slc
logo
Home   |    News
මාර්තු 30, 2024
කුසල්, දිමුත් සහ නිශාන් අර්ධ ශතක රැස් කරති. ශ්‍රී ලංකාව 314/4යි

Sri Lanka Cricket

බංග්ලාදේශයේ චිතගොං නගරයේදී අද (30) ආරම්භ වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයක පසු වුයේ කඩුලු හතරකට ලකුණු 314ක් රැස් කර ගනිමිනි.

 ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම දින තරගය නිම වන විට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදා වුයේ උපනායක කුසල් මෙන්ඩිස් (93) සහ ආරම්භක පිතිකරුවන් දෙදෙනා දිමුත් කරුණාරත්න (86) නිශාන් මධුෂ්ක (57) රැස් කළ අගනා අර්ධ ශතක මතය.

 ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම සහ දෙවන ඉනිම් දෙකේදී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතක දෙක රැස් කළ නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ද අද (30) හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් ද (නොදැවී 34) මේ තරගයේ ප්‍රථම ඉනිමට පන්දුවට පහරදීමට තවමත් ඉතිරිව සිටී. එසේ හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය මුල් ඉනිමේදී ලකුණු 500ක් වැනි සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාවක් උදා වන්නේ නම් මේ ටෙස්ට් තරගය ද ශ්‍රී ලංකාවට පහසුවෙන් වාසිදායක තත්ත්වයක් ලෙස නිර්මාණය කර ගැනීමට අවස්ථාව උදාවනු නිසැකය.

 දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේ මේ වන විට සාර්ථක වීමට සාර්ථක සබඳතා තුනක්ම බලපෑ අතර දිනය නිම වන විට නායක ධනංජය ද සිල්වා සහ හිටපු නායක දිනේෂ් චන්දිමාල් අතර ද තවත් සබඳතාවයක් ගොඩ නැගෙමින් පැවැතිණි.

කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය. ලංකා කණ්ඩායම මේ තරගයට එක් වෙනස්කමක් පමණක් සිදු කළේ ආබාධයට ලක් වූ වේගපන්දු යවන කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු එක්කර ගැනීමෙනි.

 බංග්ලාදේශ ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා කලිඩ් අහ්මඩ් සහ හසන් මහ්මුඩ් පළමු පැය ඇතුළත පන්දුව හොඳින් දෝලනය කළේ ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාට තර්ජනාත්මක වන අයුරිනි. නිශාන් මධුෂ්ක හොඳින් ලකුණු අතරට පිවිසීමට පෙර දෙවන ස්ලිප් ක්‍රීඩක මහ්මඩුල්ලා ජෝයි පහසුවෙන් ගත හැකි උඩපන්දු දෙකකින්ම ප්‍රයෝජන අත්කර ගත්තේ නොගත්තේය. වරක් ඔහුට අඩියක් ඉදිරියෙන් වැටුණු උඩපන්දුවත් පසුව ඔහු අතටම පැමිණි උඩපන්දුවත් ජෝයි වෙතින් ගිළිහිණි. දිමුත් කරුණාරත්න ද ලකුණක් කරා දුවයද්දී තම සීමාව වෙත ඒමට අඩි 3 – 4ක් තිබියදී මෙහෙඩි හසන් කඩුල්ල වෙතට විසි කළ පන්දුව එහි නොදැවැටීමෙන් දිමුත් ද දැවී නොගියේ වාසනාවන්ත අයුරිනි.

 පසුව ශ්‍රී ලංකාව මුළු ලකුණු 50 පන්දු 83කදීත් නිශාන් මධුෂ්ක සිය අර්ධ ශතකය (ලකුණු 50) පන්දු 80කදීත් වාර්තා කිරීමට සමත් විණි.

 දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී ලකුණු 88ක් ලබා (ඕවර 27) ප්‍රබල තත්ත්වයක පසු වූවේය. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දිවා ආහාරය වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 55ක් ද (පන්දු 97යි හතරේ හයයි) දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 33ක් ද (පන්දු 65යි හතරේ තුනයි) රැස් කර ගනිමිනි.

 දිවා ආහාරයේ සිට සවස තේ විවේකය තෙක් කාලය තුළ ලංකා කණ්ඩායම පිතිකරුවන් දෙදෙනකු දැවී එක් කළ ලකුණු සංඛ්‍යාව 126කි.

 දිවා ආහාරයෙන් පසුව දෙවන ඕවරයේ පස්වන පන්දුවේදී නිශාන් මධුෂ්ක නොතිබු ලකුණක් කරා යාමට උත්සාහ දරද්දී මුළු ලකුණු 96දී ප්‍රථම කඩුල්ල ලෙස ලකුණු 57කට දැවී යන විට පන්දු 105කට මුහුණ දී හතරේ පහර පහක් ද එල්ල කර තිබිණි.

 දෙවන කඩුල්ලට දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ඕවර 26.2කදී වේගවත් ලකුණු 120ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ වේගය වැඩි කිරීමට පියවර ගත්හ. 

 මුළු ලකුණු 216දී අනෙක් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න, සිය ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගි වන වේගපන්දු යවන හසන් මහ්මුඩ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් ලකුණු 86කට දැවී ගියේ සිය 17වන ටෙස්ට් ශතකය අභියසව සිටි අවස්ථාවේ අවාසනාවන්ත අයුරිනි. දිමුත් මෙදින හතරේ පහර අටක් සහ හයේ පහරක් ද එල්ල කළේය. දිමුත් මෙදින රැස් කළේ සිය 37වන අර්ධ ශතකයයි.

 සවස තේ විවේකය වන විට ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 214ක් (ඕවර 58) ලබා පසු වුයේ ප්‍රබල තත්ත්වයකය. ඒ වන විට කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 65ක් ද (පන්දු 105යි හතරේ හතයි හයේ එකයි) ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණක් ද (පන්දු නවයයි) ලබා සිටියහ.

 සවස තේ පානයෙන් පසුව මුළු ලකුණු 263දී ලංකා කණ්ඩායමේ තෙවන කඩුල්ල ලෙස උපනායක කුසල් මෙන්ඩිස් ශතකය පෙනි පෙනී සිටියදී ලකුණු 93කට දැවී ගියේ ෂකිබ් අල් හසන්ගේ පන්දුවකට මෙහෙඩි හසන් මිරාෂ් උඩපන්දුවක් රැක ගැනීමෙනි. කුසල් ලකුණු 93ක් රැස් කළේ පන්දු 150කදී හතරේ 11ක් සහ හයේ පහරක් ද සමඟය. මෙය කුසල්ගේ 18 වන අර්ධ ශතකයයි.

නායක ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් පස්වන කඩුල්ලට ප්‍රථම දින නිම වන විට නොදැවී ලකුණු 25ක සබඳතාවයක් (ඕවර නවයකදී) තබා ගෙන සිටියහ.

 මෙහිදී චන්දිමාල් පන්දු 58කදී හතරේ දෙකක් හයේ දෙකක් සමඟ නොදැවී ලකුණු 34ක් ද ධනංජය ද සිල්වා පන්දු 27කදී හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 15ක් ද රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

 ලකුණු පුවරුව

 ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 4ට 314 (ඕවර 90)

 (කුසල් මෙන්ඩිස් 93, දිමුත් කරුණාරත්න 86, නිශාන් මධුෂ්ක 57, දිනේෂ් චන්දිමාල් නොදැවී 34, ඇන්ජලෝ මැතිව්ස් 23, ධනංජය ද සිල්වා නොදැවී 15, හසන් මහ්මුඩ් 64/2, ෂකිබ් අල් හසන් 60/1යි)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • සිංහ – කිවි ප්‍රවේශපත්‍ර ගන්න මේ විදිහට කරන්න
    නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 සහ එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා […]
  • නාවික හමුදාවෙන් අර්ධ ශතක 3 ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අද (04) වැලිසර දී පැවැති නාවික හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගයෙන් නාවික හමුදාව […]
  • ජාතික කණ්ඩායම්වලට උත්සව ඇඳුම් ‘සිග්නේචර්‘ වෙතින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සව සහ සාමාන්‍ය අවස්ථාවල නිල ඇඳුම් සපයන්නා ලෙසින් මෙරට පිරිමි ඇඳුම් වෙළෙඳ ලකුණක් වන හමීඩියා සමූහ ව්‍යාපාරයේ සිග්නේචර් (Signature) සන්නාමය ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වය අතර […]
  • වසර 17කට පසු ශ්‍රී ලංකා පිල හොංකොං සික්සස් ශූරතාව දිනයි
    වසර 17කට පසු හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ළහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය […]
  • ශ්‍රී ලංකාව හොංකොං සික්සස් අවසන් වටයට
    හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අද (2)පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (3) පැවැත්වෙන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව හෙට දෙවැනි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee