 3 කුත් මිනිත්තු 08 ක කාලයක් තරගයට අහිමි වූ බැවින් නැවතත් තරගය ආරම්භ කිරීමේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29 කදී ලකුණු 196 ක ඉලක්කයක් හිමි විය.

ශ්‍රී ලංකාව මෙම තරගයේදී වෙනස්කම් දෙකක් සමගින් අවතීර්ණ වූයේ පෙර තරගයේදී වේග පන්දු යවන්නියක වූ කාව්‍යා කාවින්දි වෙනුවට දඟ  පන්දු යවන්නියක වන ඉනෝෂි ප්‍රියදර්ශනී සහම සුගන්දිකා කුමාරි වෙනුවට හංසිමා කරුණාරත්න කැඳවමිනි.

ඒ අනුව ආරම්භක පන්දු යවන්නිය ලෙසින් ඉනෝෂි ප්‍රියදර්ශනී කටයුතු කළ අතර අනෙක් අන්තයෙන් උදේශිකා ප්‍රබෝධනී ඉතා නිවැරදි ඉලක්කය හමුවේ පන්දු යැවීම කැපී පෙනිණ. ඔෂධී රණසිංහද 7 වැනි පන්දුවාරයේ සිට පැමිණි අතර මොවුන් තිදෙනා විසින් පවර් ප්ලේ අවස්ථාවට හිමි පළමු පන්දුවාර 10 දී ලකුණු 26 කට නවසීලන්ත පිතිකාරිණියන්ව නවතා තබා ගැනීමට සමත් වූවාය. ඒ අතර කවීෂා දිල්හාරි විසින් පන්දුව කෙලින්ම කඩුල්ලට එල්ල කරමින් බේසවුඩන්හවුට්ව ලකුණු 4 කට පිටියෙන් ඉවත් කිරීමටද සමත්වූවාය.

මෙම පන්දුවාර 10 අතරතුරදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් කෙතරම් හොදින් පන්දු යැවුවේද කිවහොත් ප්‍රතිවාදී ඉනිමේ පිතිකාරිණියන් එල්ල කර තිබුණේ හතරෙ පහර 2 ක් පමණක් වීම කැපී පෙනිණ. දෙවැනි තරගයේ ශතක ලාභිණීය වුණු ඇමේලියා කර් ට ද අද ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 19 ක් පමණි. ඔෂධී රණසිංහ විසින් යවන ලද පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදිම නිසා කර්ගේ ඉනිම මුහුණ දුන් 36 වැනි පන්දුවෙදී නිමාවට පත්විය.

අනතුරුව සුසී බේට්ස්ට එක් වුණු නායිකා සොබී ඩිවයින් නවසීලන්ත ඉනිම ඉදිරියට රැගෙන යෑමේ කාර්යයේ නිරත වූහ. තරගයේ 31 වැනි පන්දුවාරය යැවීමත් සමග වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා නතර කරන විටත් නවසීලන්ත ඉනිම කඩුලු 2 කට ලකුණු 127 ක් ලෙසින් සටහන් විය.

ඒ අතරතුරදී තම 32 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සුසී බේට්ස් සමත් වූවාය. තරගය නිමා කරන විට බේට්ස් පන්දු 87 කට මුහුණ දෙමින් ලකුණු 63 ක්ද නායිකා ඩිවයින් පන්දු 48 කදී ලකුණු 38 ක්ද ලබා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 74 ක සම්බන්ධතාවයක් පවත්වා තිබුණහ.

නවසීලන්තය පන්දුවාර 31 කදී කඩුලු 2 ක් දැවි ලකුනු 127 යි – (සුසී බේට්ස් 63*, සොපී ඩිවයින් 38*, ඇමේලියා කර් 19, බර්නඩීන් බේසවුඩන්හවුට් 04, ඔෂධී රණසිංහ 22/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 25.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 196 යි – (චමරි අතපත්තු 140*, නිලක්ෂි ද සිල්වා 48*, හර්ෂිතා සමරවික්‍රම 03, විශ්මි ගුණරත්න 00, ලී ටහුහු 29/1, සොපී ඩිවයින් 32/1)

තෙවැනි එක්දින තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරී පත්වූ චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට්හි කාන්තා ක්‍රිකට උපදේශක මනුජ කාරියප්පෙරුම මහතා අතින් සම්මාන ලබා ගත් අවස්ථාව.

 

Active filters

Recent Posts

  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]
  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee