නායක දසුන් ශානකගේ 32 වැනි උපන් දිනය යෙදී තිබූ අද (සැප්තැම්බර් 09) දිනයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් ලකුණු 21ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූවේය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර, දොලනයක් සහිත තණතිල්ලේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9කට ලකුණු 257ක් ලබා බංග්ලාදේශයට පිළිතුරු ඉනිමට ඉඩ සැලසූහ. එය හඹා යෑමේදී බංග්ලාදේශය ඕවර් 48.1 කදී සියලු දෙනා ලකුණු 226 කට දැවී ගියේය.
අද ශ්‍රී ලංකාව පිට පිටම වාර්තා කරන ලද්දේ 13 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය විය. එය ලෝක එක්දින පිටියේ ඔස්ට්‍රේලියාවට පමණක් දෙවැනි වන අතර එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු ආසියානු රට බවටද පත්ව සිටියි. මේ විශිෂ්ට එක්දින තරග ගමන් මාවත නායක දසුන් ශානකගේ උපන් දිනය දා එය ශ්‍රී ලංකාව සතු වීම ද දෛවෝපගත සිදුවීමක් ලෙසින්ද හැඳින්විය.
මේ අතර සධීර සමරවික්‍රම එක්දින ජාත්‍යාන්තර තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු ගණන අද තරගයේදී වාර්තා කරමින් තවත් කැපී පෙණෙන මෙහෙවරක යෙදුනේය. සධීර ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට එසැවීමට සමත්වීමෙන් බංග්ලාදේශයට ප්‍රේමදාස පිටියේ තණතිල්ල තුල අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය වූවේය. සධීර පන්දු 72කදී දැවැන්ත හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් සමග ලකුණු 93ක් රැස්කර ඉනිමේ අවසන් පන්දුවේදී ටස්කින් අහමඩ්ගේ පන්දුවකට අෆීෆ් හොසේන් වෙත උඩ පන්දුවක් දී දැවී ගියේය.
ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් යහපත් අඩිතාලමක් දැමීමට සමත්වීම වාසි සහගත වූ අතර, ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 60කදී හතරේ පහර 5ක් සමග ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුවේය. දිමුත් කරුණාරත්න පන්දු 17කදී හතරේ 3ක් සමග ලකුණු 18කට දැවී ගියද, අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් එක් අන්තයක් ආරක්ෂා කරමින් තම 24 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය.
කුසල් හා පැතුම් ඉනිමේ හොදම සම්බන්ධතාව දෙවැනි කඩුල්ලට වාර්තා කරමින් පන්දු 107කදී ලකුණු 74ක් එක් කිරීමට සමත් වුහ. කුසල් පන්දු 73කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් තම ලකුණු 50ට අන්තර්ගත කළේය.
සධීර හා දසුන් ශානක 6 වැනි කඩුල්ලට පන්දු 57කදී වේගවත් ලකුණු 60ක් එක් කිරීමෙන් ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ ගිය අතර, දසුන් ශානක පන්දු 32කදී හතරේ පහරක් සමග ලකුණු 24ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය.
බංග්ලාදේශ ඉනිම ක්‍රමානුකූලව ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන් ඉතා උපායශීලීව පහරදෙමින් සිටියදී නායක දසුන් ශානක මෙහෙදි හසන් මිරාස්ගේ කඩුල්ල බිඳහෙලා ගැනීම ශ්‍රී ලංකා පිලේ පළමු ජයග්‍රහණය විය. මේ තරගාවලියේ මිරාස් ලකුණු අතර සිටි පිතිකරුවෙකු බැවින් ලකුණු 21ක් ලබා සිටියදී දවා ගැනීම ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට හේතුවක් විය. නයීම් හා මිරාස් ලකුණු 55ක් පළමු කඩුල්ලට එක් කළ අතර, තවත් ලකුණු 10ක් එක්වෙද්දී අනෙක් ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම්ගේ කඩුල්ල ද දසුන් ශානකගේ ගොදුරක් බවට පත් විය. එවිට නයීම් පන්දු 46කදී හතරේ පහර 2ක් සමග ලකුණු 21ක් ලබා සිටියේය.
බංග්ලාදේශ ඉනිමේ ලකුණු 70 සටහන් වෙද්දී මතීෂ පතිරණ පැයට කිලෝමීටර් 147ක වේගයෙන් එල්ල කළ පන්දුවකට නායක ෂකීබ් අල් හසන් වම් ඉන්න පසුකරමින් යන පන්දුවට පහරක් එල්ල කළ අතර, එය යාන්තම් පිත්තේ වැදී කුසල් මෙන්ඩිස් අතට ගියේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රබල ඉල්ලීමක් කළද විනිසුරු නිහඩව සිටියේය. එසැනින්ම ඒ විනිසුරු නිහඬතාව බිද රූපවාහිනී පුනරූපන පරික්ෂා කරන ලෙස ඉල්ලීම් කළ හෙයින් රූපවාහිනී විනිසුරු එය දැවී යෑමක් බවට තීරණය කළේය.
ලිටන් දාස් වෙත වෙල්ලාලගේ එල්ල කළ පන්දුවට කඩුලු රකින මෙන්ඩිස් වෙත උඩ පන්දුවක් ලැබුණු අතර, අත් ආවරණවලට හසු නෙවී දණහිසෙන් ඉවතට පැන යන පන්දුව යලිත් මෙන්ඩිස් අල්ලා ගැනීමට සමත් වීමෙන් සිවුවැනි කඩුල්ල දැවී ගියේය. ලිටන් එවිට ලකුණු 15ක් ලබා සිටියේය. මුෂ්ෆිකර හා හිරිඩෝයි එක්ව එක දිගට පන්දු 112කදී කඩුල්ලක් ලබා නොදී පස්වැනි කඩුල්ලට ලකුණු 72ක් රැස්කර ගැනීමෙන් තරමක් වෙහෙසකර තත්ත්වයක් ශ්‍රී ලංකා පිලට උදා විය. යළි පන්දුව අතට ගත් දසුන් ශානක, මුෂ්ෆිකර් රහීම් ක්‍රීඩාගාරයට යැවීම තරගයේ හැරවුම් ලක්ෂයක් විය. ‘මිඩ් ඕෆ්‘ හී සිට දවසේ අලංකාර උඩ පන්දුව රැකගත් කසුන් රාජිතගේ සම්මාදමෙන් මුෂ්ෆිකර් ලකුණු 29කට දවා ගැනීමට දසුන් ශානක සමත් විය.
එතැන් සිට බංග්ලාදේශ ඉනිම ශ්‍රී ලංකා ආක්‍රමණය හමුවේ ක්‍රමයෙන් ගරා වැටුණු අතර, 6 වැනි කඩුල්ලට ෂමීම් හොසේන් ලකුණු 5ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වූ අතර, තීක්ෂණගේ ඊළඟ ඕවරයේදී හිසරදයක්ව පැවැති ටව්හිඩ් හිරිඩෝයි ලකුණු 82ක් ලබා සිටියදී හා ටස්කින් අහමඩ් ලකුණු 1කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. මතීෂ පතිරණගේ යෝකර් පන්දුවකට නසියුම් අහමඩ් ලකුණු 15කට දැවී යෑමෙන් සියල්ල නිමාවට පත් වූවේය.
තරගයේ වීරයා සම්මානය සධීර සමරවික්‍රම විසින් හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකාව
පැතුම් නිශ්ශංක ක.මු. කළා. ප. ෂොරිෆුල් 40
දිමුත් කරුණාරත්න ඇ. මුෂ්ෆිකර් ප හසන් 18
කුසල් මෙන්ඩිස් ඇ. ටස්කින් ප. ෂොරිෆුල් 50
සධීර සමරවික්‍රම ඇ. අෆීෆ් ප. ටස්කින් 93
චරිත් අසලංක ඇ. ෂකීබ් ප. ටස්කින් 10
ධනංජය ද සිල්වා ඇ. මුෂ්ෆිකර් ප. හසන් 06
දසුන් ශානක ප හසන් 24
දුනිත් වෙල්ලාලගේ දුවද්දී දැවී ගියා 03
මහීෂ් තීක්ෂණ ඇ. මුෂ්ෆිකර් ප. ටස්කින් 02
කසුන් රාජිත නොදැවී 01
අතිරේක 10
එකතුව ඕවර් 50කදී කඩුලු 9කට 257
කඩුලු බිද වැටීම: 1-34, 2-108, 3- 117, 4-144, 5- 164, 6-224, 7- 243, 8-249, 9- 257
පන්දු යැවීම: ටස්කින් අහමඩ් 10-0-62-3, ෂොරිෆුල් ඉස්ලාම් 8-0-48-2, හසන් මෙහෙමුද් 9-0-57-3, ෂකිබ් අල් හසන් 10-0-44-0, නසුම් අහමඩ් 10-1-31-0, මෙහෙදි හසන් මිරාස් 3-0-14-0
බංග්ලාදේශය
මොහොමඩ් නායිම් ඇ. මෙන්ඩිස් ප. ශානක 21
මෙහෙදි හසන් මිරාස් ඇ. හේමන්ත ප. ශානක 28
ලිටන් දාස් ඇ. මෙන්ඩිස් ප. වෙල්ලාලගේ 15
ශකීබ් අල් හසන් ඇ. මෙන්ඩිස් ප. පතිරණ 03
මුෂ්ෆිකර් රහීම් ඇ. රාජිත ප. ශානක 29
ටව්හිඩ් හිරිඩෝයි කඩුල්ල මුවා කළා ප. තීක්ෂණ 82
ෂමීම් හොසේන් කඩුල්ල මුවා කළා ප. තීක්ෂණ 05
නසියුම් අහමඩ් ප. පතිරණ 15
ටස්කින් අහමඩ් ක. මුවා කළා ප. තීක්ෂණ 01
ෂොරිෆුල් අස්ලාම් ප. පතිරණ 07
හසන් මහමුද් නොදැවී 10
අතිරේක 20
එකතුව ඕවර් 48.1කදී සියලු දෙනා දැවී 226
කඩුලු බිද වැටීම: 1-55, 2-60, 3- 70, 4-83, 5-155, 6-181, 7-197, 8-200, 9- 216, 10 – 236
පන්දු යැවීම: කසුන් රාජිත 7 – 0 – 29 – 0, මහීෂ් තීක්ෂණ 9 – 0 – 69 – 3, දසුන් ශානක 9 – 0 -28 – 3, මතීෂ පතිරණ 9.1 – 1 – 58 – 3, දුනිත් වෙල්ලාලගේ 10 – 1 – 26 – 1, ධනංජය ද සිල්වා 4 – 0 – 18 – 0