slc
logo
Home   |    News
මාර්තු 10, 2024
කුසල් සහ තුෂාර අවසාන තරගයේ සහ තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ගෙන දෙති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා වේගපන්දු යවන නුවන් තුෂාර (ලකුණු 20ට කඩුලු පහයි) සහ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් (86) තෙවන විස්සයි 20 තරගයේදී දැක් වූ විශිෂ්ට දක්ෂතා මුල්කර ගනිමින් ශ්‍රී ලංකාව අද (09) සිලෙට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශය ලකුණු 28කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ජයග්‍රහණය ද 2 – 1ක් ලෙස හිමිකර ගත්තේය.

දකුණතින් වේගපන්දු යවන නුවන් තුෂාර සිය පන්දුවාර හතර තුළදී හැට්රික් (පිට පිටම කඩුලු තුනක් පන්දු තුනකදී දවාලීම) එකක් සමඟ ලකුණු විස්සකට කඩුලු පහක් දවාලීමෙන් ද කුසල් මෙන්ඩිස් පන්දු 55කදී හතරේ හතරක් සහ හයේ පහර හයක් ද සමඟින් ලකුණු 86ක් රැස් කරමින් ද උපරිමයෙන් ලංකා ජයග්‍රහණයට දායකත්වය දැක්වීය. මෙය කුසල් මෙන්ඩිස්ගේ වැඩිම විස්සයි 20 ලකුණු සංඛ්‍යාවයි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුසල් මෙන්ඩිස් ද තෙවන තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නුවන් තුෂාර ද නම් කැරිණි. අනුරාධපුර තලාව මැදි විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස පසුව ඇල්පිටිය මැදි විදුහලේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම නියෝජනය කරමින් ජාතික මට්ටමට පිවිසි 29 හැවිරිදි නුවන් තුෂාර කලක් ලොව ප්‍රසිද්ධව සිටි ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලසිත් මාලිංග අනුගමනය කරමින් අත හරහට කරකවමින් වේග පන්දු යැවීමට දක්ෂයකු ලෙස ප්‍රචලිතය. නුවන් තුෂාර කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී) නියෝජනය කරයි.

පිට පිටම කඩුලු තුනක් (හැට්රික්) දවාලු ශ්‍රී ලංකාවේ පස්වන පන්දු යවන්නා ලෙස නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වේ. නුවන් තුෂාරව අද (09) නායක වනිඳු හසරංග පන්දු යැවීමට කැඳවුයේ තරගයේ සිව්වන ඕවරයේදීය. ඔහු යැවු ප්‍රථම ඕවරයේ (තරගයේ හතර) දෙවන පන්දුවට (ඕවර 3.2) නායක නජිමුල් හොසේන් ෂැන්ටෝ ද (මුළු ලකුණු 15ට කඩුලු 2යි) එම ඕවරයේ තෙවන පන්දුවට (ඕවර 3.3) ටව්හිඩ් හ්‍රිඩෝයි ද (මුළු ලකුණු 15ට කඩුලු 3යි) එම ඕවරයේ සිව්වන පන්දුවට මහ්මඩුල්ලා ද (මුළු ලකුණු 15ට කඩුලු 4යි) දවාලුවේ බංග්ලාදේශයේ ඉදිරිපෙළ දක්ෂතම පිතිකරුවන් තිදෙනා සමඟ ඔවුනගේ පිතිකරණයේ කොඳුනාරටිය බිඳ දමමිනි.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ රැස් කළ ලකුණු 174 හඹායාමේදී පන්දුවාර 8.1ක් වන විට බංග්ලාදේශය ලකුණු 32කට කඩුලු හයක් දැවී යාමෙන් ජයග්‍රහණ අපේක්ෂාවන් ඔවුන් වෙතින් ගිළිහෙමින් පැවැතිණි.

මුල්පෙළ පිතිකරුවන් ලිට්න් දාස් (07) සෞම්‍ය සාකර් (11) නායක නජිමුල් හොසේන් ෂැන්ටෝ (01) ටව්හිඩ් හිඩ්‍රෝයි (00) මහ්මඩුල්ලා (00) ජේකර් අලි  (00) බංග්ලාදේශ ඉදිරිපෙළ පිතිකරුවන් හයදෙනාම අඩුම සංඛ්‍යාවන්ට දැවී යද්දී අගපෙළ පිතිකරුවන් වන අංක 8 පිතිකරු රිෂඩ් හොසේන් (53) අංක නවය පිතිකරු ටස්කින් අහමඩ් (31) සහ අංක හත පිතිකරු මෙහඩි හසන් (19) වේග පහර කිහිපයක්ම එල්ල කිරීමෙන් ඔවුනට පන්දුවාර 19.4ක් වන විට සියලු ක්‍රීඩකයන් දැවී 146ක සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදා විණි.

එහෙත් ඔවුනට තරගය ජය ගන්නා සේයාවකට ඒමට අවස්ථාව නොසැළසිණි.

මේ තරගයට කණ්ඩායම නම් කිරීමේදී ශ්‍රී ලංකාව වෙනස්කම් තුනක් සිදුකර තිබිණි. නායක වනිඳු හසරංග නැවත කණ්ඩායමට එක් වී කණ්ඩායම මෙහෙයවීය. දෙවන තරගයට සහභාගි වූ ආබාධයට ළක් වූ මතීෂ පතිරණ වෙනුවට නුවන් තුෂාර ද ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට ධනංජය ද සිල්වා ද ළහිරු මධුශංක වෙනුවට නායක වනිඳු හසරංග ද කණ්ඩායමට එක්වීය.

මේ තරගාවලියේ පිට පිටම තෙවන වතාවටත් ශ්‍රී ලංකාවට කාසියේ වාසිය අහිමිව බංග්ලාදේශය විසින් නැවත වරක් ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ඇරයුම් කරන ලදී.

ශ්‍රී ලංකාව පන්දුවාර 7.2කදී ලකුණු 50ක් ද පන්දුවාර 11.5කදී ලකුණු 100ක් ද පන්දුවාර 17.4කදී ලකුණු 150 ඉක්මවීය. බංග්ලාදේශය ඔවුනගේ පවර්ප්ලේ (පන්දුවාර හය) නිම වන විට ලකුණු 25කට කඩුලු පහක් දැවී පත්ව සිටියේ අසීරුම තත්ත්වයකටය.

මීළඟ ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගි වූ අවසාන ජාත්‍යන්තර විස්සයි 20 තරගාවලිය මෙය වන අතර පසුගියදා සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය සහ මෙවර බංග්ලාදේශය සමඟත් ලංකා කණ්ඩායම පෙන්වා ඇති දක්ෂතා කදිම පෙරහුරුවක් වේ.

බංග්ලාදේශ – ශ්‍රී ලංකා විස්සයි 20 තරගාවලියේදී ලකුණු 180ක් රැස් කර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු කුසල් මෙන්ඩිස් අද (09) තරගයේදී ද ලංකා කණ්ඩායමේ ප්‍රධාන භූමිකාව රඟදැක් වූයේ පන්දු 55ක් තුළ දැවැන්ත හයේ පහර හයක් හතරේ පහර හයක් සමඟ ලකුණු 86ක් රැස් කරමිනි. ඔහුට ශතකය අහිමි වූයේ අවාසනාවන්ත අයුරිනි.

මෙදින ශ්‍රී ලංකා ඉනිමම රැඳී පැවැතියේ කුසල් මෙන්ඩිස්ගේ ඉනිම වටාය. ප්‍රථම හා දෙවන තරග දෙකට සහභාගි වූ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට ධනංජය ද සිල්වා ආරම්භක පිතිකරු ලෙස මෙදින තරගයට එක් විය. ධනංජය මුළු ලකුණු 18දී ලකුණු 08කට (පන්දු 12යි හතරේ පහරයි) දැවී යාමෙන් පසු දෙවන කඩුල්ලට කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් (ලකුණු 12යි පන්දු 12යි හතරේ දෙකයි) ලකුණු 34ක සබඳතාවයක් පැවැත්වීය.

වනිඳු හසරංග අංක හතර පිතිකරු ලෙස පිටියට පිවිස තෙවන කඩුල්ලට කුසල් මෙන්ඩිස් සමඟ ලකුණු 59ක සබඳතාවයක් රැස් කළේ පන්දු 31ක් තුළ වේගයකිනි. වනිඳු මුළු ලකුණු 111දී තෙවන කඩුල්ල ලෙස දැවී යන විට  ලකුණු 15ක් ලබා සිටියේ පන්දු 13කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟය.

ලංකා සිව්වන කඩුල්ලට කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක එක් කළේ ලකුණු 22කි. චරිත් අසලංක ලකුණු තුනක් පමණක් ලබා සිටියදී මුළු ලකුණු 133දී සොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට මුස්ටාෆිසුර් අහමඩ්ට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය.

ශ්‍රී ලංකා පස්වන කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් මුළු ලකුණු 140දී ලකුණු 86කට දැවී ගියේ ටස්කින් අහමඩ්ගේ පන්දුවකට සෞම්‍ය සාකර්ට උඩපන්දුවක් දීමෙනි.

පසුව ඇන්ජලෝ මැතිව්ස් ලකුණු දහයකටත් (පන්දු හතයි හයේ පහරයි) දසුන් ශානක ඉනිමේ අවසාන පන්දුවේදී ලකුණු 19කටත් (පන්දු නවයයි හතරේ දෙකයි හයේ පහරයි) දැවී ගියහ. වෙනදා අංක හතර පිතිකරු ලෙස පැමිණෙන සධීර සමරවික්‍රම මෙදින අංක අට පිතිකරු ලෙස පැමිණ පන්දු හතකදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු හතක් ලබා සිටියේය.

ලකුණු පුවරුව

 ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු 7ට 174යි – (කුසල් මෙන්ඩිස් 86, දසුන් ශානක 19, වනිඳු හසරංග 15, ටස්කින් අහමඩ් 25/2, රිෂාඩ් හොසේන් 35/2)

බංග්ලාදේශය පන්දුවාර 19.4කදී සියල්ල දැවී 146යි – (රිෂාඩ් හොසේන් 53, ටස්කින් අහමඩ් 31, මෙහඩි හසන් 19, නුවන් තුෂාර 20/5, වනිඳු හසරංග 32/2, ධනංජය ද සිල්වා 2/1, මහීෂ් තීක්ෂණ 35/1, දසුන් ශානක 11/1යි)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest