slc
logo
Home   |    News
පෙබරවාරි 4, 2024
මැතිව්ස් – චන්දිමාල් ශතක රැස් කරති

Sri Lanka Cricket

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද (03) තරගය නිමාවට පත් වන විට ඇෆ්ගනිස්තානයේ ප්‍රථම ඉනිමේ ලකුණු 198ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කඩුලු හයකට ලකුණු 410ක් ලබා ප්‍රථම ඉනිමේ මේ වන විට ලකුණු 212කින් ඉදිරියෙන් පසු වන්නේ තවත් කඩුලු හතරක් ඉතිරිව ප්‍රබල තත්ත්වයකිනි.

 ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් දෙදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස් (141) සහ දිනේෂ් චන්දිමාල් (107) ශ්‍රී ලංකා සිව්වන කඩුල්ලට ලකුණු 232ක සබඳතාවයක් තබා ගනිමින් දැක් වූ විශිෂ්ට කුසලතාවයන් මෙදින තරගයේ විශේෂතම සිදුවීම විණි.

 ලංකා කණ්ඩායම මුළු ලකුණු 148ක් වන විට නිශාන් මධුෂ්ක (37) දිමුත් කරුණාරත්න (77) සහ කුසල් මෙන්ඩිස් (10) යන ප්‍රබල පිතිකරුවන් තිදෙනකුම දැවී ගිය අවස්ථාවකදී මැතිව්ස්ගේ සහ චන්දිමාල්ගේ ලකුණු 232ක සබඳතාවයෙන් ශ්‍රී ලංකාව මේ වන විට පසු වන්නේ ජයග්‍රාහී පසුබිමක් තුළය.

 සිව්වන කඩුල්ලේ ලකුණු 232ක මේ සබඳතාව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සිව්වන කඩුල්ලක් සඳහා වැඩිම සබඳතාවක් ලෙස ඉතිහාසයට එක් වේ. මීට පෙර මේ ක්‍රීඩාංගණයේ සිව්වන කඩුල්ලේ සබඳතාවයට වාර්තාව වුයේ 1992 දී අසංක ගුරුසිංහ සහ අර්ජුන රණතුංග ඔස්ට්‍රේලියාව සමඟ ලකුණු 230ක් රැස් කර තැබු වාර්තාවය.

 මැතිව්ස් මෙදින මිනිත්තු 343කදී (පන්දු 259යි) හතරේ 14ක් සහ හයේ තුනක් සමඟ ලකුණු 141ක් ද චන්දිමාල් පන්දු 181කදී හතරේ දහයක් හයේ පහරක් සමඟ ලකුණු 107ක් ද රැස් කළහ. මෙය චන්දිමාල්ගේ 15 වන ටෙස්ට් ශතකයත් මැතිව්ස්ගේ 16 වන ටෙස්ට් ශතකයත් වේ. මීට අමතරව මේ වන විට ශ්‍රී ලංකා ඉනිමේ එකම අර්ධ ශතකය ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 77ක් (පන්දු 72යි හතරේ හතයි) ලැබීය. 36 හැවිරිදි මැතිව්ස් 34 හැවිරිදි චන්දිමාල් සහ 35 හැවිරිදි දිමුත් කරුණාරත්න යන ජ්‍යෙෂ්ඨ අත්දැකීම් ඇති පළපුරුදු ක්‍රීඩකයනට කණ්ඩායමක් වෙනුවෙන් සිදු කළ හැකි සේවාව මොවුන් මෙදින සනාථ කළේ කදිම විලාශයකිනි.

 ලකුණු රැස් කිරීමේදී ශ්‍රී ලංකාව ලකුණු 100 පන්දුවාර 16.5කදීත් ලකුණු 200 පන්දුවාර 42.5කදීත් ලකුණු 300 පන්දුවාර 72.3කදීත් ලකුණු 400 පන්දුවාර 96.2කදීත් වාර්තා විණි. ශ්‍රී ලංකාවේ ලකුණු රැස් කිරීමේ වේගය මෙදින උදෑසන අඩාල වුවත් මැද භාගයේ සහ සවස් භාගයේ එය ක්‍රමයෙන් සීඝ්‍රවෙනු දක්නට ලැබිණි.

 තෙවන දිනයේ (04) තවත් ලකුණු සියයකට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට ලංකා කණ්ඩායම සමත් වුවහොත් ඇෆ්ගනිස්තානය සමඟ මේ මංගල ටෙස්ට් තරගය නියත ලෙස ශ්‍රී ලංකාවට වාසිදායක තරගයක් වනු නිසැකය.

 ප්‍රථම දින (02) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 80ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) තරගය නැවත ආරම්භ කිරීමෙන් පසු දිවා ආහාරය තෙක් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට මුහුණ දුන්නේ මඳක් අසීරු තත්ත්වයකිනි. මෙදින උදේ තරගය ආරම්භ වී දිවා ආහාරය තෙක් පන්දුවාර 23ක් තුළ ලංකා කණ්ඩායම තවත් ලකුණු 84ක් පමණක් එක් කළේ ඉදිරිපෙළ කඩුලු තුනක් ද දැවී යාමෙන් පසුවය.

 මෙදින නවීඩ් සඩ්රන් යැවු දිනයේ තුන්වන පන්දු වාරයේ දෙවන පන්දුවට ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක විසින් නූර් අලි සඩ්රන්ට උඩ පන්දුවක් දීමෙන් ලකුණු 37කට (පන්දු 53යි හතරේ හයයි) දැවී ගියේ මුළු ලකුණු 93දී (පන්දුවාර 16.2) ප්‍රථම කඩුල්ල ලෙසිනි.

 දිමුත් කරුණාරත්නට එක් වූ අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස්ට මෙදින එතරම් වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව උදා නොවීය. මුළු ලකුණු 115දී (පන්දුවාර 21.1) මෙන්ඩිස්, නිජට් මසූඩ් ගේ පන්දුවකට සියා උර් රෙහ්මන්ට උඩ පන්දුවක් දීමෙන් ලංකා දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු දහයකටය. මොහු ලකුණු දහය ලබා ගත්තේ පන්දු 25කට මුහුණ දී හතරේ පහරක් ද එල්ල කරමිනි.

 අනෙක් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න තම ඉනිම පුරා පන්දුවට පහර දුන්නේ තවත් ශතකයක් කරා යන ලකුණු පහළ කරමිනි. එහෙත් දිමුත් ලකුණු 77ක් ලබා සිටියදී මුළු ලකුණු 148දී (පන්දුවාර 29.1යි) කයිස් අහමඩ්ගේ පන්දුවකට එල්ල කළ පහරක් ඊබ්‍රහිම් සඩ්රන් දක්ෂ උඩ පන්දුවක් ලෙස රැක ගැනීමෙන් දිමුත් දැවී ගියේ ලකුණු 77ක් ලබා සිටියදීය. 

 දිවා ආහාරය වන විට ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 164ක් (පන්දුවාර 37යි) ලබා සිටි අතර ඒ වන විට සිව්වන කඩුල්ලට පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 29ක් ද (පන්දු 51යි හතරේ හතරයි) දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 15ක් ද (පන්දු 25යි හතරේ දෙකයි) රැස් කර ගනිමින් කඩුල්ලේ රැඳී සිටියහ.

 දිවා ආහාරයෙන් පසුව මේ පිතිකරුවන් දෙදෙනා ලකුණු රැස් කිරීමේ වේගය වැඩි කළේ ක්‍රීඩාංගණය පුරා දර්ශනීය පහර එල්ල කරමිනි. මේ හිටපු නායකයන් දෙදෙනා සවස තේ පානය තෙක්ම තම කඩුලු ආරක්ෂා කර ගත්හ.  තේ පානය වන විට මැතිව්ස් නොදැවී ලකුණු 79ක් ද (පන්දු 152යි හතරේ හයයි හයේ දෙකයි) චන්දිමාල් නොදැවී ලකුණු 68ක් ද (පන්දු 116යි හතරේ හතයි) ලබා සිටියහ.

 මේ පිතිකරුවන් දෙදෙනා (ඇන්ජි සහ චන්දි) සිව්වන කඩුල්ලට ලකුණු සියයක සබඳතාව පසු කළේ පන්දු 170ක් තුළදීය. දිවා ආහාරයේ සිට සවස තේ විවේකය තෙක් පන්දුවාර 32ක් තුළ මැතිව්ස් සහ චන්දිමාල් ලකුණු 123ක් නොදැවී රැස් කළේ වැඩි වේගයක් ද රඳවා ගනිමිනි.

 සවස තේ පානයෙන් පසු සවස 3.40ට ඇන්ජලෝ මැතිව්ස් සිය දහසය වන ටෙස්ට් ශතකය වාර්තා කළේ පන්දු 184කට (මිනිත්තු 231යි) මුහුණ දී හතරේ හතක් සහ හයේ තුනක් ද සමඟය. දිනේෂ් චන්දිමාල් සිය 15 වන ශතකය (ලකුණු සියය) මෙදින සවස 4.27ට වාර්තා කළේ පන්දු 168කදී (මිනිත්තු 237යි) හතරේ නවයක් සහ හයේ පහරක් ද සමඟිනි.

 මොවුන් දෙදෙනා ලකුණු 200ක සබඳතාවය වාර්තා කළේ පන්දු 240කදී මුළු ලකුණු 348දී ය. (කඩුලු තුනක් දැවී සිටියදීමය) මේ අවස්ථාවේ මැතිව්ස් නොදැවී 102ක් ද චන්දිමාල් නොදැවී ලකුණු 92ක් ද ලබා සිටියහ.

 චන්දිමාල්ගේ සහ මැතිව්ස්ගේ සිව්වන කඩුල්ලේ ලකුණු 232ක සබඳතාව මුළු ලකුණු 380දී බිඳ වැටුණේ නවීඩ් සඩ්රන්ගේ පන්දුවකට චන්දිමාල් එල්ල කළ උඩ පන්දුවක් කඩුලු රකින ඉක්රම් අලිකිල් විසින් අල්ලා ගැනීමෙනි. දිනේෂ් චන්දිමාල් පන්දු 181කට මුහුණ දී හතරේ පහර දහයක් සහ හයේ පහරක් සමඟ ලකුණු 107ක් රැස් කළේය.

 චන්දිමාල්ගේ දැවී යාමෙන් පසු ක්‍රීඩාංගණයට පිවිසියේ ප්‍රථමවතාවට ලංකා කණ්ඩායමට නායකත්වය දෙන ධනංජය ද සිල්වාය. චන්දිමාල් දැවී ගිය නවීඩ් සඩ්රන්ගේ පන්දුවාරයේ ඊළඟ පන්දුවට (සිව්වන පන්දුව) ධනංජය පහරක් එල්ල කර අනෙක් අන්තයට දුව ගියත් මැතිව්ස් ආපසු හැරී පන්දුව යන දෙස බලා ලකුණක් කරා දුව නොගිය හෙයින් අනවබෝධය මත ධනංජය පළමු පන්දුවේම දුවද්දී දැවීමට හසුව දැවී ගියේ ලකුණු නොලබාමය.

 හත්වන කඩුල්ලට පන්දුවට පහරදීමට පැමිණියේ සධීර සමරවික්‍රමය. මැතිව්ස් සහ සධීර පන්දු 52කදී ලකුණු 30ක් ලබා සිටිය දී අවසාන පන්දු වාරය එළැඹියේය. කයිස් අහමඩ් එවු එම පන්දුවාරයේ දෙවන පන්දුවට මැතිව්ස් වම් පෙදෙසින් වේගවත් හතරේ පහරක් එල්ල කළත් පිත්ත කර කැවී කඩුල්ලේ දැවටීමෙන් ඔහු අවාසනාවන්ත ලෙස දිනයේ අවසාන පන්දුවාරයේ දැවී ගියේ ලකුණු 141කටය. 

 ලකුණු පුවරුව

ඇෆ්ගනිස්තානය මුල් ඉනිම පන්දුවාර 62.4කදී සියල්ල දැවී 198යි – (රහ්මට් ෂා 91, නූර් අලි සඩ්රන් 31, ඉක්රම් අලිකිල් 21, ක්වයිස් අහමඩ් 21, හස්මතුල්ලා ෂහිඩි 17, විශ්ව ප්‍රනාන්දු 51/4, අසිත ප්‍රනාන්දු 24/3, ප්‍රභාත් ජයසූරිය 67/3)

 ශ්‍රී ලංකාව පන්දුවාර 101කදී කඩුලු 6ට ලකුණු 410යි (මිනිත්තු 458යි) – (ඇන්ජලෝ මැතිව්ස් 141, දිනේෂ් චන්දිමාල් 107, දිමුත් කරුණාරත්න 77, නිශාන් මධුෂ්ක 37, සධීර සමරවික්‍රම නොදැවී 21, නවීඩ් සඩ්රන් 81/2, නිජට් මසූඩ් 59/1, කයිස් අහමඩ් 93/2යි).

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තාවෝ කල් ඇතිවම තරගාවලි ජය ලබති
    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත අන්තර්ජාතික එක්දින තරගාවලියේ පිට පිට තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා කාන්තා පිල තරගයක් ඉතිරිව […]
  • 21 න් පහළ අවසන් ගැටුම සෙබස්තියනයිට්ස් සහ මැලේ අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 21 න් පහළ ටියර් ‘බී‘ කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටන සඳහා සුදුසුකම් ලබා ගැනීමට මොරටුව සෙබස්තියනයිට්ස් සහ මැලේ […]
  • ආණ්ඩුකාර කුසලාන අවසන් පූර්ව තරග ජුනි 22 වැනිදා  
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආණ්ඩුකාර කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම වෙනුවෙන් වන අවසන් කඩඉම වන අර්ධ අවසන් තරග […]
  • ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි
    ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන […]
  • සී.සී.සී. අපරාජිතව පෙරමුණේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee