slc
logo
Home   |    News
දෙසැම්බර් 4, 2023
ඕවර් 50 කාන්තා ආරාධිත ක්‍රිකට් අවසන් මහා තරගය හෙට බීආර්සී පිටියේදී

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර, මේ මස 5 වැනිදා බීආර්සී ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. ශ්‍රී ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා පළමුවරට පැවැත්වෙන ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට හා අනු ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට මුදල් තෑගි පිරිනැමීමට තරග සංවිධායකයෝ කටයුතු සැලසුම් කොට ඇත.

කණ්ඩායම් 15ක් ‘ඒ‘ හා ‘බී‘ වශයෙන් කාණ්ඩ දෙකකට වෙන්කොට පැවැති මූලික වටයේ තරගවලදී ඒ ඒ කාණ්ඩයේ මුලින් සිටි පළමු හා දෙවැනි කණ්ඩායම් දෙක ඉදිරියට ගෙන අවසන් පුර්ව වටය නිමාකොට, ඒයින් ජයගත් කණ්ඩායම් දෙක අතර මෙම අවසන් මහා තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මූලික වටයේදී ‘ඒ‘ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා ‘බී‘ කාණ්ඩයේ දෙවැනි තැනට පැමිණි ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී පළමු අවසන් පුර්ව තරගය පැවැති අතර, එහිදී යුද හමුදා ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 2ක ජයක් ලබා ගත්හ.

මූලික වටයේදී ‘බී‘ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල හා ‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි තැනට පැමිණි හලාවත මේරියන්ස් කාන්තා පිල අතර බීආර්සී පිටියේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගුවන් හමුදාව ලකුණු 24ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මෙවර තරගාවලියේදී වැඩිම ලකුණු ලබාගත් පිතිකාරිණිය ලෙස එස්එස්සී කාන්තා පිලේ ඉරේෂා ශ්‍යාමලී ලකුණු 144ක් ලබා ඉදිරියෙන් සිටින අතර, අවසන් මහා තරගයට පිවිසි යුද හමුදා පිලේ අනුෂ්කා සංජීවනී හා නිලක්ෂි ද සිල්වා පිළිවෙලින් ලකුණු 112ක් හා ලකුණු 106ක් ලබා සිටිති. ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල වෙනුවෙන් චමරි පොල්ගම්පොල ලකුණු 60ක් ලබා සිටී. ගුවන් හමුදාවේ තාරුකා ෂෙහානී තරග 5කදී ලකුණු 32කට කඩුලු 13ක් බිදහෙලා පන්දු යවන්නියන් අතර පෙරමුණේ සිටීම එම පිලට විශාල ශක්තියක්වී තිබේ. ගුවන් හමුදා පිලේ මල්ෂා ෂෙහානි ද කඩුලු 9ක් බිද හෙලා දස්කම් අතර සිටී.

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ සුගන්ධිකා කුමාරි ලකුණු 56කට කඩුලු 10ක් බිඳහෙලා ඇති අතර, රන්දි ප්‍රේමරත්න ලකුණු 28කට ලකුණු 9ක් බිදහෙලා ගත්තාය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් අතින් පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 10කින්, එස්එස්සී පිල කඩුලු 9කින්, බඳුරලිය පිල කඩුලු 7කින්, බීආර්සී පිල කඩුලු 7කින් හා ටැමිල් යූනියන් පිල කඩුලු 7කින් පරාජයට පත්විය. අවසන් මහා තරගයේදී හමුවන යුද හමුදා පිල මූලික වටයේදී ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට හමුවූ අතර, එහිදී ගුවන් හමුදා පිල කඩුලු 6ක ජයක් විරාතා කළේය. ගුවන් හමුදාව හා කුරුණෑගල තරුණ ක්‍රීඩිකාවන් සමඟ වෙලගෙදර පිටියේ පැවැති තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩිකාවන් අතින් බීආර්සී පිල ලකුණු 220කින්, පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 10කින්, එස්එස්සී පිල කඩුලු 10කින්, බඳුරලිය පිල ලකුණු 43කින් හා නාවික හමුදාව ලක්වර්ත් ලුවිස් නයාය යටතේ කඩුලු 2කින් පරාජය කළේය. එයට අමතරව ගුවන් හමුදාව ඉදිරියේ කඩුලු 6ක පරාජයක් හා කුරුණෑගල පිල හමුවේ කඩුලු 8ක පරාජයක් යුද හමුදා පිලට අත්විය. පනාගොඩදී පැවැති යුද හමුදා – ටැමිල් යූනියන් තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee