slc
logo
Home   |    News
පෙබරවාරි 12, 2024
ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් තරගාවලියත් ජය ගනී

Sri Lanka Cricket

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් පන්දු 97ක් (පන්දුවාර 16.1ක්) ඉතිරිව තිබිය දී ලකුණු 155ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ජය ද මේ වන විටත් 2 – 0කින් ජය ගත්තේ තවත් තරගයක් ද (14 වැනිදා) ඉතිරිව තිබියදීය.

 තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණේ ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 97ක් රැස් කරන අතරතුර පස්වන කඩුල්ලට ලකුණු 111ක සබඳතාවයක් ද හයවන කඩුල්ලට ලකුණු 50ක සබඳතාවයක් ද තබා ගැනීමට මුල් වූ කණ්ඩායමේ උපනායක චරිත් අසලංකය.

 26 හැවිරිදි වමත් පිතිකරු චරිත් අසලංකට මෙදින සිය සිව්වන එක්දින ශතකය පෙනෙමින් තිබියදී නොදැවී ලකුණු 97ක් ලබා සිටියදී ඉනිමේ පන්දුවාර 50 නිමවීම මත ක්‍රීඩාගාරයට පිවිසෙන විට පන්දු 74කට මුහුණ දී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් එල්ල කර තිබිණි.

 ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු හයක් දැවී රැස් කළ ලකුණු 308ට පිළිතුරු ලෙසින් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 33.5කදී සියලු පිතිකරුවන් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 153ක් පමණකි.

 ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ අවසාන කඩුලු අටම දැවී ගියේ ලකුණු 25ක් පමණක් එක්වද්දීය. දඟපන්දු යවන වනිඳු හසරංග පන්දු යැවීමට කැඳවීමෙන් පසු මුළු ලකුණු 143දී වැඩිම ලකුණු ලාභියා වූ රහ්මට් ෂා (63) දවාලීමත් සමඟ ලකුණු දහයක් තුළ කඩුලු හතක්ම බිඳ වැටිණි. මෙහිදී අනගිභවනීය පන්දු යැවීමක නිරත  වූ වනිඳු හසරංග පන්දුවාර 6.5ක් යවා ලකුණු 27ක් ලබාදී දවාලු කඩුලු සංඛ්‍යාව හතරකි. ඔහුට අනගි සහයක් දුන් වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු පන්දුවාර හයක් යවා ලකුණු 23කදී ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු යුගලම දවාලීය.

 ඇෆ්ගනිස්තානය ලකුණු 309ක ඉලක්කයක් කරා යාමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරු රාමනුල්ලා ගුර්බාස් (08) මුළු ලකුණු 31දී අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුලු රකින නායක කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක් දී දැවී ගියේය. අනෙක් ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සඩ්රන් (ලකුණු 54යි පන්දු 76යි හතරේ හයයි) සහ අංක තුන පිතිකරු රහ්මට් ෂා (ලකුණු 63යි පන්දු 69යි හතරේ හතයි) නැවත දෙවන කඩුල්ලට ලකුණු 97ක් රැස් කළ අවස්ථාවේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක්දී ඊබ්‍රහිම් සඩ්රන් දැවී යාමත් සමඟ ඔවුනගේ ඉනිමේ කඩා වැටීම ද ආරම්භ විය.

ලංකා කණ්ඩායමට මෙදින පන්දුවාර 50 අවසානයේ කඩුලු හයකට ලකුණු 308ක් රැස් කිරීමට අවස්ථාව උදා වූයේ චරිත් අසලංක මුල් කරගත් මැදපෙළ පිතිකරුවන් සිව්දෙනකුම අර්ධ ශතකයන් රැස් කිරීමෙනි.

 කණ්ඩායම් දෙක අතර සිකුරාදා (09) පැවැති ප්‍රථම එක්දින තරගයේදී පන්දුවාර 26.2කදී ලකුණු 182ක් රැස් කළ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු මෙදින මුළු ලකුණු 19දී (පැතුම් 18යි) සහ මුළු ලකුණු 36දී (අවිශ්ක 05යි) දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන එක්දින තරගයේදී (11) ලකුණු තුන්සියයේ සීමාව ඉක්මවීමට අවස්ථාව උදා වූයේ සාර්ථක වූ මැදපෙළ සබඳතා තුනකිනි.

 මේ සබඳතාවයන් තුන වූයේ තෙවන කඩුල්ලට නායක කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම රැස් කළ ලකුණු 103ත් (පන්දු 113යි – පන්දුවාර 18.5යි) පස්වන කඩුල්ලට චරිත් අසලංක සහ ජනිත් ලියනගේ ලබාගත් ලකුණු 111ත් (පන්දු 98යි – පන්දුවාර 16.2යි) සහ හයවන කඩුල්ලට චරිත් අසලංක සහ වනිඳු හසරංග රැස් කළ ලකුණු 50ත් ය. (පන්දු 31යි – පන්දුවාර 5.1යි)

 අංක පහ පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පැමිණි 26 හැවිරිදි වමත් පිතිකරු චරිත් අසලංක තම ඉනිම අඩු වේගයකින් ආරම්භ කළත් ඔහුගේ ඉනිම අග භාගය වන විට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් කරමින් පල්ලේකැලේ ක්‍රීඩාංගණය පුරා දර්ශනීය හයේ පහර සහ හතරේ පහර එල්ල කරමින් නොදැවී ලකුණු 97ක් රැස් කළේ පන්දු 74කට මුහුණ දී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමඟිනි.

  56 වන එක්දින තරගයට සහභාගි වූ චරිත් අසලංකට මෙදින සිය සිව්වන ශතකය අහිමි වූයේ අවාසනාවන්ත අයුරිනි. තරගයේ අවසාන පන්දුවාරයේ පස්වන පන්දුවට ඔහු වනිඳු හසරංග සමඟ ලකුණකට පැති මාරු කර නොගත්තේ නම් අවසාන පන්දුවේදී ඔහුට හතරේ හෝ හයේ පහරකින් ශතකය කරා යාමට ද අවස්ථාවක් තිබුණත් පුද්ගලික ලකුණු සංඛ්‍යාවට වඩා කණ්ඩායම වෙනුවෙන් ලකුණක් ලැබීමට ඔහු පැති මාරු කරගනු අයුරු දක්නට ලැබිණි.

 සිය 126 වන එක්දින තරගයට සහභාගි වූ නායක කුසල් මෙන්ඩිස් මෙදින කණ්ඩායමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 61ක් රැස් කළේ පන්දු 66කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් ද ඇතුළුවය. මෙය මෙන්ඩිස්ගේ 28 වන එක්දින අර්ධ ශතකයයි.

 අංක පහ පිතිකරු සධීර සමරවික්‍රම කණ්ඩායම වෙනුවෙන් මහඟු සේවාවක් කරමින් ලකුණු 52ක් රැස් කළේ පන්දු 61කට මුහුණ දී හතරේ පහර තුනක් ද එල්ල කර සිය හත්වන එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය ද ලබා ගනිමිනි. ජනිත් ලියනගේ ලංකා කණ්ඩායමේ හයවන පිතිකරු ලෙස ක්‍රීඩාංගණයට පිවිස තමාගේ මංගල එක්දින අර්ධ ශතකය (ලකුණු 50යි) ලබා ගත්තේ පන්දු 48කදී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් ද සමඟය. ජනිත් ලියනගේ ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට පහසුවෙන් මුහුණ දුන් ආකාරය ප්‍රශංසනීය වේ. මෙය ජනිත්ගේ සිව්වන එක්දින තරගයයි.

 ශ්‍රී ලංකා කණ්ඩායම මෙදින තරගයට ඉදිරිපත් වූයේ ආබාධයට ලක්ව සිටින වේගපන්දු යවන දුෂ්මන්ත චමීර වෙනුවට දකුණතින් වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත් කර ගනිමිනි. අසිත ඊට සාධාරණත්වයක් දැක් වුයේ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු දෙදෙනා රාමනුල්ලා ගුර්බාස් (08) සහ ඊබ්‍රහිම් සඩ්රන් (54) දවාලමිනි.

 ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙන අවස්ථාවේ මුළු ලකුණු 50 පන්දුවාර 12.4දීත් ලකුණු 100 පන්දුවාර 20.5දීත් ලකුණු 150 පන්දුවාර 30.1දීත් ලකුණු 200 පන්දුවාර 39.2දීත් ලකුණු 250 පන්දුවාර 43දීත් ලකුණු 300 පන්දුවාර 49.3දීත් ලැබීය.

 එලෙසම පළමු පවර් ප්ලේ (පන්දුවාර 1 සිට දහය දක්වා කඩුලු දෙකක් දැවී ලකුණු 40ක් ද) දෙවන පවර් ප්ලේ (පන්දුවාර 10.1 සිට 40 දක්වා තවත් කඩුලු දෙකක් දැවී ලකුණු 172ක් ද) තෙවන පවර් ප්ලේ (පන්දුවාර 40.1 සිට 50 දක්වා තවත් කඩුලු දෙකක් දැවී ලකුණු 96ක්) ලබා ගනිමින් ද වාර්තා කිරීමට සමත් විය.

 ඇෆ්ගනිස්තාන පන්දු රැකීම මෙදින දුර්වල තත්ත්වයක පැවැති අතර ඔවුන් අතින් ගිළිහී ගිය උඩපන්දු සංඛ්‍යාව පහකි. මෙයින් උඩපන්දු තුනක්ම ගිළිහී ගියේ ෆසලාක් ෆාරුක්ගේ පන්දු යැවීම හමුවේය.

 ලංකා කණ්ඩායම මුළු ලකුණු 19ක් ලබා සිටියදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, අස්මතුල්ලා ඔමාර් සායිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 18කටය. (පන්දු 17යි හතරේ තුනයි) මුළු ලකුණු 36දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ලකුණු පහකට දැවී ගියේ ෆසලාක් ෆාරුක්ගේ පන්දුවකට ගුල්බඩින් නයිබ්ට උඩපන්දුවක් දීමෙනි. අවිශ්ක මෙදින පන්දු 23කට මුහුණ දී තිබිණි.

 කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම තෙවන කඩුල්ලට ලකුණු 103ක් රැස් කළ අවස්ථාවේ සධීර මුළු ලකුණු 139දී ලකුණු 52කට (පන්දු 61යි හතරේ තුනයි) දැවී ගියේ කයිස් අහමඩ්ගේ පන්දුවකට මොහමඩ් නබීට උඩපන්දුවක් දීමෙන්ය.

 ඊට පන්දු හතකට පසුව සිව්වන කඩුල්ලට කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු අටක් පමණක් එක් කරද්දී කුසල් මෙන්ඩිස් මුළු ලකුණු 147දී ලකුණු 61කට (පන්දු 65යි හතරේ හයයි හයේ පහරයි) දැවී ගියේ ඔමාර් සායිගේ පන්දුවකට රාමනුල්ලාට උඩපන්දුවක් දෙමිනි.

 අසලංක සහ ජනිත් ලියනගේ පස්වන කඩුල්ලට ලකුණු 111ක් රැස් කළ අවස්ථාවේ මුළු ලකුණු 258දී ජනිත් ලියනගේ සිය ප්‍රථම අර්ධ ශතකය ලෙස ලකුණු 50කට දැවී ගියේ නූර් අහ්මඩ්ගේ පන්දුවකට රහ්මට් ෂාට උඩපන්දුවක් දීමෙනි. ජනිත් පන්දු 48කදී හතරේ දෙකක් සහ හයේ දෙකක් ද ලැබීය. ඉනිමේ අවසාන  පන්දුවේදී වනිඳු හසරංග ලකුණු 14කට (පන්දු 13යි හතරේ දෙකයි) දැවී ගියේ අස්ම තුල්ලාගේ පන්දුවකට ඊබ්‍රහිම් සඩ්රන් උඩපන්දුව රැක ගැනීමෙනි.

 ලකුණු පුවරුව 

 ශ්‍රී ලංකාව කඩුලු 6ට 308යි (පන්දුවාර 50යි) – (චරිත් අසලංක නොදැවී 97, කුසල් මෙන්ඩිස් 61, සධීර සමරවික්‍රම 52, ජනිත් ලියනගේ 50, පැතුම් නිශ්ශංක 18, වනිඳු හසරංග 14, අස්මතුල්ලා ඔමාර් සායි 56/3යි, ෆසලාක් ෆාරුක් 55/1, නූර් අහ්මඩ් 54/1, කයිස් අහමඩ් 55/1යි)

 ඇෆ්ගනිස්තානය පන්දුවාර 33.5කදී සියල්ල දැවී 153යි – (රාහ්මට් ෂා 63, ඊබ්‍රහිම් සඩ්රන් 54, හස්මතුල්ලා ෂහිඩි 09, රාමනුල්ලා ගුර්බාස් 08, වනිඳු හසරංග 27/4, අසිත ප්‍රනාන්දු 23/2, දිල්ෂාන් මධුශංක 28/2, ප්‍රමෝද් මධුෂාන් 37/1)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee