slc
logo
Home   |    News
ජනවාරි 9, 2024
රට වෙනුවෙන් ඉදිරියේදීත් පිත්තෙන් – පන්දුවෙන් දස්කම් දක්වනවා – ජනිත් ලියනගේ

Sri Lanka Cricket

ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය උදෙසා ඉදිරියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙනුත් ක්‍රියාකාරී දායකත්වයක් ලබාදීමට කටයුතු කරන බව සිම්බාබ්වේ සමඟ දෙවැනි එක්දින තරගයේ ‘වීරයා සම්මානයෙන්‘ පිදුම් ලද ජනිත් ලියනගේ පැවැසීය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ජනිත් ලියනගේ එසේ පැවැසීය. මෙම තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 2ක ජයක් වාර්තා කළ අතර, ජනිත් ලියනගේ ශතකය පෙනි පෙනී තිබියදී ලකුණු 95කට දැවී ගියේය. තම දෙවැනි එක්දින තරගයට සහභාගීවූ ජනිත් ලියනගේ පන්දු 127කදී හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් එල්ල කොට ශ්‍රී ලංකා පිල ජයග්‍රාහී මාවතට යොමු කළේය.

“පසුගිය අවුරුදු තුනේම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේදී හොදම ක්‍රීඩකයා වෙන්න මට හැකියාව ලැබුණා. ඒ වගේම පසුගිය එක්දින තරගවලදී ලකුණු අතර ඉදිරියෙන් සිටියා. අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදී ඇතිවූ ඒ විශ්වාසය මත ශ්‍රී ලංකා පිලේ අවස්ථාවක් ලැබුණොත් යමක් කළ හැකි බව මට දැණුනා. මේ එක්දින කණ්ඩායම සමඟ ඉදිරියට ගියොත් විශාල දෙයක් කළ හැකියි. මොකද අපේ කණ්ඩායම සමබරයි. නවක ක්‍රීඩකයින් වාගේම, අත්දැකීම් බහුල අය මේ කණ්ඩායමේ ඉන්නවා. ඉදිරියේදී හොද කණ්ඩායම් සමඟ අපට ක්‍රීඩා කිරීමට තියෙනවා. අප විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා යුතුයි“ ජනිත් ලියනගේ පැවැසීය.

“ අපේ ඉනිමේ මුලදීම කඩුලු 2ක් බිද වැටුණා. ඕනෑම කණ්ඩායමකට තරගයකදී මේ වගේ දේවල් වෙන්න පුලුවන්. වැස්සත් එක්ක ඔවුන්ගේ වේග පන්දු යවන්නන් දෙදෙනාම නිවැරදි ඉලක්කයට පන්දු යැව්වා. ඔවුන්ගේ පන්දු යවන්නෝ ඉතා හොදින් ක්‍රීඩා කළා. උස පන්දු යවන්නන් සිම්බාබ්වේ සතු නිසා ඉලක්කයට පන්දු යවනවා. ඒ නිසා මා කල්පනා කළා අවසන් ඕවර 5ක් 6ක් වෙනකල් විකට් එක මැද ඉන්න. අන්තිම ඕවර් කිහිපයේ මා හිතුවේ වැස්ස නිසා ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණය තීරණය වෙයි කියලා. මා දැවී යද්දී අපි ලකුණු 5ක් පමණ පහළින් හිටියේ. ඒ නිසා ඕවරයට ලකුණු 6ක් ගත්තා නම් වැස්ස ආවත් අපි ජය ගන්නවා කියා මා හිතුවා. දැවැන්ත පහරකට යන්න කල්පනා කළේ ඒකයි. ශතකය අහිමි වුණාට කණගාටුවක් නෑ. අපි තරගය දින්නා“ ජනිත් ලියනගේ සඳහන් කළේය.

“ පසුගිය කාලයේ මහන්සි වෙලා දිගින් දිගටම පුහුණුවීම් කළා. ඒකේ ප්‍රතිළුලයක් ලෙසයි කණ්ඩායමේ අවස්ථාවක් හිමි වුණේ. මා හිතුවා හොදින් ක්‍රීඩා කළොත් කවදා හරි ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරන්න පුලුවන් කියලා. තරගයේදීත් හිතුවේ කඩා වැටෙන ඉනිම ගොඩ නඟා කණ්ඩායම වෙනුවෙන් යම් දෙයක් කරන්න පුළුවන් කියලා. මට ඒ දේ කරන්න පුළුවන් වුණා. ඒ ගැන සතුටුයි“

“ අපේ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට හොදින් පන්දුවට පහරදිය හැකියි. මා හිතුවේ මා එක පැත්තකින් හිටියොත් තරගය දිනන් පුලුවන් කියා. ශ්‍රී ලංකා පිලේ හොදම ක්‍රීඩක එකතුව මෙයයි. මේ කණ්ඩායම සමඟ ඉදිරියට යා හැකිනම් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග ජයග්‍රහණය කරන්න අපහසු නෑ“ ජනිත් ලියනගේ පැවැසීය.

සංචාරක සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර තෙවැනි හා අවසන් එක්දින තරගය 11 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

 

 

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest