ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර අද (21) පැවැති ලෝක කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ ලකුණු 39කිනි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී පන්දුවාර 48.3කදී රැස් කළ ලකුණු 204 හඹායද්දී සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 13.2කදී කඩුලු තුනකට ලකුණු 30ක් ලබා සිටියදී තරගය නතර කැරිණි. ආපසු තරගය ආරම්භ වුයේ සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 22කදී ජයග්‍රහණයට ලකුණු 129ක් ලැබෙන පරිදිය. එහෙත් සියලු ක්‍රීඩකයන් දැවී සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 21.1ක් තුළ ලබා ගත්තේ ලකුණු 89ක් පමණකි.
ප්‍රබල පන්දු යැවීමක නිරත වූ මල්ෂා තරුපති පන්දු ඕවර හතරක් යවා ලකුණු 17කට කඩුලු හතරක් ද විශ්ව ළහිරු ලකුණු 12කට කඩුලු දෙකක් ද රුවිෂාන් පෙරේරා ලකුණු දෙකකට කඩුලු දෙකක් ද දවාලමින් පන්දු යැවීමේදී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනුණි.
මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 12කට කඩුලු තුනක් දැවී සිටියදී අංක හය පිතිකරු ලෙස පැමිණ අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 55කදී ලකුණු 60ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දක්වා පසුව ආරම්භක පන්දු යවන්නකු ලෙස කඩුල්ලක් දවාලු දිනුර කළුපහන තරගයේ වීරයා ලෙස නම් කැරිණි.
ශ්‍රී ලංකාව ලකුණු 88කට කඩුලු පහක් දැවී සිටියදී හයවන කඩුල්ලට කළුපහන සහ ෂාරුජන් ෂන්මුගනාදන් ලකුණු 80ක් රැස් කළේ තරගයේ ස්වරූපය වෙනස් කරමිනි.
දිනුර කළුපහන මුළු ලකුණු 168දී දැවී යාමෙන් පසු ෂාරුජන් ෂන්මුගනාදන් අගපෙළ පිතිකරුවනට එක්ව ලංකා ඉනිම 204 දක්වා ඇදගෙන යාම දක්නට ලැබිණි.
සිම්බාබ්වේ ලකුණු 205ක ඉලක්කයක් කරා යාමට පැමිණි අවස්ථාවේ ඔවුනට කිසිම අවස්ථාවක තරගයට අවතීර්ණ වීමට අවස්ථාවක් නොදීමට ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් වගබලා ගැනීම විශේෂත්වයකි.
මෙහිදී නායක මැතිව් ෂොන්කෙන් පමණක් පන්දු 19කදී හයේ පහරක් සමඟ ලකුණු 27ක් ලබා ලකුණු අතරට පිවිසියේය. ලකුණු දහය ඉක්ම වූ අනෙක් පිතිකරුවන් දෙදෙනා වුයේ කැම්බල් මැක්මිලන් (12) රොනක් පටෙල්ය. (12)
පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු මල්ෂා තරුපති ලකුණු 17කට කඩුලු 4ක් ද රුවිෂාන් පෙරේරා ලකුණු දෙකකට කඩුලු දෙකක් ද විශ්ව ළහිරු ලකුණු 12කට කඩුලු දෙකක් ද දවාලුහ.
තරගයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරියුම් කළේය.
පන්දුවාර 4.4ක් වන විට ලංකා යොවුන් කණ්ඩායමේ කඩුලු තුනක්ම ලකුණු 12කට දැවීයාමෙන් කණ්ඩායම පත්වුයේ අසීරු තත්ත්වයකටය.
ආරම්භක පිතිකරු විෂේන් හැළඹගේ මුළු ලකුණු එකක්ව තිබියදී ලකුණු නොලබාමත් මුළු ලකුණු අටේදී අනෙක් ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා ලකුණු තුනකටත් මුළු ලකුණු 12දී අංක තුන පිතිකරු නායක සිනෙත් ජයවර්ධන ලකුණු හතකටත් දැවී ගියහ.
අංක හතර පිතිකරු රවිෂාන් ද සිල්වාට සහ අංක පහ පිතිකරු රුසඳ ගමගේට මේ තත්ත්වයෙන් ලංකා කණ්ඩායම ගොඩ ගැනීමට සිදු වුයේ කඩුලු ආරක්ෂා කර ගනිමින් ඉවසිලිවන්තව සෙමින් ලකුණු රැස් කිරීමටය. පන්දුවාර දහය නිම වන විට ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 25ක් ලබා සිටි අතර මුළු ලකුණු 50 කරා ගියේ පන්දුවාර 18.4කදීය.
මුළු ලකුණු 66දී රුසඳ ගමගේ සිව්වන කඩුල්ල ලෙස ලකුණු 31කටත් (පන්දු 59යි හතරේ පහරයි) මුළු ලකුණු 88දී රවිෂාන් ද සිල්වා පස්වන කඩුල්ල ලෙස ලකුණු 31කටත් (හතරේ පහරයි හයේ පහරයි) දැවී ගියහ. මේ වන විට පන්දුවාර 30.5ක් ගතව තිබු හෙයින් ලංකා යොවුන් කණ්ඩායම නැවත අසීරු තත්ත්වයකට පත් විණි. මේ වන විට ලකුණු රැස් කිරීමේ වේගය පැවතියේ පන්දු වාරයකට 2.84ක් ලෙසිනි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙම තත්ත්වයෙන් ගොඩ ගෙන ස්ථාවර තත්ත්වයකට පත් කිරීමට අවස්ථාව උදා වුයේ හයවන කඩුල්ලට අංක හය පිතිකරු දිනුර කළුපහන (ලකුණු 60යි) සහ අංක හත පිතිකරු ෂාරුජන් ෂන්මුගනාදන් (ලකුණු 41යි) පන්දු 71ක් තුළ ලකුණු 80ක් රැස් කිරීමෙනි. දිනුර සහ ෂාරුජන් පන්දුවට පහර දුන්නේ සෑම අවස්ථාවකම පන්දුවකට ලකුණ බැගින් වන වේගයක් තබා ගනිමිනි. මොවුන් දෙදෙනාගේ පන්දුවට පහරදීමේ වේගය පන්දු වාරයකට සාමාන්‍ය ලකුණු 6.66කි.
කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනුර කළුපහන පන්දු 55කට මුහුණදී හතරේ පහර හයක් හයේ පහර දෙකක් සමඟ ලකුණු 60ක් ද ෂාරුජන් ෂන්මුගනාදන් පන්දු 40කදී හතරේ තුනක් සමඟ නොදැවී ලකුණු 41ක් ද රැස් කළේ ලංකා කණ්ඩායමට ජීවයක් ලබා දෙමිනි. දිනුර කළුපහන ලකුණු 168දී දැවී ගියේ හයවන කඩුල්ල ලෙසිනි.
දිනුර දැවී යාමෙන් පසු ෂාරුජන් තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ඉනිම හතළිස් නවවන පන්දුවාරය තෙක් රැගෙන ගොස් ලකුණු දෙසීය සීමාව ඉක්ම වීමට මුල් වී නොදැවී තම කඩුල්ල ද ආරක්ෂා කර ගත්තේය. ෂාරුජන් සහ රුවිෂාන් නවවන කඩුල්ලට පන්දු හතකදී ලකුණු 13ක් රැස් කළ අතර එහිදී රුවිෂාන් පන්දු හයකට මුහුණදී හයේ පහර දෙකක් සමඟ ලකුණු 12ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 48.3කදී සියල්ල දැවී 204
දිනුර කළුපහන 60, ෂාරුජන් ෂන්මුගනාදන් නොදැවී 41, රවිෂාන් ද සිල්වා 31, රුසඳ ගමගේ 31, රුවිෂාන් පෙරේරා 12, කෝල් එක්ස්ටීන් 40/3යි, නිව්මන් නයාමුරි 50/2, මැතිව් ෂොන්කෙන් 36/2, පනාෂේ තරුවින්ගා 9/1, අනෙසු කමුරිවො 12/1යි)
සිම්බාබ්වේ පන්දුවාර 21.1කදී සියල්ල දැවී 89යි
මැතිව් ෂොන්කෙන් 27, කැම්බල් මැක්මිලන් 12, රොනක් පටෙල් 12, මල්ෂා තරුපති 17/4, රුවිෂාන් පෙරේරා 2/2, විශ්ව ළහිරු 12/2, ගරුක සන්කෙත් 8/1, දිනුර කළුපහන 25/1