slc
logo
Home   |    News
ජනවාරි 19, 2024
ශ්‍රී ලංකාව තෙවන තරගය සහ තරගාවලියම ජය ගනී

Sri Lanka Cricket

සිම්බාබ්වේ කණ්ඩායම තෙවන විස්සයි 20 තරගයේදී කඩුලු 9කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ තරගාවලියෙන් ද ජය වාර්තා කළේ තරග 2 – 1ක් ලෙසිනි.

මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව මේ දක්වා සිම්බාබ්වේ සමඟ මෙතෙක් පවත්වා ඇති තරගාවලියන් හතරේම ජයග්‍රහණ අත්කර ගෙන සිටී.

මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (18) කණ්ඩායම් දෙක අතර පැවැති තුන්වන විස්සයි විස්ස තරගයේ මුලින් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14.1කදී ලකුණු 82කට දවාලු ශ්‍රී ලංකා කණ්ඩායම පසුව පන්දුවාර 10.5ක් තුළ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් රැස් කළේ තවත් පන්දුවාර 9.1ක්ම (පන්දු 55ක්) ඉතිරිව තිබියදීය.

මේ තරගය රාත්‍රී 9.10 ට අවසන් වූ අතර කණ්ඩායම් දෙකම පන්දුවට පහර දුන්නේ ඕවර 25කට පමණි.

තරගයේ වීරයා ලෙස තේරුණේ ලකුණු 15කට කඩුලු 4ක් දවාලු ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගය. මේ තරගාවලිය පුරාම පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක් වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් විස්සයි 20 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද තේරිණි. මැතිව්ස් අද (18) දිනයේ ද සිම්බාබ්වේ කණ්ඩායමේ දැවී ගිය පළමු සහ දෙවන කඩුලු දවාලමින් ලංකා කණ්ඩායමට ලබා දුන්නේ ප්‍රබල ආරම්භයකි.

සිම්බාබ්වේ පන්දුවට පහර දෙන අවස්ථාවේ ඔවුනගේ අවසාන කඩුලු හතම දැවී ගියේ ලකුණු 18ක් තුළය. වනිඳු හසරංග එහිදී ලකුණු 15කට කඩුලු හතරක් දවාලු අතර එය ඔහුගේ විස්සයි 20 හොඳම කඩුලු දවාලීම සම කිරීමකි. මීට පෙර ඔහු ලකුණු නවයකට කඩුලු හතරක් දවා විස්සයි 20 හොඳම පන්දු යැවීම සිදු කර සිටී.

සිම්බාබ්වේ මෙදින දැවී ගිය ලකුණු 82 ඔවුන් විස්සයි 20 තරගයක දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක්වේ.

ලකුණු 83ක ජයග්‍රහණ ඉලක්කයක් කරායාමට ශ්‍රී ලංකාව පිටියට පිවිසි අවස්ථාවේ ආරම්භක පිතිකරු දෙදෙනා පැතුම් නිශ්ශංක (නොදැවී 39) සහ කුසල් මෙන්ඩිස් (33) ප්‍රථම විකට්ටුවට පන්දුවාර 7.4කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 64කි. මේ අවස්ථාවේ කුසල් මෙන්ඩිස් ෂොන් විලියම්ස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදී ලකුණු 33කට දැවී යන විට පන්දු 27කදී හතරේ හතරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 33ක් ලබා සිටියේය.

නොදැවී කඩුල්ලේ සිටි පැතුම් නිශ්ශංක පන්දු 23කදී හතරේ පහක් සහ හයේ පහරක් සමඟ ලකුණු 39ක් ද අංක තුන පිතිකරු ලෙස පැමිණි ධනංජය ද සිල්වා පන්දු 13කදී හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 15ක් ලබා සිටියහ. ලංකා කණ්ඩායමේ පන්දුවට පහරදීමේ වේගය 8.12කි.

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම සිම්බාබ්වේ කණ්ඩායමට පැවරීය. ඇන්ජලෝ මැතිව්ස් මුලින් පන්දු යැවීම ආරම්භ කළ අතර ටිනාෂි කමුන්හුකම්වෙ ප්‍රථම පන්දුවට ලකුණක් ලබා පැති හුවමාරු කර ගත්තේය. හිටපු නායක ක්‍රෙග් අර්වින් මුහුණ දුන් ඊළඟ පන්දුවට අර්වින් වේගවත් පහරක් එල්ල කිරීමට යාමේදී පොයින්ට් හි සිටි සධීර සමරවික්‍රම මනරම් වූ උඩ පන්දුවක් රැක ගැනීමෙන් ප්‍රථම කඩුල්ල ලෙස මුළු ලකුණු එකක්ව තිබියදී දැවී ගියේය.

දිල්ෂාන් මධුශංඛ යැවු තරගයේ දෙවන ඕවරයට අංක තුන පිතිකරු බ්‍රයන් බෙනට් පිට පිටම එල්ල කළ හතරේ පහර හතරක් සමඟ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 18ක් රැස් කර ගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ දෙවන ඕවරයේ අවසාන පන්දුවට මිඩ් ඕන් හි පන්දු රකිමින් සිටි නායක වනිඳු හසරංගට උඩපන්දුවක් රැක ගැනීමෙන් ආක්‍රමණශීලිව පන්දුවට පහර දෙමින් සිටි බ්‍රයන් බෙනට් ලකුණු 29කට දැවී ගියේ මුළු ලකුණු 35දී දෙවන කඩුල්ල ලෙසිනි. බෙනට් පන්දු 12කට පමණක් මුහුණ දී හතරේ හතක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 29කි.

සිම්බාබ්වේ කණ්ඩායමට අවශ්‍යව තිබුණේ පළමු ඕවර හයේදී වැඩි ක්‍රීඩක පිරිසක් ක්‍රීඩාංගණයේ වළල්ලේ සීමාව තුළ සිටියදී වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමේ අරමුණින් වේගයෙන් ලකුණු හඹා යාමටය.

ලකුණු 51දී සිම්බාබ්වේ තෙවන කඩුල්ල දැවී ගියේ (පන්දුවාර 5.4යි) ආරම්භක පිතිකරු ටිනාෂි කමුන්හුකම්වෙ විසින් මහීෂ් තීක්ෂණගේ පන්දුවකට කඩුලු රකින කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක් දීමෙනි. ටිනාෂි පන්දු 14කදී හතරේ පහරක් සමඟ ලකුණු 12ක් ලැබීය.

සිම්බාබ්වේ තෙවන කඩුල්ලේ සිට ඉනිම නිම වන තෙක් අවසාන කඩුලු අටම දැවී ගියේ පන්දු 51ක් තුළ ලකුණු 31ක් පමණක් එක්වද්දීය.

ආරම්භක පන්දු යවන දිල්ෂාන් මධුශංඛගේ දෙවන පන්දු ඕවරය යැවීමට නායක වනිඳු කැඳවුයේ තරගයේ නවවන ඕවරයේදීය. එම ඕවරයේ දෙවන පන්දුවට සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා තර්ඩ් මෑන් හි පන්දු රකිමින් සිටි මහීෂ් තීක්ෂණට උඩපන්දුවක් දී දැවී ගියේ ලකුණු දහයකටය. (පන්දු දහයයි හතරේ පහරයි)

ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග කඩුලු බිඳ දැමීම ආරම්භ කළේ මේ අවස්ථාවේ සිටය. මුළු ලකුණු 71දී ටෝනි මුනිඔන්ගෝ ශ්‍රී ලංකා නායකයාගේ පන්දුවකට ධනංජය ද සිල්වාට උඩපන්දුවක්දී ලකුණු හතරකට දැවී ගියේ (පන්දු හයයි) මුළු ලකුණු 71දී පස්වන කඩුල්ල ලෙසිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හයවන පන්දු යවන්නා ලෙසට ධනංජය ද සිල්වා පන්දු යැවීමට කැඳවුයේ තරගයේ 11 වන පන්දුවාරයේදීය. ධනංජය එවු තෙවන පන්දුවට ෂෝන් විලියම්ස් පෙරළා ධනංජයටම උඩපන්දුවක්දී මුළු ලකුණු 73දී දැවී ගියේය. විලියම්ස් ලකුණු 15ක් ලැබුවේ පන්දු 17කදී හතරේ පහරක් ද සමඟිනි.

මුළු ලකුණු 76දී වනිඳුගේ පන්දුවකට ලුක් ජොන්වේ ලකුණු 02කටත් මුළු ලකුණු 82දී නැවත වනිඳුගේ පන්දුවකට වෙලිංටන් මැසකඩ්සා කඩුල්ල මුවා කිරීමේ වරදට ලකුණු තුනකටත් දැවී ගියහ. මුළු ලකුණු 82දීම නැවත වනිඳු හසරංග එවු පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී රිචඩ් එන්ගාරා ලකුණු නොලබා දැවී ගියේය.

ක්ලයිව් මැඩෙන්ඩෙ අවසාන පිතිකරු ලෙස දැවී ගියේ තීක්ෂණගේ පන්දුවකට දසුන් ශානකට උඩපන්දුවක්දී ලකුණු දෙකකටය. අවසාන කඩුලු තුනම ලකුණු 82කට දැවීයාම විශේෂත්වයකි.

ලකුණු පුවරුව

සිම්බාබ්වේ පන්දුවාර 14.1කදී සියල්ල දැවී 82

(බ්‍රයන් බෙනට් 29, ෂෝන් විලියම්ස් 15, ටිනාෂි කමුන්හුකම්වෙ 12, සිකන්දර් රාසා 10, වනිඳු හසරංග 15ට 4යි, ඇන්ජලෝ මැතිව්ස් 15ට 2යි, මහීෂ් තීක්ෂණ 14ට 2යි ධනංජය ද සිල්වා 1/1, දිල්ෂාන් මධුශංඛ 22/1

ශ්‍රී ලංකාව පන්දුවාර 10.5කදී කඩුලු 1ට 88

(පැතුම් නිශ්ශංක නොදැවී 39, කුසල් මෙන්ඩිස් 33, ධනංජය ද සිල්වා නොදැවී 15, ෂෝන් විලියම්ස් 13/1)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest