slc
logo
Home   |    News
පෙබරවාරි 3, 2024
දකුණු අප්‍රිකාව ලකුණු 119කින් ජය ගනී

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවැති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා “සුපර් සික්ස්“ වටයේ තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 119ක ජයක් අත්කර ගත්තේය.

ශ්‍රී ලංකාවේ ඇරයුමින් මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලබාගත් ලකුණු 232ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 23.2කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 113කි.

ලකුණු 21කට ශ්‍රී ලංකා කඩුලු හයක් දවාලු දකුණු අප්‍රිකා ආරම්භක පන්දු යවන්නා ක්වේනා මෆාකා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කැරිණි.

දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලුවාන් ඩ්‍රි ප්‍රිටෝරියස් (ලකුණු 71යි පන්දු 77යි හතරේ දහයයි) සහ ස්ටීව් ස්ටොක් (ලකුණු 22යි පන්දු 17යි හතරේ හතරයි) ප්‍රථම විකට්ටුවට ලකුණු 68ක් (පන්දු 52යි) රැස් කර සාර්ථක ආරම්භයක් ලබා ගත්තත් 27 වන පන්දුවාරය වන විට ලකුණු 132කට කඩුලු හයක් බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්විණි.

දකුණු අප්‍රිකා අංක අට පිතිකරු රයිලි නෝටන් නොදැවී ලකුණු 41ක් ද (පන්දු 69යි) අංක හත පිතිකරු නායක ජුවාන් ජේම්ස් ලකුණු 27ක් ද (පන්දු 53යි හතරේ පහරයි) දිගු වේලාවක් කඩුලු ආරක්ෂා කර ගනිමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කිරීමට දායකත්වය ලබා දුන්හ.

මේ තරගයේදී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් නැවතවරක් කැපී පෙනුණු දිනුර කළුපහන ලකුණු 19ක් ද (පන්දු 24යි හතරේ තුනයි) ෂාරුජන් ෂන්මුගනාදන් ලකුණු 29ක් ද (පන්දු 32යි හතරේ හතරයි) දක්ෂතා අතර සිටියහ.

මීට අමතරව මල්ෂා තරුපති නැවතවරක් තුන් ඉරියව්වේම දස්කම් දක්වමින් පන්දු යැවීමේදී ලකුණු 46කට කඩුලු දෙකක් දවා පසුව පන්දු 21කදී හතරේ දෙකක් සහ හයේ පහරක් සමඟ ලකුණු 21ක් ද රැස් කළේය.

ලංකා යොවුන් කණ්ඩායමේ හොඳම සබඳතාවය වුයේ හිරුන් කපුරුබණ්ඩාර (ලකුණු 16යි පන්දු 16යි හතරේ තුනයි) සහ දිනුර කළුපහන (19) සිව්වන කඩුල්ලට පන්දු 37කදී එක් කළ ලකුණු 36 වේ.

දකුණු අප්‍රිකා පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු ක්වේනා මෆාකා ලකුණු 21කට කඩුලු හයක් ද රයිලි නෝටන් ලකුණු 28කට කඩුලු හතරක් ද දවාලුහ.

 ලකුණු පුවරුව

 දකුණු අප්‍රිකා අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 8ට 232යි – (ලුවාන් ප්‍රිටෝරියස් 71, රයිලි නෝටන් නොදැවී 41, ස්ටීව් ස්ටෝක් 22, ජුවාන් ජේම්ස් 27, නුකිබෝනි මොකෝනා නොදැවී 18, විශ්ව ළහිරු 44/2, සුපුන් වඩුගේ 28/2, මල්ෂා තරුපති 46/2)

 ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 23.2දී සියල්ල දැවී 113යි – (ෂාරුජන් ෂන්මුගනාදන් 29, මල්ෂා තරුපති 21, දිනුර කළුපහන 19, හිරුන් කපුරුබණ්ඩාර 16, ක්වේනා මෆාකා 21/6, රයිලි නෝටන් 28/4යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee