slc
logo
Home   |    News
සැප්තැම්බර් 26, 2023
ක්‍රීඩා ලෝලීන්ට පොරොන්දුවක් දී දසුන් ඇතුළු ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන ගමන අරඹති

sinhala editor

By Chamila Karawita

“කියන්න ඕන, ඔව් මම නායකත්වය භාර ගත්තට පස්සේ දිගින් දිගටම අභියෝග භාර අරගෙන අපි කණ්ඩායමක් විදියට හොඳට හිටියා. වැටීම් තිබ්බා. නමුත් අපි වැටීම් වලින් ඉදිරියට ආපු කණ්ඩායමක්. ඉතිං මම හිතනවා  මේ ලෝක කුසලාන තරගාවලියේදී අපේ ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රතිචාර මධ්‍යයේ හොඳින් ක්‍රීඩා කරලා ඔවුනට ගෞරවයක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා“ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායේම සුදු පන්දු තරග ඉසව්වේ නායකයා ලෙසින් කටයුතු කරනු ලබන දසුන් ශානක සඳහන් කර සිටියේය.

ලබන ඔක්තෝම්බර් 05 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (26 දා) රාත්‍රියේදී පිටත්ව ගිය අතර ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී සුදු පන්දු නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ක්‍රීඩකයින් 16 දෙනා සහ සහාය කණ්ඩායමේ 13 දෙනා ඉන්දියාව බලා පිටත්ව ගියහ. එසේ පිටත්ව යෑමට ප්‍රථම වැඩිදුරටත් අදහස් දක්වා සිටි දසුන් ශානක, “සූදානම ගැන කතා කළොත් ඇත්තටම අපි හොඳ සූදානමක් තියෙනවා. මොකද ආසියානු කුසලාන තරගාවලියේදී අවසන් මහ තරගයට ක්‍රීඩා කළා. ඒ වගේම ඊට පස්සේ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරලා කරපු පෙර පුහුණුවීම් ඉතා හොඳින් සිදුකෙරුණා. මේ ඔක්කොම කරුණු දියා බැලුවහම කණ්ඩායමක් විදියට අපි මේ තරගාවලියේ හොඳ මට්ටමකින් සිටිනවා“ යනුවෙන්ද සඳහන් කර සිටියේය.

ඉන්දියාව වැනි දැවැන්ත කණ්ඩායම් සමග ඉන්දියාවේදී වේදී ක්‍රීඩා කිරීම තමන් දකින්නේ කුමන ආකාරයටද යන්න කරන ලද විමසීමේදී, මේ ආකාරයේ දැවැන්ත තරගාවලිවලට ක්‍රීඩා කිරීමේදී වඩා වැදගත් වන්නේ ක්‍රීඩා කරන දවසේ හරියට ක්‍රීඩා කිරීම බව පවසන දසුන් ශානක ඒ අනුව තම උපරිමයෙන්ම සෑම ක්‍රීඩකයකුම ක්‍රීඩා කිරීමට සමත් වුවහොත් ඕනෑම ප්‍රභල කණ්ඩායමක් පරාජයට පත් කිරීම අපහසු කරුණක් නොවන බවද සඳහන් කර සිටියේය.

“ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා කරනවා කියන්නේ හැමදාම අභියෝගයක්. විශේෂයෙන් වර්ල්ඩ් කප් එකක් කියන එක තමයි හැමෝගෙම බලාපොරොත්තුව. මම හැමදාම කියනවා වගේ අපි යම්කිසි ක්‍රියාවලියක යන්න තමයි ගොඩක් කැමැති. එතැනදි හැම තරගයම ඉතා වැදගත්. පුහුණු තරග වලින් පටන් ගත්තහම ලීග් වල අන්තිම තරගය දක්වා හොඳ තරගාවලියක් ක්‍රීඩා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ“ යැයි ඉදිරි මාස එකහමාරක පමණ කාලයෙදී තම කණ්ඩායම හමුවේ අභියෝගය පිළිබඳව ශ්‍රී ලංකා සුදු පන්දු නායකයා අදහස් දක්වා සිටියේය.

ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවද ඊට පෙර පැවැති එක්දින තරග 13 කදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට දසුන්ගේ නායකත්වය යටතේ හැකියාව ලැබිණ. එම ජයග්‍රහණ වැළ හරහා ලොව අඛණ්ඩව එක්දින තරග සංඛ්‍යාවක ජය වාර්තා කර ඇති දෙවැනි රට බවටද පත්වීමට දසුන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. එවන් ජයග්‍රහණ වැළක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට දසුන්ගේ නායකත්වයට හැකියාව ලැබුණද පිතිකරුවකු ලෙස ඔහු අවසන් තරග කීපයේදීම අසාර්ථකත්වයට පත්වූවේය.

“නායකයෙක් විදියටත් ක්‍රීඩකයෙක් විදියට මම හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ මගේ උපරිමයම කණ්ඩායමට ලබා දෙන්න. ඒ කියන්නේ මම කවදාවත් පුහුණුවීම් මඟ නොහැරපු ක්‍රීඩකයෙක්. අනිවාර්යයෙන්ම වැඩිපුර මහන්සි වෙන ක්‍රීඩකයෙක්. අනිවාර්යයෙන්ම බලාපෙරෛාත්තු වෙනවා ඉන්දියාවේදී හොඳින් ක්‍රීඩා කරන්න“ යැයි තරගාවලියේදී ලකුණු අතරට පැමිණිය හැකි බවට වූ විශ්වාසය දසුන් වචන වලට පෙරැළුවේ එලෙසිනි.

“ඇත්තටම ඉන්දියාවේ ක්‍රීඩා කරන්න මම පෞද්ගලිකවම ගොඩක් කැමැතියි. මොකද ඉන්දියාවේ තියෙන්නේ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු. ඒ වගේම මම අයිපී.එල්. ක්‍රීඩා කළා. ඒ තරගාවලියේදී මට පිතිකරුවකු විදියට ලකුණු අතරට යෑමට හැකියාව ලැබුණා. මම හිතන්නේ ඒ අත්දැකීම් වලින් මමත් මගේ කණ්ඩායමටත් හැකි උපරිමය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා“ යැයි දසුන් සඳහන් කර සිටියේය.

මෙම තරගාවලියේදීත් දසුන්ට තමන් සතු ප්‍රබලම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගගේ සේවය අහිමිව තිබේ. වනිඳුගේ පාදයේ ඇතිවී ඇති ආබාධිත තත්ත්වය තවදුරටත් සුව නොවීම නිසා වනිඳුට මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික තරග වලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. වනිඳුගේ සහභාගිත්වය නොමැතිවීම පිළිබඳව ශ්‍රී ලංකා නායකයා අදහස් දක්වා සිටිමේ මේ අයුරිනි.

“වනිඳුට මේ ලෝක කුසලාන තරගාවලියේ පළමුවෙන් පැවැත්වෙන තරග 4 කට 5 කට සහභාගිවීම තමයි අවිනිශ්චිත තත්ත්වයක තියෙන්නේ. ඉතිං ඒක හින්දා තමයි ඔහුව ප්‍රධාන සංචිතයට නම් කරලා නැත්තේ. මම හිතන්නේ ඔහුට අවස්ථාවක් තියෙනවා ඉදිරියේදී කණ්ඩායම සමඟ සම්බන්ධ වෙන්න“ යනුවෙන් තම විශ්වාසතම පන්දු යවන්නා පිළිබඳව දසුන් අදහස් දක්වා සිටියේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අද ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට වනිඳු හසරංගගේ නම ඇතුළත් කර නොමැත. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදි කළවයේ ආබාධයකට ගොදුරු වූ වනිඳු තවමත් සුවය ලබමින් සිටින බැවින් ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය ලක් කිරීම තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබේ. කෙසේ වෙතත් ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක පසුවනු ඇතැයි වෛද්‍යවරුන් නිඟමනයට පැමිණියහොත් පමණක් තරගාවලිය අතරතුරදී ආදේශකයකු ලෙස වනිඳුගේ සේවය කණ්ඩායමට ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුවේ. එහෙත් එවැනි අවස්ථාවක් වනිඳුට උදා වන්නේ කණ්ඩායමේ නම් කර ඇති 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ ක්‍රීඩකයකු ආබාධයකට ලක් වුවහොත් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, දුශාන් හේමන්ත, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රජිත, ළහිරු කුමාර, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මදුහංක, චාමික කරුණාරත්න (අතිරේක)

නිලධාරීන් – මහින්ද හලංගොඩ (කලමනාකරු), ක්‍රිස් සිල්වර්වුඩ් (ප්‍රධාන පුහුණුකරු), මහේල ජයවර්ධන (පුහුණු උපදේශක), නවීඩ් නවාස් (සහාය පුහුණුකරු), පියල් විජේතුංග (දඟ පන්දු පුහුණුකරු), දර්ශන ගමගේ (වේග පන්දු පුහුණුකරු), ඇන්ටන් රූක්ස් (පන්දු රැකීමේ පුහුණුකරු), ග්‍රාන්ට් ලූඩන් (අභ්‍යාසක), ක්‍රිස් ක්ලාක් (භෞත චිකිත්සක), ශිරන්ත නිරෝෂන (පරිගණක දත්ත විශ්ලේෂක), රොහාන් ප්‍රියදර්ශන (සම්බාහක), පී. කිරිඇල්ල (වෛද්‍යතුමා), ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (තේරීම් කමිටු ප්‍රධානී)

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, දුශාන් හේමන්ත, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රජිත, ළහිරු කුමාර, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මදුහංක, චාමික කරුණාරත්න (අතිරේක)
නිලධාරීන් – මහින්ද හලංගොඩ (කලමනාකරු), ක්‍රිස් සිල්වර්වුඩ් (ප්‍රධාන පුහුණුකරු), මහේල ජයවර්ධන (පුහුණු උපදේශක), නවීඩ් නවාස් (සහාය පුහුණුකරු), පියල් විජේතුංග (දඟ පන්දු පුහුණුකරු), දර්ශන ගමගේ (වේග පන්දු පුහුණුකරු), ඇන්ටන් රූක්ස් (පන්දු රැකීමේ පුහුණුකරු), ග්‍රාන්ට් ලූඩන් (අභ්‍යාසක), ක්‍රිස් ක්ලාක් (භෞත චිකිත්සක), ශිරන්ත නිරෝෂන (පරිගණක දත්ත විශ්ලේෂක), රොහාන් ප්‍රියදර්ශන (සම්බාහක), පී. කිරිඇල්ල (වෛද්‍යතුමා), ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (තේරීම් කමිටු ප්‍රධානී)

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee