slc
logo
Home   |    News
ජූලි 21, 2023
අවිශ්ක සහ සහන්ගේ උත්සාහය අපතේ යයි

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (21 දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම හමුවේ ලද ලකුණු 60 ක පරාජය හේතුවෙන් අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට තිබූ අවස්ථාව අහිමිවිය. ඒ අනුව පාකිස්තානු කණ්ඩායම අද රාත්‍රියේ පැවැත්වෙන ඉන්දියාව සහ බංග්ලාදේශ අතර තරගයේ ජයග්‍රාහකියන් සමඟ ලබන 23 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයේදී තරග වදිනු ඇත. 

පී. සරා ඔ්වල් පිටියේ පැවැති මෙම තරගයේදී පාකිස්තානය ලබා දුන් ලකුණු 323 ක ඉලක්කයක හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45.4 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුනු 262 ක් පමණි. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළ ප්‍රධානියා බවට පත් වුණු අර්ෂාද් ඉක්බාල් ලකුණු 37 කට කඩුලු 5 ක් දවා ලමින් පාකිස්තානුවන්ව අවසන් මහ තරගය වෙත රැගෙන යෑමේ මූලිකත්වය ගත්තේය.

අසීරු ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ සහන් ආරච්චිගේ ලකුණු 97 බැගින් රැස් කළද එය පාකිස්තානු ජයග්‍රහණය වළකාලිම සදහා ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකා ‘ඒ’ ආරම්භය අසාර්ථක වූයේ පළමු කඩුලු 3 ම ලකුණු 33 ක් ඇතුළත දැවී යෑම නිසාය. 8 වැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන් පිටියට එක්වූ සහන් ආරච්චිගේ සහ අවිශ්ක ප්‍රනාන්දු දෙදෙනා කඩා වැටුණු ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම ඔසවා තැබිමට දැඩි උත්සාහයක් ගත්හ. එහිදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128 ක් එක් කළ අවිශ්ක සහ සහන් දෙදෙනා ශ්‍රී ලංකාව පත්ව සිටි අසීරුතාවයෙන් මුළු මනින්ම මුදවා ගත්හ.

මෙම සම්බන්ධතාවයේ වීශේෂත්වය වූයේ කඩුලු 3 ක් ළඟ ළඟ දැවී ගියත් ජයග්‍රහණය සඳහා රඳවා ගත යුතු වේගය සමඟ මොවුන් දෙදෙනා පන්දුවට පහර දීමට සමත්වීම විය. ඔවුන් ඒ සඳහා වැය කරන ලද්දේ පන්දු 127 ක් පමණි. පාකිස්තානු කණ්ඩායම දැඩි පීඩනයකට නතු වූ සම්බන්ධතාවක් වූ එම සම්බන්ධතාව සුෆියන් මුකීම් බිඳ දමන ලද්දේ අවිශ්ක ප්‍රනාන්දුට යොමු කරන ලද චයිමනමන් පන්දුවකිනි.

සිය වමත් මැණික් කටුව ප්‍රයෝජනයට ගනිමින් පන්දු යවන මුකීම් එවන ලද්දේ පිට ඉන්නේ සිට තම පා ඉන්නට වෙත දඟ කැවෙන පන්දුවක් යැයි සිතා පා ඉන්න දෙසට අවිශ්ක පන්දුව තල්ලු කළේය.  එය නොසිතූ ලෙස පිතිකරුවාගෙන් ඉවතට ඇදී ගියේ තියුණු ලෙස දඟ කැවුණු චයිනමන් පන්දුවක් ලෙසිනි. ලකුණක් ලබා ගැනීමට දරූ උත්සාහයේදී කඩුලු රකින්නා කඩුල්ල බිඳ දමනා විට අවිශ්ක සීමා ඉරට ඉදිරියෙන් විය. මේ නිසාම ශතකයක් ලබා ගැනීමට අවිශ්කට තිබූ පහසුම අවස්ථාව ලකුණු 97 කදී නිමාවට පත්විය. පන්දු 85 ක් පමණක් වැය වුණු අවිශ්කගේ මෙම සුවිශේෂී ඉනිම සඳහා ඔහු හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් එල්ල කර තිබුණි.

අවිශ්ක මෙන්ම කැපී‌ පෙනෙන පිතිහරඹයක නිරත වූ සහන් ආරච්චිගේ ශ්‍රී ලංකවේ බර ගනිමින් පන්දුවට පහර දුන් නමුත් ඔහුද ශතකයට ලකුණු 03 ක් තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. මුබාසිර් ඛාන්ගේ පන්දුවක් හමුවේ සහන් දැවී යන විට පන්දු 109 කටට මුහුණ දෙමින් ඉන් 1 ක් හයේ පහරක් ලෙසින්ද 12 ක් හතරේ පහර ලෙසින්ද එල්ල කර තිබුණි.

අෂේන් බණ්ඩාරටද මුකීම් එවන ලද්දේ අවිශ්කට එවන ලද පන්දුව හා සමාන පන්දුවකි. එහෙත් එහි වෙනස වූයේ එම පන්දුව බණ්ඩාරගේ පිටත දාරයේ වැදි ස්ලිප් ස්ථානයේ පන්දු රැකි සහිබ්සදා ෆර්හාන් විසින් උඩපන්දුවක් රැක ගැනීමයි. අනතුරුව සහන් ආරච්චිගේට එක් වුණු නායක දුනිත් වෙල්ලාලගේ 6 වැනි කඩුල්ලට ලකුණු 57 ක් රැස් කළහ.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායමේ 6 වැනි කඩුල්ල බිඳ වැටෙන තෙක්ම ලකුණු අතර සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට පාකිස්තානු පිතිකරුවෝ සමත්වූහ. මෙහිදී පළමු කඩුල්ල සඳහා ලකුණු 24 ක්ද සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 23 ක්ද හැරුණු කොට සෙසු සම්බන්ධතා 4 ම ලකුණු 37 ඉක්මවූ සම්බන්ධතා විය. 24, 37, 61, 23, 48 සහ 73 වශයෙන් පාකිස්තානු පළමු ඉනිමේ සම්බන්ධතා සටහන් විය.

ඒ අතරින් තෙවැනි කඩුල්ලට එක් වුණු ඔ්මාර් යුසුෆ් සහ ටයාර් ටයීර් පන්දු 63 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් එක් කරද්දී 6 වැනි කඩුල්ලට එක් වුණු නායක මොහොමඩ් හැරිස් සහ මුබාසීර් ඛාන් ලකුණු 73 කින් ලකුණු පුවරුව ශක්තිමත් කළහ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඔමාර් යුසුෆ් වන අතර ඔහු පන්දු 79 කට මුහුණ දෙමින් ලකුණු 88 ක් රැස් කළේය. හයේ පහරකින් සහ තරේ පහර 10 කින් යුසුෆ්ගේ ඉනිම වර්ණවත් වද්දී නායක මොහොමඩ් හැරිස් පන්දු 43 කදී ලකුණු 52 ක් රැස් කළේය. හතරේ පහර 5 ක් පමණක් එම ඉනිමට ඇතුළත් වද්දී කඩුලු අතර දිව යෑමට ඔහු ප්‍රමුඛතාව ලබා දෙමින් පන්දු සහ ලකුණු අතර පරතරය 9 ක් තබා ගැනීමට සමත්වූවේය.

පාකිස්තානු ඉනිමේ පස්වැනි කඩුල්ල බිඳ වැටෙන විටත් ඔවුන් ක්‍රීඩා කරමින් සිටියේ 33 වැනි පන්දුවාරයයි. ඒ වන විටත් ඔවුහු ලකුණු 193 ක් ලබාගෙන ලකුණු ලබා ගැනීමේ වේගය ලකුණු 06 කට වැඩි වේගවත් පවත්වාගෙන යෑමට සමත්වූහ. කෙසේ වෙතත් යුසුෆ් දැවී යෑ‌මෙන් පසු තරගයේ පාලනය තරමක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නැඹුරු වුවත් පන්දු 70 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් පැවැත්වූ නායක හැරිස් සහ මුබාසීර් ඛාන් ලකුණු 300 කට එහා ලකුණු සංඛ්‍යාවකට පාකිස්තානු පිල ඔසවා තැබූහ.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න, ළහිරු සමරකෝන් සහ ප්‍රමෝද් මදුශාන් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. ‌චාමික කරුණාරත්න ලබාගත් මෙම කඩූලු 2 ත් සමග මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත්වූවේය. ‌ඔහු මේ වන විට තරග 4 කදී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව කඩුලු 9 ක් වේ.

පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 322 යි – (ඔ්මාර් යුසුෆ් 88, ටයාබ් තහීර් 26, මොහොමඩ් හාරිස් 52, සියාම් අයුබ් 22, සහිබ්සදා ෆර්හාන් 12, මුබාසිර් ඛාන් 42, මොහොමඩ් වසීම් 24, චාමික කරුණාරත්න 55/2, ළහිරු සමරකෝන් 42/2, ප්‍රමෝද් මදුශාන් 56/2, දුනිත් වෙල්ලාලගේ 41/1, සහන් අාරච්චිගේ 43/1)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාාර 45.4 කදී සියලු දෙනා දැවී ලකුණු 262 යි – (අවිශ්ක ප්‍රනාන්නදු 97, සහන් ආරච්චිගේ 97, ලසිත් කෲස්පුල්ලේ 00 ,මිනෝද් භානුක 01, පසිඳු සූරියබණ්ඩාර 10, අෂේන් බන්ඩාර 17, දුනිත් වෙල්ලලාගේ 14, චාමික කරුනාරත්න 10, දුෂාන් හේමන්ත 00, ළහිරු සමරකෝන් 05, ප්‍රමෝද් මදුෂාන් 01*, අර්ෂාඩ් ඉක්බාල් 37/5, මුබාසිර් ඛාන් 45/2, සුෆියන් මුකීම් 44/2)

 

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee