slc
logo
Home   |    News
ඔක්තෝබර් 17, 2023
ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ අසීරුතාවක

sinhala editor

පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එහි පැවැත්වෙන එකම සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී (16) පාකිස්තානු යොවුන් පිතිකරුවන් කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු 433 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දිනය අවසන් වන විට කඩුලු 6 ක් ලකුණු 155 ක් ඇතුළත දවාගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත්වී සිටියහ.

ප්‍රථම දින (15) තරගය නිමා වන විට පාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 319ක් ලබා ප්‍රබලම තත්ත්වයක පසු වුවත් අද (16) දිනයේ ඔවුනගේ නව වන කඩුල්ල දැවී ගියේ ලකුණු 433ක් සඳහන් වෙද්දීය. ඒ සමගම ඔවුන් ඉනිම හමාර කොට පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා යොවුන් පිලට ලබා දුන්නේය.

ඔවුනගේ දෙවන කඩුල්ලේ පිතිකරුවන් දෙදෙනා ෂෂෙබ් ඛාන් (161) සහ නායක ෂාඩ් බෙග් (68) ලකුණු 108 සබඳතාවය අද (16) උදෑසන නිමා වූයේ මුළු ලකුණු 336ක් සඳහන් වෙද්දීය. එතැන් පටන් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් අතුරින් මල්ෂා තරුපති (75/3) රවිෂාන් පෙරේරා (44/2) සහ විහස් තෙව්මික (105/2) විශිෂ්ට ලෙස පන්දු යවමින් පාකිස්තාන යොවුන් මැදපෙළ සහ අගපෙළ පිතිකරුවන් අට දෙනාම ලකුණු විස්සකට අඩුවෙන් සීමා කිරීමට වගබලා ගත්හ.

ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ දැවී ගිය පිතිකරුවන් හය දෙනාගෙන් තිදෙනකුම දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවය.

මෙදින තරගය නිම වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතරක් ඉතිරිව පාකිස්තාන මුල් ඉනිමට වඩා ලකුණු 278ක් පිටු පසින් සිටියේය. ශ්‍රී ලංකා ඉනිමේ දක්ෂතම පිතිහරඹය දක්නට ලැබුණේ අංක හය පිතිකරු පුළිඳු පෙරේරා මෙදින නොදැවී රැස් කළ අර්ධ ශතකයෙනි. පුළිඳු පන්දු 71කට මුහුණ දී හතරේ අටක් සමඟ තරගය නිම වන විට නොදැවී ලකුණු 53ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය. අනෙක් අන්තයේ කඩුලු රකින්නා වන හිරාන් ජයසුන්දර ලකුණු 22 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.

නායක සිනෙත් ජයවර්ධන ද දක්ෂතා අතර සිටිමින් පන්දු 45කට පමණක් මුහුණ දී ලකුණු 38ක් රැස් කළේ හතරේ පහර හතක් ද සමඟය. සිනෙත් ජයවර්ධන සහ රවිෂාන් ද සිල්වා පළමු කඩුල්ලට ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය. මේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් රවිෂාන් ද සිල්වා ලකුණු 11ක් පමණක් ලබා ගත්තේ දීර්ඝ වේලාවක් කඩුල්ලේ සිටිමින් පන්දු 52කට මුහුණ දී හතරේ පහරක් ද එල්ල කරමිනි.

පාකිස්තාන පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු මොහමඩ් ඉස්මයිල් ලකුණු 39කට දවාලු කඩුලු සංඛ්‍යාව දෙකකි.

පළමු දින තරගය නිම වන විට නොදැවී ලකුණු 152ක් ලබා සිටි ෂෂෙබ් ඛාන් අද ලකුණු 161කට දැවී ගියේ විහස් තෙව්මික එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. ෂෂෙබ් ඛාන් පන්දු 276කට මුහුණ දී හතරේ 12ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 161ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විණි.

නායක ෂාඩ් බෙග් ලකුණු 68ක් ලබා සිටිය දී කුලරත්නගේ පන්දුවකට මල්ෂා තරුපති උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේය. ඔහු පන්දු 70කදී හතරේ හයක් සහ හයේ පහරක් ලබා දැවී ගියේ අද උදෑසනය.

පාකිස්තාන අවුරුදු 19න් පහළ පිල මුල් ඉනිම පන්දුවාර 121.3 කදී කඩුලු 9ට ලකුණු 433 යි – (ෂෂෙබ් ඛාන් 161, අසාන් අවායිස් 104, සාඩ් බෙග් 68, වහාජ් රියාස් 18, අරෆට් මින්හාස් 17, මල්ෂා තරුපති 75/3, රවිෂාන් පෙරේරා 44/2, විහස් තෙව්මික 105/2, විශ්ව ළහිරු 68/1)

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මුල් ඉනිම පන්දුවාර 56කදී කඩුලු 6ට ලකුණු 155 යි – (පුළිඳු පෙරේරා නොදැවී 53, සිනෙත් ජයවර්ධන 38, හිරාන් ජයසුන්දර නොදැවී 22, රවිෂාන් ද සිල්වා 11, මොහමඩ් ඉස්මයිල් 39/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති
    ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් අද (15 දා) හම්බන්තොටදී ආරම්භ […]
  • චමෝද් සඳරුගේ තුන් ඉරියව් දදක්ෂතා මේරියන්ස් පිලට ජය ගෙනෙයි
    මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ අද (14) පැවැති මේජර් අන්තර් සමාජ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. සහ චිලව් මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරු ලකුණු […]
  • ඒස් කැපිටල් පිට පිට දෙවැනි ජය ලබයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය හා එස්එස්සී අතර, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ […]
  • ශ්‍රී ලංකා – නේපාල තරගය වැස්සට සේදෙයි
    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම […]
  • කොදෙව් කාන්තා පිලට එරෙහි ශ්‍රී ලංකා පිල නම් කරයි
    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15කගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද ප්‍රකාශයට පත්විය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් […]

Pin It on Pinterest

USD United States (US) dollar