slc
logo
Home   |    News
නොවැම්බර් 9, 2023
නවසීලන්ත පිලට කඩුලු 5 ක ජයක්

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු අවසන් තරගය හෙවත් නවසීලන්තයට එරෙහිව බෙංගලාරුහි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ අද (09 දා) පැවැති තරගයෙන් කඩුලු 5 ක පරාජයක් අත්වින්දේය. මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානය දක්වා පහළ බැස සිටියි.

එළැඹෙන 2025 වසරේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් ලීග් කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන විට මුල් කණ්ඩායම් 8 දෙනා අතර සිටිය යුතු වුවත්, ශ්‍රී ලංකාව සහභාගිවූ තරග 9 න් 2 ක් පමණක් ජය ගෙන 09 වැනි ස්ථානය දක්වා පහත බැස සිටියි. මෙතෙක් පැවැති තරගවලදී ජයග්‍රහණ 2 ක් පමණක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් බංග්ලාදේශය සහ එංගලන්තය රැදී සිටියද ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සටහන්ව තිබේ. එම කණ්ඩායම් දෙකටම තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිත වුවත් එම තරග ඔවුන් පරාජයට පත් වුවද ශුද්ධ දල ලකුණු ලබා ගැනීමේ වේගය ශ්‍රී ලංකාවට වඩා ඉහලින් පැවැත්ම නිසා ශ්‍රී ලංකාවට 8 වැනි ස්ථානය දක්වා පැමිණීමට ඇත්තේ අවම ඉඩකඩකි. එසේ වන්නට නම් ඉදිරි තරගයේදී ඔවුන් ප්‍රතිවාදීන් හමුවේ දැවැන්ත පරාජය ලැබිය යුතු වේ.

ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත නවසීලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා පිලට ලබාදිය හැකි වූයේ ලකුණු 172 ක ඉලක්කයකි. එක්දින තරගයකදී ලබාගත හැකි පහසුම ඉලක්කයක් බවට පත්ව තිබෙන මෙම ලකුණු සංඛ්‍යාව හඹා යෑඹ සඳහා ප්‍රතිවාදීන් වැය කරන ලද්දේ පන්දුවාර 23.2 ක් පමණි. ප්‍රතිවාදීන්ගේ කඩුලු 5 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් මැද පෙළින්  පැමිණි ඩැරල් මිචෙල් පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 43 ක් රැස් කර ගත්තේය. ලකුණු හඹා යෑම සදහා සාර්ථක ආරම්භයක් ලබා දුන් ඩෙවෝන් කොන්වෝ (45) සහ රචින් රවීන්ද්‍ර (42) මුලික අඩිතාලම එක් කළහ.

ට්‍රෙන්ට් බෝල්ට් ප්‍රමුඛ නවසීලන්ත පන්දු බල ඇණිය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩඩායම පන්දුවාර 46.4 කදී ලකුණු 171 කට සීමා විය. කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ වමත් පන්දු යවන්නා පන්දුවාර 10 දී නිලකුණු පන්දුවාර 3 ක් ද සමඟින් ලකුණු 37 කට ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනකු දවාලූවේය.  ඔහුට අමතරව රචින් රවීන්ද්‍ර, මිචෙල් සැන්ට්නර් සහ ලෝකී ෆර්ගසන් කඩුලු 2 බැගින් වගකිවූහ.

මොවුන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම කොතෙක් දුරට අසරණ කළේද කිවහොත් පළමු කඩුලු 9 ලකුණු 128 කදී දවාලීමට සමත්වූහ. කෙසේ වෙතත් අවසන් කඩුල්ල සදහා පිටියට පිවිසි ඩිල්ෂාන් මදුශංක (19) සහ මහීෂ් තීක්ෂණ පන්දු 87 කදී ලකුණු 43 ක් රැස් නොකරන්නට ශ්‍රී ලංකා ඉනිම වේලාසනම අවසන් වන්නට ඉඩ තිබිණ. නම් දැරූ පිතිකරුවන්ට ආදර්ශයක් ගෙන දුන් තීක්ෂණ ශ්‍රී ලංකා ඉනිම ලකුණ 171 දී අවසන් වන විට ලකුණු 38 ක් ලබා තම කඩුල්ල ආරක්ෂා කරගෙන සිටියේය. මොවුන් දෙදෙනා අතර වූ සම්බන්ධතාව එක්දින ලෝක කුසලාන තරගාවලයකදී 10 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය.

9 වැනි පිතිකරුවා පිටියෙන් ඉවත් වන විටත් ශ්‍රී ලංකා ඉනිමේ ක්‍රියාත්මක වෙමින් පැවැතියේ 33 වැනි පන්දුවාරයයි. එතැනි පටන් පන්දුවාර 14 කුත් පන්දු 5 ක් පුරා පිටියේ රැදී සිටි තීක්ෂණ – ඩිල්ෂාන් යුගල නවසීලන්ත පන්දු රකින්නන් වෙහෙසට පත් කළහ. පන්දු 91 ක් පුරා විහිදුණු තීක්ෂණගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත වද්දී පන්දු 48 කට මුහුණ දුන් මදුශංකගේ ඉනිම හතරේ පහර 2 කින් වර්ණවත් විය.

ඉනිම ආරම්භයේදී පන්දු 22 කදී තම 17 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සමත්වූවේය. සුපුරුදු පිතිකරණ විලාශයට අවතීර්ණ වූ වමත් පිතිකරුවා දැවී යන විට තම ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් කර තිබුණේය. මෙය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම අර්ධ ශතකය ලෙසින් සටහන් විය. ලෝකී ෆර්ගසන්ගේ පන්දුවක් හමුවේ කුසල් දැවී ගියේ පොයින්ට් කලාපයේ පන්දු රැකී මිචෙල් සැන්ට්නර් අතට උඩ පන්දුවක් ලබා දීමෙනි. කුසල් මෙන්ඩිස් (06), සධීර සමරවික්‍රම (01) සහ චරිත් අසලංක (08) අඩු ලකුණු වලට දවා ගැනිමට බෝල්ට් සමත්විය.

ලකුණු 32 ක් වන විට පළමු කඩුලු 3 ම බිඳ වැටී තිබියදී කුසල්ට එක් වුණු චරිත් අසලංක සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38 ක් එක් කළද පන්දු 7 ක් තුළ ඔවුන් දෙදෙනාම දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 46.4 කදී සියලු දෙනා දැවී ලකුණු 171 යි – (කුසල් පෙරේරා 51, පැතුම් නිස්සංක 02, කුසල් මෙන්ඩිස් 06, සධීර සමරවික්‍රම 01, චරිත් අසලංක 08, ඇන්ජලෝ මැතිව්ස් 16, ධනංජය ද සිල්වා 19, චාමික කරුනාරත්න 06, මහීෂ් තීක්ෂණ 38*, දුෂ්මන්ත චමීර 01, ඩිල්ෂාන් මදුශංක 19, ට්‍රෙන්ට් බෝල්ට් 37/3, ටිම් සවුති 52/1, ලෝකී ෆර්ගියුසන් 35/2, මිචෙල් සැන්ට්නර් 22/2, රචින් රවීන්ද්‍ර 21/2

නවසීලන්තය පන්දුවාර 23.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 172 යි – (ඩෙවෝන් කොන්වේ 45, රචින් රවීන්ද්‍රන් 42, කේන් විලියම්සන් 14, ඩැරල් මිචෙල් 43, මාක් චැප්මන් 07, ග්ලෙන් පිලිප්ස් 17, ටොම් ලෝතම් 02, මහීෂ් තී්ෂණ 43/1, දුෂ්මන්ත චමීර 20/1, ඇන්ජලෝ මැතිව්ස් 29/2)

 

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee