slc
logo
Home   |    News
ඔක්තෝබර් 25, 2023
ශ්‍රී ලංකාව සහ එංගලන්තය තීරණාත්මක තරගයක

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට හෙවත් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා බලාපොරොත්තු රදවා ගැනීමට ශ්‍රී ලංකාවට මෙන්ම එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක තරගය හෙට (26 වැනිදා) බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මූලික තරග වටයේ 25 වැනි තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.00 ට ආරම්භ වනු ඇත.

දෙපිළම මෙතෙක් තරග 4 කට බැගින් ක්‍රීඩා කර ඇති නමුත්, එම තරගවලින් 3 ක්ම පරාජයට පත්ව එක් තරගය බැගින් ජය ලබා සිටින බැවින් හෙට තරගය ඇතැම් විට මෙම කණ්ඩායම් දෙකටම තරගාවලියේ ඉදිරිය තීරණාත්මක කරනු ලබන කඩඉම් තරගයක් බවට පත්ව තිබේ. මන්ද යත් හෙට තරගය ජය ගනු ලබන කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමේ බලාපොරොත්තු රඳවා ගත හැකි අතරම පරාජිත කණ්ඩායමට අරමුණක් නොමැති වුවද සෙසු තරග වලට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. හෙට තරගය ජය ගනු ලබන කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යෑමේ බලාපොරොත්තු ඉතිරි වුවද අර්ධ අවසන් වටය සදහා පැමිණීමට නම් හෙට දිනන කණ්ඩායමට ඉදිරියේදී විශාල කාර්යයයක් ඉටු කිරීමට සිදුවනු ඇත.

අවසන් වතාවේ එක්දින ලෝක ශූරයින් ලෙස කිරුළ පැළදී එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේත්  1996 වසරේ එක්දින ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම එම සටහනේ 8 වැනි ස්ථානයෙත් පසුවෙති. නෙදර්ලන්ත කණ්ඩායමද තරග 4 කට සහභාගිවී ඉන් එක් තරගයක් ජයගැනීමට සමත්ව සිටින නමුත් ශ්‍රී ලංකාවට සහ එංගලන්තයට වඩා ශූද්ධ දළ ලකුණු වේගය ඉහළ මට්ටමක පැවැතීම නිසා ඔවුනට එම සටහනේ හත්වැනි ස්ථානයේ රැඳී සිටින්නේය.

එංගලන්ත කණ්ඩායම තරගාවලිය ආරම්භ කරමින් තරග වැදි නවසීලන්තයට එරෙහි තරග පරාජයට පත් වූ අතර අනතුරුව බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග ජය වාර්තා කළද ඇෆ්ගනිස්තානය හමුවේ අනපේක්සිත ලකුනු 69 ක පරාජයක් අත්වින්දේය. දකුණු අප්‍රිකානු  පිලට එරෙහිව පැවැති තරගයෙන්ද ලකුණු 229 ක නිින්දිත පරාජයක් එංලන්ත පිල ලබා ඇත්තේ ඔවුන් ලකුණු වලින් ඉතිහාසයේ ලද දරුණුම පරාජයටද මුහුණ දෙමිනි.

තරගාවලිය ආරම්යේදී ශ්‍රී ලංකාවට වඩා එංගලන්ත කණ්ඩායම පැහැදිළිවම දක්ෂතා අතින් ඉදිරියෙන් පසු වුවද මෙතෙක් පරාජයන් 3 කට මුහුණ දුන්නද ඔවුන් එම තරග වලදී පිතිකරණයෙන් පැහැදිළි වර්ධනයක් පෙන්නුම් කර තිබීම, ශුද්ධ දල ලකුණු වේගය ඉහළ මට්ටමක පැවැතීමට ප්‍රධාන වී තිබේ. ශ්‍රී ලංකාව හමුවේ පාකිස්තානය මෙන්ම දකුණු අප්‍රිකාව දැවැන්ත ඉනිම ගොඩ නැංවුවද ඔවුන් හමුවේ ලකුනු 300 ට වඩා ලකුණු සංඛ්‍යාවන් හඹා යෑමට ශ්‍රී ලංකාව සමත්වූවේය. ශ්‍රී ලංකව ජය ගත් නෙදර්ලන්තයට එරෙහි තරගයේදීද ලකුණු 253 ක ඉලක්කයක් හඹා ගොස් ජය ගැනීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

මෙතෙක් තරග වැදි තරග අතරින් අසාර්ථකම තරගය බවට පත්වූයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී වන අතර එම තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 209 කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන ලද්දේ එක් අවස්තාවක කඩුල්ලක් දැවී ලකුණු 154 ක් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී වීම කණගාටුදායක මට්ටමක විය. එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 5 ක් ද දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

සමස්ථයක් ගත් විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ශක්තියේ වර්ධනයක් පෙන්නුම් කළද පන්දු යැවීමේදී පිතිකරුවන්ව පාලනයේ තබා ගැනීමට පන්දු යවන්නන්ට නොහැකිවීම දැඩි පාඩුවකි. මෙය  හෙට තරගෙය්දී එංගලන්ත කණ්ඩායම අවියක් කර ගැනීමට මාන බලමින් සිටින බැවින් එවැනි අවස්ථාවක් ඔවුන් වෙත නිර්මාණය කර නොදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවහොත් හෙට තරගය පිළිබඳව පැහැදිළි බලාපොරොත්තු තබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනු ඇත.

වත්මන් ලෝක ශූරයින් වන එංගලන්ත කණ්ඩායම මේ වන විටත් වැටී සිටින මට්ටම අනුව ඔවුන් වෙතට වැඩි පීඩනයක් නැඹුරුව තිබෙන බැවින් එහි වාසිය තමන් වෙත හරවා ගැනීමේ හොඳ වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායම සුතුව තිබේ.

ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන එංගලන්තය සහ ශ්‍රී ලංකාව මෙතෙක් එක්දින තරග ඉතිහාසයේ 78 අවස්ථාවකදී මුණ ගැසී තිබෙන අතර එහිදී එංගලන්තය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවන්නේ ජයග්‍රහණ 2 කිනි. ශ්‍රී ලංකාව ජයග්‍රහණය 36 ක් වාර්තා කර ගැනීමට සමත් වද්දී එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය 38 ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටියි.

හෙට තරගය සදහා නෙදර්ලන්තයට එරෙහි තරගයේදී පාදයේ ආබාධයකට ලක් වුණු පිට දග පන්දු යවන මහීෂ් තීක්ෂණ එංගලන්තයට එරෙහි තරගය සදහා වන තේරීම් වලට උචිත සෞඛ්‍ය මට්ටමකින් පසුවීම ශ්‍රී ලංකා පිලට සැනසිලිදායක කරුණකි. අදාළ ආබාධිත තත්ත්වය නිසා තීක්ෂණව එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ අතර එහිදී සඳහන් වූයේ එම ආබාධිත තතත්වය එතරම් බරපතල නොවන බවයි.

මතීෂ පතිරණ ආබාධයකට ගොදුරුව කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඒ සදහා හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව සිටියි. ඇතැම් විට හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමකින් යුක්තව අවතීර්ණවීමේ ඉඩ කඩක් පවතිනු ඇති අතර එහිදී චාමික කරුණාරත්න වෙනුවට බොහෝ විට ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුනාරත්න, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රජිත, ළහිරු කුමාර, ඩිල්ෂාන් මදුශංක, චාමික කරුණාරත්න.

එංගලන්ත කණ්ඩායම – ජොස් බට්ලර් (නායක), මොයින් අලී, ගුස් ඇට්කින්සන්, ජොනී බෙයාරස්ටෝ, සෑම් කරන්, ලියෑම් ලිවිංග්ස්ටන්, ඩේිඩ් මාලන්, අදෙල් රශීඩ්, ජෝ රූට්. ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, හැරී බෘෘක්, මාක් වුඩ්, බ්‍රයිඩන් කාස්, ක්‍රිස් වෝක්ස්.

 

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar