ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳව සමාජ මාධ්‍යයන්හි නොයෙකුත් තොරතුරු පළ වන අතර ක්‍රීඩකයන් ඒවා බලන්නේවත් ඊට උත්තර දෙන්නේවත් නැතැයි ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංග ද සිල්වා පවසයි.
එක් එක් අයගේ පුද්ගලික අදහස් මෙන්ම වෙනත් අයගේ ඕනෑ එපාකම් මත මේවා සිදුවෙතැයි සිතිය හැකි වුවත් ක්‍රීඩකයන් ඒ පිළිබඳව අවධාරණය නොකරන බව ද වනිඳු කියයි.
අප අවධාරණය කරන්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සහ ඒවා දියුණු කර ගන්නා මාර්ග ගැනයි. සමාජ මාධ්‍යයන්හි පළ වන ප්රවෘත්ති ක්‍රීඩකයනට වැදගත් නැතැයි පවසන ශ්‍රී ලංකා විස්සයි 20 නායකයා ජය පරාජයන්හි කණ්ඩායම සමඟ එකට සිටින ප්‍රේක්ෂකයන් තමා අගය කරන්නේ යැයි ද කියයි.
සිම්බාබ්වේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම අනුග්රාහකයන් අගය කිරීම වෙනුවෙන් සඳුදා (15) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා විස්සයි 20 නායකයා එම අදහස් පළ කළේය.
සිම්බාබ්වේ සමඟ ප්‍රථම විස්සයි 20 තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු ඇන්ජලෝ මැතිව්ස් ලංකා කණ්ඩායමට (විස්සයි 20) මෙවර එක් වුයේ ඔබගේ ආරාධනය මත ද එසේ නම් විශ්‍රාම ගිය සෙසු ක්‍රීඩකයන් කිහිප දෙනකුට නැවත කණ්ඩායමට එන ලෙසට ආරාධනා කරන්නේ දැයි විමසු විට වනිඳු හසරංග ප්‍රකාශ කළේ කණ්ඩායමට එක්වන ලෙස තමා මැතිව්ස්ට ආරාධනා නොකළ අතර ඔහු තවමත් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන නොමැති බවත් විශ්‍රාමලත් ක්‍රීඩකයන් කිසිවකුට නැවත කණ්ඩායමට එන ලෙස ඇරියුම් කර නොමැති බවත්ය.
නිපොලැක් තීන්ත ලංකා පුද්ගලික සමාගම සිංගප්පුරුවේ බී.ඕ.ටී. ට්රෙක්නොලොජි සමාගම (සම අනුග්රාහකයන්) සහ ඩයලොග් සමාගම (ජාතික අනුග්රාහකයන්) ලෙස මෙහිදී ඇගැයීමට ලක් කැරිණි. මේ උත්සවය පැවැතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී අදහස් දැක් වූ ක්‍රිෂාන්ත කපුවත්ත මහතා මෙවර සිම්බාබ්වේ සංචාරයේ තරග අයහපත් කාලගුණික තත්ත්වය මත කොළඹ නගරයේ සංවිධානය කළත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉදිරි ජාත්‍යන්තර තරග කොළඹින් පිටත නගරවල සංවිධානය වනු ඇති බවත්ය.
සිම්බාබ්වේ සමඟ පැවැති තරග ජයග්රහණයන් අඩු තක්සේරුවලට ලක් කරමින් එය අසාර්ථක බව පෙන්වීමට එම සමාජ මාධ්‍යයන් උත්සාහ දරණ බව පවසන කපුවත්ත මහතා තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ක්‍රිකට් ක්‍රිඩකයන් මානසිකව පහළ දැමීමට උත්සාහ නොකරන ලෙසයි.
ක්‍රිකට් ක්‍රීඩාවට නවක රටවල් වන නේපාලය සහ භූතානය වැනි රටවල් පවා මෙවැනි තත්ත්වයන්ට වැටී නොමැති බව පවසන ක්‍රිෂාන්ත කපුවත්ත මහතා මේවා සිදු වන්නේ වෙනත් අරමුණු සිතෙහි රඳවාගෙන ක්‍රීඩාව කඩාකප්පල් කිරීමට උත්සාහ දරණ පුද්ගලයන් කිහිප දෙනකුගේ ඕනෑ එපාකම් මත යැයි ද කීවේය.
ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ සභාපති පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ජනාධිපතිතුමා ද මුණගැසී සාකච්ඡා පැවැත් වූ බව කී වැඩබලන ලේකම්වරයා ජගත් ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජිකත්වය නැවත ලබා ගැනීම යළි ඉක්මනින්ම සිදු වනු ඇතැයි ද ඔහු පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ගෙන යන නව වැඩපිළිවෙල යටතේ තව මාස හයකින් එළැඹෙන මීළඟ විස්සයි 20 තරගාවලිය වන විට ලංකා කණ්ඩායම ප්‍රබලම තත්ත්වයකට පත්ව ඕනෑම කණ්ඩායමක් පරදවන්න හැකි කණ්ඩායමක් බවට පත්වනු ඇතැයි ද ඔහු පැවසීය.
විදේශීය පුහුණුකරුවන් ඉවත් කර දේශීය පුහුණුකරුවනට එම කාර්යය භාර කරන්නේ දැයි විමසු විට ඔහු පැවසුවේ එම කාර්යයන් නීත්‍යානුකූලව නිසි පරිදි සෑම පාර්ශ්වයකටම අසාධාරණයක් නොවන පරිදි නිසි අයුරින් සිදු වනු ඇති බවය.
එක්දින නායක කුසල් මෙන්ඩිස් අදහස් දක්වමින් පැවසුවේ ජනිත් ලියනගේ වැනි ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ඇති වූ බවත් මීළඟ එක්දින ලෝක කුසලානයට තවත් වසර හතරක් ඇති හෙයින් ඒ වන විට මේ කණ්ඩායම ප්‍රබලම තත්ත්වයකට පත්වනු නිසැක බවය.
බන්දුල