slc
logo
Home   |    News
ජනවාරි 9, 2024
ශ්‍රී ලංකාව දෙවන එක්දින තරගය කඩුලු දෙකකින් ජය ගනී

Sri Lanka Cricket

මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකකින් සිම්බාබ්වේ පරදා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

තියුණු මුහුණුවරක් ඉසිලු මේ තරගයේදී සිම්බාබ්වේ පන්දුවාර 44.4කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු 208ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව කඩුලු අටකට ලකුණු 211ක් රැස් කරමින් මේ අනගි ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 172කට කඩුලු අටක් දැවී සිටියදී නව වන කඩුල්ලට දුෂ්මන්ත චමීර (නොදැවී 18) සහ ජෙෆ්රි වැන්ඩසේ (නොදැවී 19) පන්දු 39කදී නොදැවී ලකුණු 39ක් රැස් කරමින් මේ ජයග්‍රහණයට දායකත්වය දැක්වීය.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අංක හතර පිතිකරු ලෙස පැමිණි දිගු ඉනිමක් ක්‍රීඩා කරමින් සිය දෙවන එක්දින තරගයේදීම ලකුණු 95ක් රැස් කළ 28 හැවිරිදි ජනිත් ලියනගේය. ඔහු පන්දු 127කදී  හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමඟ ලකුණු 95ක් ලැබීය. බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ ආදි සිසුවෙකු වන ජනිත් ලියනගේ රාගම ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකි.

සිම්බාබ්වේ කණ්ඩායමේ රිචඩ් එන්ගාරා ලකුණු 32කට කඩුලු 5ක් දවා තම හොඳම පන්දු යැවිම වාර්තා කළේය.

ලකුණු 209ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා රිචඩ් එන්ගරාවාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් කිහිපදෙනකුම දැවී ගියේ අඩු ලකුණු සංඛ්‍යාවන්ටය.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ප්‍රථම එක්දින තරගයේ මෙන්ම මේ තරගයේදීත් ප්‍රථම පන්දුවාරයේදීම දැවී ගියේ මුළු ලකුණු හතරේදී එන්ගරාවාගේ පන්දුවකට ගුම්බ්ලේ අතට උඩපන්දුවක් දී ලකුණු හතරකටය. ශ්‍රී ලංකාවේ දෙවන කඩුල්ල ලකුණු 16දී දැවී ගියේ එන්ගාරාගේ දෙවන ඕවරයේ දෙවන පන්දුවට අංක තුන පිතිකරු සධීර සමරවික්‍රම ද ලකුණු හතරක් ලබා සිටියදී නායක ක්‍රෙග් අර්වින්ට උඩපන්දුවක් ලබා දීමෙනි.

දහතුන්වන ඕවරය නිම වන විට ශ්‍රී ලංකාව කඩුලු දෙකකට ලකුණු 49ක් ලබා සිටියදී වර්ෂාව පතිත වුයෙන් රාත්‍රී 7.23 සිට රාත්‍රී 8.15 දක්වා තරගය නොපැවැත්විණි.

රාත්‍රී 8.15ට තරගය නැවත ආරම්භ වීමෙන් පසුව මුළු ලකුණු 51දී ලංකා කණ්ඩායමේ තෙවන කඩුල්ල ලෙස නායක කුසල් මෙන්ඩිස් ලකුණු 17කට (පන්දු 28යි හතරේ දෙකයි) දැවී ගියේ එන්ගාරාගේ පන්දුවකට බර්ල් උඩපන්දුවක් රැක ගැනීමෙනි. (පන්දුවාර 13.5)

ප්‍රථම එක්දින තරගයේදී ශතකයක් (101) රැස් කළ උපනායක චරිත් අසලංක මේ තරගයේදී එකම ලකුණක්වත් නොලබාම දැවී ගියේ මුළු ලකුණු 53දී ගුම්බ්ලේ අතට උඩපන්දුවක්දී එන්ගාරාට පිට පිටම සිව්වන කඩුල්ල ද ලබා දෙමිනි.

ශ්‍රී ලංකා කඩුලු අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීයද්දී ජාත්‍යන්තර එක්දින පිටියට නවකයන් දෙදෙනකු වූ ජනිත් ලියනගේ සහ සහන් ආරච්චි පස්වන කඩුල්ලට ලකුණු 37ක සබඳතාවයක් තබා ගනිමින් මුළු ලකුණු සංඛ්‍යාව 90 දක්වා ඉහළ නැංවුහ. සහන් ආරච්චි මෙහිදී ලකුණු 21ක් රැස් කළේ පන්දු 39කට මුහුණ දී හතරේ පහර දෙකක් ද එල්ල කරමිනි. ඔහු දැවී ගියේ සිකන්දර් රාසාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමෙනි.

හිටපු නායක දසුන් ශානක ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී නොසිට ලකුණු හතකට දැවී ගියේ සිකන්දර් රාසාගේ පන්දුවකට ගුම්බ්ලේ අතට උඩපන්දුවක් දී මුළු ලකුණු 112දී හයවන කඩුල්ල ලෙසිනි.

ජනිත් ලියනගේ හුදකලා සටනක නිරත වෙමින් පන්දුවාර 28.5දී සිය අර්ධ ශතකය (50) වාර්තා කළේ හතරේ හතරක් සමඟය. ඔහු ඊට පන්දු 85කට මුහුණදී සිටියේය.

සිම්බාබ්වේ කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය. ආරම්භක පන්දු යවන්නා දිල්ෂාන් මධුශංක යැවු තරගයේ ප්‍රථම පන්දු වාරයේ තුන්වන පන්දුවට ආරම්භක පිතිකරු ටිනාෂි කමුන් හුකම්වෙ එකම ලකුණක්වත් නොලබාම දැවී ගියේ මුළු ලකුණු එකක්ව තිබියදීය.

අංක තුන පිතිකරු නායක ක්‍රෙග් අර්වින් ඉවසිලිවන්තව පිිටියේ රැඳෙමින් තම කණ්ඩායමට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලබාදීමේ අරමුණින් සිම්බාබ්වේ දෙවන, තෙවන සහ සිව්වන කඩුලු සඳහා දිගු සබඳතා තුනක්ම තබා ගැනීමට මූලික වී පන්දුට පහර දෙනු දක්නට ලැබිණි.

ක්‍රෙග් අර්වින් දෙවන කඩුල්ලට ජෝයිලෝඩ් ගුම්බ්ලෙ සමඟ ලකුණු 60ක (පන්දු 61යි) සබඳතාවයක් ද තෙවන කඩුල්ලට මිල්ටන් ෂුම්බා සමඟ ලකුණු 53ක (පන්දු 76යි) සබඳතාවයක් ද සිව්වන කඩුල්ලට රයන් බර්ල් සමඟ ලකුණු 67ක (පන්දු 70යි) සබඳතාවයක් ද තබා ගත්තේ නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමිනි.

මුළු ලකුණු 182ක් වන විට පස්වන කඩුල්ල ලෙසට ක්‍රෙග් අර්වින් දැවී යන විට පන්දු 102කට මුහුණදී හතරේ නවයක් හයේ පහරක් සමඟ ලකුණු 82ක් රැස් කරමින් ශතකය ආසන්නයටම ළඟා වෙමින් සිටියේය. 38 හැවිරිදි වමත් පිතිකරු ක්‍රෙග් අර්වින්ගේ විසිවන එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය මෙය වේ.

සිම්බාබ්වේ නායකයා පස්වන කඩුල්ල ලෙස මුළු ලකුණු 182දී දැවීයාමත් සමඟ ඔවුන්ගේ අවසාන කඩුලු හයම දැවී ගියේ ලකුණු 26ක් තුළදීය.

ලකුණු අතර සිටි අනෙකුත් සිම්බාබ්වේ පිතිකරුවන් වූ අංක හය පිතිකරු රයන් බර්ල් පන්දු 37කදී හතරේ පහරක් හයේ පහරක් සමඟ ලකුණු 31ක් ද ආරම්භක පිතිකරු ජොයිලෝඩ් ගුම්බ්ලෙ පන්දු 37කදී හතරේ හතරක් සමඟ ලකුණු තිහක් ද අංක හතර පිතිකරු මිල්ටන් ෂුම්බා පන්දු 45කදී හතරේ දෙකක් සමඟ ලකුණු 26ක් ද රැස් කළහ.

සිම්බාබ්වේ පිල පන්දු වාරයකට සාමාන්‍ය ලකුණු 4.66ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුනම පන්දු යවන්නා වූ මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 9.4ක් යවා ලකුණු 31කට කඩුලු හතරක් දවාලීමට සමත් විය. මීට අමතරව ආරම්භක පන්දු යවන දුෂ්මන්ත චමීර පන්දු ඕවර අටක් යවා ලකුණු 44කට කඩුලු දෙකක් ද දඟපන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ පන්දු ඕවර දහයක් යවා ලකුණු 47කට කඩුලු දෙකක් ද දවාලුහ.

 ලකුණු පුවරුව

 සිම්බාබ්වේ පන්දුවාර 44.4කදී සියල්ල දැවී 208 – (ක්‍රෙග් අර්වින් 82, රයන් බර්ල් 31, ජොයිලෝඩ් ගුම්බ්ලේ 30, මිල්ටන් ෂුම්බා 26, ක්ලයිව් මැඩන්ඩෙ 14, මහීෂ් තීක්ෂණ 31/4, දුෂ්මන්ත චමීර 44/2, ජෙෆ්රි වැන්ඩසේ 47/2

ශ්‍රී ලංකාව

ජනිත් ලියනගේ 95, සහන් ආරච්චි 21, මහීෂ් තීක්ෂණ 18, කුසල් මෙන්ඩිස් 17, ජෙෆ්රි වැන්ඩසේ නොදැවී 19, දුෂ්මන්ත චමීර නොදැවී 18, රිචඩ් එන්ගාරා 32/5, සිකන්දර් රාසා 32/2

Active filters

Recent Posts

  • ටී-10 උණුසුම දෙසැම්බර් 12 වැනිදා පල්ලේකැලේදී ඇරඹෙයි
    ශ්‍රී ලංකාවේදී පළමු වතාවට ක්‍රියාත්මක ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. […]
  • නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියට කුසල් පෙරේරා කැඳවයි
    නොවැම්බර් මස 09වැනිදා නවසීලන්ත පිලට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති […]
  • ‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය පසිඳු – නුවනිඳු යටතට
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය වන පාකිස්තානු  පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සිව්දින සහ එක්දින තරග සඳහා වෙන වෙනම නායකයින් පත් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු […]
  • නවසීලන්ත පිලෙන් කොටසක් එයි
    පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඊයේ (14 වැනිදා) මධ්‍යම රාත්‍රිෙය් ශ්‍රී ලංකාවට පැමිණිය. කාණ්ඩ දෙකක් […]
  • ප්‍රීමා කුසලාන 15න් පහළ නැෂනල් යූත් 21 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා කොළඹදී ආරම්භ වනු ඇත. සමාරම්භක දිනයේදී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee