දකුණු අප්‍රිකාවේ බ්ලොම්ෆොන්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ‘සී‘ කොටසේ මූලික වටයේ ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු හයක ජයක් ලබා ‘සී‘ කොටසේ ප්‍රථම ස්ථානයට පත් විය.
‘සී‘ කොටසේ මූලික තරග අතුරින් ඔස්ට්‍රේලියාව සහභාගි වූ තරග තුනම ජයගෙන ලකුණු හයක් ලබා ප්‍රථම ස්ථානයටත් ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජයගෙන ලකුණු හතරක් ලබා දෙවන ස්ථානයටත් සිම්බාබ්වේ තරග තුනකට සහභාගි වී තරගයක් ජයගෙන තෙවන ස්ථානයටත් නැම්බියාව කිසිම තරගයක් ජයනොගෙන (පරාජය වී) සිව්වන ස්ථානයටත් පත්ව සිටී. ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ ‘සී‘ කොටසෙන් මේ වන විට සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබා සිටී.
අද (28) පැවැති ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.5කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු 208ට පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියාව පන්දුවාර 48.5කදී කඩුලු හතරකට ලකුණු 211ක් රැස් කරමින් මේ ජයග්‍රහණය අත්කර ගනු ලැබීය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණේ ඔස්ට්‍රේලියා යොවුන් කණ්ඩායම වෙනුවෙන් පන්දු 104කදී හතරේ හතක් සමඟ නොදැවී ලකුණු 77ක් රැස් කළ කණ්ඩායමේ අංක පහ පිතිකරු රයන් හික්ස්ය.
ශ්‍රී ලංකාව පන්දුවාර 49.5කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 208 හඹායාමට ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඔවුනගේ ආරම්භක පිතිකරු යුගල හැරී ඩික්සන් ලකුණු 49ක් (පන්දු 41යි හතරේ පහයි හයේ දෙකයි) සහ සෑම් කොන්ස්ටාස් ලකුණු 23ක් (පන්දු 46යි හතරේ පහරයි) මුල් විකට්ටුවට ලකුණු 71ක සාර්ථක සබඳතාවයක් රැස් කළේ පන්දුවාර 12.4ක් තුළදීය. (පන්දු 76යි)
එම අවස්ථාවේ සිට 16 වන පන්දුවාරය තෙක් පන්දුවාර 3.2ක් තුළ ලකුණු නවයක් දී ඔස්ට්‍රේලියාවේ ප්‍රබලම කඩුලු තුනක්ම දැවීයාමෙන් ඔවුන් පත්වුයේ අසීරු තත්ත්වයකටය. මේ දැවී ගිය කඩුලු තුනෙන් දෙකක්ම දවාලුවේ විශ්ව ළහිරුය.
ඔස්ට්‍රේලියාව පස්වන කඩුල්ලට රයන් හික්ස් නොදැවී ලකුණු 77ක් සහ ටොම් කැම්බල් නොදැවී ලකුණු 33ක් (පන්දු 41යි හතරේ තුනයි) රැස් කර එම කඩුල්ලට නොදැවී ලකුණු 82ක සබඳතාවයක් තබා ගනිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවන් බවට පත් වූහ.
ලංකා යොවුන් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූ විශ්ව ළහිරු මේ තරගයේදී කඩුලු දෙකක් දවාලුවේ ලකුණු 24ක් ලබා දෙමිනි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ තරගයේ කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමටය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු පන්දුවාරය එවු කැලම් විඩ්ලර්ගේ සිව්වන පන්දුවට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා (00) ඒට්කන්ට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේ ප්‍රධාන ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙරාතුවය.
ශ්‍රී ලංකා දෙවන කඩුල්ලට අනෙක් ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන (16) සහ අංක තුන පිතිකරු සුපුන් වඩුගේ (17) එක් කළ ලකුණු 47ක (පන්දු 74කදී) සබඳතාවය ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම සබඳතාවයයි. සිනෙත් ජයවර්ධන මුළු ලකුණු 47දී දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ වේගපන්දු යවන විඩ්ලර්ගේ පන්දුවකට යළිත් ඒට්කන්ට උඩපන්දුවක්දී ලකුණු 16කටය. (පන්දු 36යි හතරේ දෙකයි)
මීට පෙර තරගයේදී නැම්බියාව සමඟ අර්ධ ශතකයක් රැස් කරමින් දස්කම් දැක් වූ සුපුන් වඩුගේ මේ ඉනිමේදී තුන්වන කඩුල්ල ලෙස මුළු ලකුණු 54දී දැවී ගියේ කැම්බල් එවු පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට ලකුණු 17කටය. (පන්දු 44යි හතරේ පහරයි)
ලංකා යොවුන් කණ්ඩායමේ සිව්වන කඩුල්ලට රවිෂාන් ද සිල්වා සහ දිනුර කළුපහන පන්දු 68කදී එක් කළ ලකුණු 46ක සබඳතාවය ලංකා ඉනිමේ දෙවන වැඩිම සබඳතාවයයි. මුළු ලකුණු 100දී අංක හතර පිතිකරු රවිෂාන් ද සිල්වා සිව්වන කඩුල්ල ලෙස දැවී ගියේ හර්ජාස් සිංගේ පන්දුවකට ඒට්කන්ට්ට උඩපන්දුවක් දීමෙන් ලකුණු තිහකටය. කණ්ඩායමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වූ රවිෂාන් ද සිල්වා පන්දු 42කට මුහුණදී හතරේ පහර පහක් ද එල්ල කළේය.
ලංකා යොවුන් කණ්ඩායමේ තෙවන වැඩිම සබඳතාවය පස්වන කඩුල්ලට දිනුර කළුපහන සහ රුසඳ ගමගේ විසින් ලකුණු 44ක් ලබා රැස් කරන ලද්දේ පන්දු 55ක් ඉහළම වේගය තබා ගනිමිනි. මුළු ලකුණු 144දී රුසඳ ගමගේ පස්වන කඩුල්ල ලෙස දැවී යන විට ඔහු පෞද්ගලික ලකුණු දහයක් (පන්දු 25කදී) ලබා සිටියේය.
ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරමින් නැවත වරක් අර්ධ ශතකයක් රැස් කළ දිනුර කළුපහනගේ (64) ඉනිම මුළු ලකුණු 166දී හයවන කඩුල්ල ලෙස නිමාවට පත් වූයේ විඩ්ලර්ගේ පන්දුවකට කොන්ස්ටාට උඩපන්දුවක් ලබා දෙමිනි. කළුපහන පන්දු 78කට මුහුණදී හතරේ පහර හයක් සහ හයේ පහර තුනක් ද එල්ල කළේය.
මල්ෂා තරුපති ලකුණු දහයක් ලබා සිටියදී (පන්දු 17යි හතරේ දෙකයි) කැම්බල්ගේ පන්දුවකට බියර්ඩ්මන්ට උඩපන්දුවක්දී හත්වන කඩුල්ල ලෙස දැවී ගියේ ලංකා ඉනිම ලකුණු දෙසියයකට ආසන්නව දැවී යන ලකුණු පහළ කරමිනි. එහෙත් නිතර ලකුණු අතර පසු වන ෂාරුජන් ෂන්මුගනාදන් පන්දු 28කට මුහුණදී හතරේ පහර තුනක් සමඟ ලකුණු 21ක් ලබා මේ තරගයේදී ද දස්කම් දක්වා ඉනිමේ තෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඉනිම නිමාවීමට පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී (49.5) අවසාන පිතිකරු ලෙස දැවී ගියේ බියර්ඩ්මන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.
විශ්ව ළහිරු ලකුණු හයක් ද රුවිෂාන් පෙරේරා ලකුණු දහයක් ද (පන්දු 11යි හතරේ පහරයි) දැවී ගියේ අටවන සහ නවවන කඩුලු ලෙසිනි.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49.5කදී සියල්ල දැවී 208
(දිනුර කළුපහන 64, රවිෂාන් ද සිල්වා 30, ෂාරුජන් ෂන්මුගනාදන් 21, සුපුන් වඩුගේ 17, සිනෙත් ජයවර්ධන 16, මල්ෂා තරුපති 10, රුසඳ ගමගේ 10, රුවිෂාන් පෙරේරා 10, කැලම් විඩ්ලර් 28/3, මාලි බියර්ඩ්මන් 30/2, ටොම් කැම්බල් 47/2, හර්ජාස් සිං 9/1යි)
ඔස්ට්‍රේලියා 19න් පහළ කණ්ඩායම කඩුලු 4ට 211යි (පන්දුවාර 48.5)
(රයන් වික්ස් නොදැවී 77, හැරී ඩික්සන් 49, ටොම් කැම්බල් නොදැවී 33, සෑම් කොන්ස්ටාස් 23, විශ්ව ළහිරු 24/2, සිනෙත් ජයවර්ධන 32/1, මල්ෂා තරුපති 39/1යි)