පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකිබ් ජාවෙඩ් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මේ වසරේ ජුනි මස බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ අමෙරිකාවේ පැවැත්වෙන මීළඟ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය නිම වන තෙක් ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.
ජාවෙඩ් එක්දින තරග 163කට සහ ටෙස්ට් ක්‍රිකට් තරග 22කට සහභාගි වී කඩුලු 236ක් දවාලමින් ජාත්‍යන්තර මට්ටමෙන් දස්කම් දක්වා ඇති ක්‍රීඩකයෙකි. 1992 ලෝක කුසලාන දිනු පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වූ මොහු පසුව ජාතික කණ්ඩායම් කිහිපයකම විවිධ පුහුණුකරු තනතුරු ද දරා තිබේ.
එම කාර්යයන් අතර පාකිස්තාන ජාතික කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඇෆ්ගනිස්තානයේ සංවර්ධන ජාතික පුහුණුකරු තනතුරු ද වේ.
ඔහු පුහුණුකරු ලෙස ක්‍රියා කරන අවධියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්දින සහ විස්සයි 20 සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ සාමාජිකත්වය ලබා 2015 ලෝක කුසලාන තරගාවලියටත් 2014 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියටත් සුදුසුකම් ලැබීය.
2004 වසරේ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන දිනු පාකිස්තාන කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු වූ මොහු පාකිස්තාන ජාතික කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නා ලෙස ද පසුව 2009 එංගලන්තයේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සූරතාව දිනු පාකිස්තාන කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ද විය.
පාකිස්තාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලාහෝර ක්වාලැන්ඩර්ස් කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු ලෙස ද මොහු මේ වන විට ක්‍රියා කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියන් හිදී ජාවෙඩ් ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු ලෙස ලබා සිටින ජාත්‍යන්තර අත්දැකීම්, ඉදිරියේ පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ දී අපගේ වේගපන්දු යවන්නන්ගේ සාර්ථකත්වයට බෙහෙවින් දායක වනු ඇතැයි අපේක්ෂා කරන හෙයින් ඔහුගේ පැමිණීම සාදරයෙන් පිළිගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කරයි.