ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) නිමාවූ දෙවැනි අවසන් පූර්ව තරගය ජයගත් එස්එස්සී පිල පළමු අවසන් පූර්ව තරගයෙන් ජයගත් සෙබස්තියනයිට්ස් කණ්ඩායම සමඟ අවසන් මහා තරගයේදී හමුවීමට නියමිතය. එම එස්එස්සී – සෙබස්තියනයිට්ස් අවසන් මහා තරගය ලබන 16 දා එස්එස්සී ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අද පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයේදී එස්එස්සී පිල කඩුලු 6කින් කෝල්ට්ස් පිල පරාජය කිරීමට සමත් වූවේය. එන්සීසී පිටියේ පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනාගත් එස්එස්සී පිල මුලින් පන්දුවට පහරදීමට කෝල්ට්ස් පිලට ආරාධනා කළ හෙයින් ඕවර් 50දී කඩුලු 8ක් දැවී ලකුණු 236ක් වාර්තා විය. පිළිතුරු ඉනිම හඹාගිය එස්එස්සී ක්‍රිඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 236ක් ලබා ජය සහතික කර ගත්හ.
එස්එස්සී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 138කදී හයේ පහරක් හා හතරේ පහර 15ක් සමඟ නොදැවී ලකුණු 125ක් ලබා ගැනීමට සමත් විය. ඔහු හා ක්‍රිෂාන් සංජුල අතර, තෙවැනි කඩුල්ලට ලකුණු 150ක සබඳතාවක් ගොඩනැගීමෙන් තරගයේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම ඇතිවිය. ක්‍රිෂාන් සංජුල පන්දු 80කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 58ක් ලබා ගත්තේය. එස්එස්සී ජය වාර්තා කරද්දී රනුඳ සෝමරත්න නොදැවී ලකුණු 32ක් වාර්තා කර තිබිණි.
මෙයට පෙර පැවැති සෙබස්තියනයිට්ස් හා බඳුරලිය ක්‍රීඩා සමාජ අතර පළමු අවසන් පූර්ව තරගය එන්සීසී පිටියේ නිමාවූ අතර, එහිදී කාසියේ වාසිය දිනාගත් සෙබස්තියනයිට්ස් පිල මුලින් පන්දුවට පහරදීමට බඳුරලිය පිලට ආරාධනා කළ අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 108ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෙබස්තියනයිට්ස් පිල ඕවර් 22.3කදී කිසිවෙකු නොදැවී ලකුණු 112ක් ලබා ජය තහවුරු කර ගත්තේය.
කෝල්ට්ස් ක්‍රීඩා සමාජය කඩුලු 8කට ලකුණු 236 (ඕවර් 50)
රවිඳු රසාන්ත 40, ෂෙරාන් ප්‍රනාන්දු 38, හෂාන් දුමින්ද 63, මුදිත ලක්ෂාන් 36, ජෙහාන් ඩැනියෙල් 22 ( ප්‍රභාත් ජයසූරිය 24/2, නුවනිඳු ප්‍රනාන්දු 39/2, චමින්ද වික්‍රමසිංහ 35/2)
එස්එස්සී පිල කඩුලු 4ක් දැවී ලකුණු 240 (ඕවර් 47)
අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 125, ක්‍රිෂාන් සංජුල 58, රනුඳ සෝමරත්න නොදැවී 32