slc
logo
Home   |    News
ජූලි 20, 2023
අපිට වැරදුණු තැන් දෙකක් තිබුණා –  නායක දිමුත්

sinhala editor

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද(20 දා) නිමාවූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැරදුණු තැන් දෙකක් ඇති බව නායක දිමුත් කරුණාරත්න පැවැසීය. ඉන් පළමු වැන්න කාසියේ වාසිය දිනාගත් පසු ලකුණු පුවරුවට විශාල ලකුණු ගණනක් එක් කිරීමට නොහැකි වීම හා පන්දු රකින්නන් උඩ පන්දු තුනක් අත් හැරීම බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා සඳහන් කළේය. ඔහු මේ බව පැවැසූවේ පාකිස්තානය කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.

“ විකට් එකේ හොදම දවසේදි හොදම වේලාවෙදි අපිට ලොකු ලකුණු ගණනක් රුස් කරන්න බැරි වුණා. තරගයේ මුල් සෙෂන් එකේ ඒ අයගේ වේග පන්දු යවන්නන් ඉතා හොදින් පන්දු යැව්වා. කාසියේ වාසිය දිනා ගෙන ලකුණු පුවරුවට විශාල ලකුණු ගණනක් එක් කිරීමට නොහැකි වුණා. ඒකට අපේ මුල් පෙළේ පිතිකරුවන් සියලු දෙනා වගකිව යුතුයි. අනෙක් දේ තමයි ලකුණු 100ට කඩුලු 5ක් බිද වැටිලා තිබුණ වේලාවේ පාකිස්තානය හොද ලකුණු සම්බන්ධතාවක් ගොඩ නැගුවා. ඒ අතරතුර ඔවුන් උඩපන්දු තුනක් දුන්නා. ඒවා අල්ලා ගන්න බැරිවුණ නිසා ලකුණු 100ක් විතර නවත්ත ගන්න අපට තිබූ අවස්ථාව ගිලිහුණා. මේ කරුණු පරාජයට කෙලින්ම බලපෑවා“ දිමුත් කරුණාරත්න පැවැසීය.

“පිතිකරුවන්ගේ පැත්තෙන් අපි බැලුවේ ඔවුන්ගේ වේග පන්දු යවන්නන්ට මුලදීම ප්‍රහාර එල්ල කර ඔවුන් එළියට දාන්න. අපේ පිතිකරුවන් සැරෙන් සැරේ හොද ආරම්භයක් ගත්තත් ලොකු සම්බන්ධතා නැති එක අඩුවක්. පෞද්ගලිකව ක්‍රීඩකයෙක් විදිහට මා අසාර්ථක වෙන්න පුලුවන්. තරගයකදී ක්‍රීඩකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් තමයි සාර්ථක වෙන්නේ. නමුත් මේ තරගයේදී ධනංජය හැරෙන්න අනෙක් සියලු පිතිකරුවන් අසාර්ථක වුණා. ධනංජයගේ ලකුණු ටික හැරෙන්න අනෙක් අයගෙන් හොද ලකුණු ආවේ නෑ“

“පාකිස්තාන පන්දු යවන්නන්ගෙන් ලොකු තර්ජනයක් තිබුණේ නෑ. ඔවුන් මූලික සිද්ධාන්ත අනුව පන්දු රකිනන් යොදවලා හොදින් පන්දු යැව්වා. හොද ස්ථානවල පන්දු යැව්වා. ඔවුන්ගේ පා දඟ පන්දු යවන්නාගේ විතරක් විවිධත්වයක් තිබුණා. අනෙක් පිට දග පන්දු යවන්නා හා වමත් දඟ පන්දු යවන්නා එකම තැනට පන්දු යැව්වා. ඒ වගේ වේලාවක අපි පන්දුවට පහරදෙන්නේ කොහොමද කියා හිතන්න වෙනවා. අපි ඩිෆෙන්සිව් පිතිකරණයක් පෙන්නුවේ. ඒක හදාගෙන යන්න වෙනවා. ගිය පාර යසීර් ෂා අභියෝගයක් වුණා. පසුගිය වසරේ පැමිණි පාකිස්තාන කණ්ඩායමට වඩා දඟ පන්දු යවන්නන්ගෙන් මේ තරගයේදී තර්ජනයක් තිබුණේ නෑ. ඔවුන්ගේ වේග පන්දු යවන්නන් දෙනො තරගය පාලනය කරන බවක් පේනවා“ දිමුත් සඳහන් කළේය.

“ෂාන් මෂූඩ් හා සල්මාන් විතරයි පිතිකරණ රිද්මයේ වෙනසක් කළේ. අනෙක් අය සාමාන්‍ය විදිහට ක්‍රීඩා කළේ. කඩුලු වැටුණාම සමහර පිතිකරුවන් බලනවා ලකුණු ගහලා පීඩනයෙන් මිදෙන්න. සමහරු කඩුල්ලේ ඉන්න බලනවා. සෆ්රාස් අහමඩ් එකම විදිහට සෙල්ලම් කරන්නේ. ඒ අය ලකුණු 400ක් ගැහුව්වේ අපේ අතින් උඩ පන්දු ගිලුහුණ නිසා. අපි ෂාකිල් ගැන දන්නේ නැති නිසා ඔහු ගැන අධ්‍යයනය කළා. ඔහු ලකුණු ගන්න ස්ථාන වහලා අපි ක්‍රීඩා කළා. ඔහු දවා ගැනීමේ අවස්ථා තුනක් දුන්නා. ඒ වේලාවට ඔහුට ලොකු ලකුණු ගණනකට යන්න පුලුවන් අවස්ථා නිර්මාණය වෙනවා. ඔහු ගැන තවත් අධ්‍යයනය කොට දෙවැනි තරගයට යනවා“

“හැමවිටම රූපවාහිනී පුන රූපණවලට ගොස් දැවී යෑම් පිළිබඳ විමසන්නේ කඩුලු රකින්නාගෙන් හා පන්දු යවන්නාගේ අදහස් අරගෙනයි. විකට් එකේ පන්දුව වදිනවාද කියා මා අහනවා. ඔවුන්ගේ අදහස් අනුව මා ක්‍රියා කරන්නේ. මට හැම තිස්සේම කියන්නේ විකට් එකේ වදිනවා කියා. නමුත්  රූපවාහිනී පුනරූපනය බලද්දී පන්දුව කොහේවත් විකට් එක කොහේවත්. එතකොට ඉතිං හිතනවා කැප්ටන් මෝඩයා කියලා. විකට් කීපර් හා පන්දු යවන්නා තමයි කඩුල්ල කෙලින් ඉන්නේ. මේ ගැන වෙනම විදිහට කතා කරන්න ඕනේ. මේක සෑහෙන්න ලොකු පාඩුවක්. තියුණු තරගයක් යද්දී. අපේ අතින් වෙච්ච වැරදි මීළග තරගයට පෙර කතා කරනවා“

“නායකත්වයෙන් ඉවත් වෙන්න අවශ්‍ය බව මා කියා තිබෙනවා. නමුත් තව ටිකක් ඇදන් යන්න කියලා තේරීම් කමිටුව මට කිව්වා. නමුත් මේ තරගාවලියෙන් පස්සේ මා කැමැතියි නායකත්වයෙන් ඉවත් වෙන්න. පිතිකරුවෙක් විදිහට පූර්ණ අවධානය යොමු කරන්න මට පුලුවන්. දැනට කණ්ඩායමේ නායකත්වයට සුදුසු කිහිප දෙනකුම මා දකිනවා. මේ තැන ගන්න ඔවුන් හොද තැනකට ඇවිත් තියෙනවා. මට තනියම තීරණ ගන්න බෑ. මගේ කොන්ත්‍රාත්තුවේ තියනවා නායකත්වයෙන් ඉවත් වෙනවා නම් කලින් කියලා ඉවත් විය යුතුයි කියා. අපිට මීළඟ ටෙස්ට් තරගාවලිය තියෙන්නේ ලබන පෙබරවාරි මාසයේ. කල් තියෙනවා නව නායකයෙකුට වැඩ කරන්න දෙන්න. අපි තේරීම් කමිටුවේ අදහස බලමු“ නායක දිමුත් කරුණාරත්න පැවැසීය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee