slc
logo
Home   |    News
මාර්තු 23, 2024
ධනංජය සහ කමිඳු ශතක රැස් කරති. ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයක

Sri Lanka Cricket

බංග්ලාදේශයේ සිලෙට් ක්‍රීඩාංගණයේ අද (22) ආරම්භ වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා (102) සහ කමිඳු මෙන්ඩිස් (102) ශතක රැස් කිරීමට සමත් විණි.

 ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිමේදී ලකුණු 280ක් රැස් කිරීමෙන් පසුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායම පැමිණි අවස්ථාවේ  ප්‍රබලම පිතිකරුවන් තිදෙනකුම ලකුණු 32කට (ඕවර 10යි) දවාලීමෙන් තරගය නිම වන විට ලංකා කණ්ඩායම පසු වුයේ ප්‍රථම දින තරගයේ වාසිය තමන් වෙත නතු කර ගනිමිනි.

 දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නා විශ්ව ප්‍රනාන්දු ඕවර පහක් යවා ලකුණු නවයකට කඩුලු දෙකක් දවාලීමට සමත් විණි.

 බංග්ලාදේශය මේ වන විට ප්‍රථම ඉනිමේදී කඩුලු හතක් ඉතිරිව ලකුණු 248ක් පිටු පසින් සිටින අතර ඉන් ඔවුනගේ පිතිකරුවන් දෙදෙනකුම සිටින්නේ පන්දුව අතේ වැදීමෙන් ආබාධයට ලක්ව අපහසු තත්ත්වයකය.

 ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදෙද්දී මුළු ලකුණු 57ක් වන විට නිශාන් මධුෂ්ක (02) දිමුත් කරුණාරත්න (17) කුසල් මෙන්ඩිස් (16) ඇන්ජලෝ මැතිව්ස් (05) සහ දිනේෂ් චන්දිමාල් (09) යන පිතිකරුවන් පස්දෙනකුම දැවී පත්ව සිටියේ අසීරු තත්ත්වයකටය. එහෙත් සයවන කඩුල්ලට නායක ධනංජය ද සිල්වා (ලකුණු 102යි පන්දු 131යි හතරේ 12යි හයේ පහරයි) සහ කමිඳු මෙන්ඩිස් (ලකුණු 102යි පන්දු 127යි හතරේ 11යි හයේ තුනයි) ඕවර 40.1කදී ලකුණු 202ක සබඳතාවයක් පැවැත් වීමෙන් පසු ලංකා කණ්ඩායම ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වෙමින් ලකුණු 400ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යන ලකුණු පහළ කරමිනි.

 කමිඳු මෙන්ඩිස් මුළු ලකුණු 259දී හයවන කඩුල්ල ලෙස දැවීයාමත් සමඟ ශ්‍රී ලංකා අවසාන කඩුලු පහ බිඳවැටුණේ ලකුණු 21ක් පමණක් එක්වද්දීය.

 25 හැවිරිදි වමතින් පිත්ත හසුරු වන කමිඳු මෙන්ඩිස් සහභාගි වන දෙවන ටෙස්ට් තරගය මෙය වන අතර මෙය ඔහුගේ මංගල ටෙස්ට් ශතකය ද වේ. 32 හැවිරිදි ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සහභාගි වන 52 වන ටෙස්ට් තරගය මෙය වන අතර මෙදින ඔහු ශතකයක් ලැබුවේ 11 වන වතාවටය.

 ලංකා කණ්ඩායම ලකුණු 280කට දැවී ගිය පසු බංග්ලාදේශය පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ප්‍රබල පන්දු යැවීමක නිරත වූ වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු ආරම්භක පිතිකරු සකීර් හසන් ලකුණු නවයකටත් අංක තුන පිතිකරු නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ලකුණු පහකටත් දවාලුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමෙනි.

 මොමිමුල් හක් ලකුණු පහකට දවාලීමට අනෙක් වේගපන්දු යවන්නා වන කසුන් රාජිත මෙහිදී සමත් විය.

කාසියේ වාසිය හිමිකර ගත් බංග්ලාදේශය තීරණය කළේ සිලෙට් තණතිල්ලේ මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා කණ්ඩායමට පැවරීමටය. උදෑසන තරගය ආරම්භයේ සිට පැයක පමණ කාලය තුළ පන්දුව දෝලනය වීම තදින්ම බලපෑ අතර ශ්‍රී ලංකා පිතිකරුවනට බංග්ලාදේශ වේගපන්දු යවන්නන්ට මුහුණදීමට සිදු වූයේ බලවත් අසීරුතාවයකිනි. මෙහිදී ශ්‍රී ලංකා පිතිකරුවනට වඩාත්ම තර්ජනයක් එල්ල වූයේ දකුණතින් වේගපන්දු යවන 21 හැවිරිදි කලිඩ් අහමඩ්ගේ පන්දුවලට මුහුණදීමය.

 ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු තුනක් ලබා සිටියදී කලිඩ් අහමඩ්ගේ පන්දුවකට ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක වේග පහරක් එල්ල කිරීමට උත්සාහ ගනිද්දී ස්ලිප් ක්‍රීඩක මෙහෙඩි හසන් උඩපන්දුවක් රැක ගැනීමෙන් මධුෂ්ක ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු දෙකකටය. 

 පළපුරුදු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ලකුණු 37ක් රැස්කර මුළු ලකුණු 40දී කුසල් මෙන්ඩිස්, කලිඩ් අහමඩ්ගේ පන්දුවකට සකිර් හසන්ට උඩපන්දුවක් දී දැවී ගියේ ලකුණු 16කටය. (පන්දු 26යි හතරේ දෙකයි)

 ලංකා ලකුණු පුවරුවේ ලකුණු 40 සිට 57 දක්වා ලකුණු 17ක් තුළ පිතිකරුවන් සිව්දෙනකුම දැවී යාමෙන් ලංකා කණ්ඩායම අසීරුම තත්ත්වයකට පත්වූයේ ලකුණු 57කට කඩුලු පහක් ලෙසිනි. එහිදී දැවී ගිය පිතිකරුවන් වූයේ කුසල් මෙන්ඩිස් (16) දිමුත් කරුණාරත්න (17) ඇන්ජලෝ මැතිව්ස් (05) සහ දිනේෂ් චන්දිමාල්ය (09)

 මුළු ලකුණු 41ක්ව තිබියදී දිමුත් කරුණාරත්න දැවී ගියේ කලිඩ් අහමඩ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී ලකුණු 17කටය. දිමුත් පන්දු 37කට මුහුණදී හතරේ පහරක් සමඟ ලකුණු 17ක් ලබා සිටියේය. මුළු ලකුණු 41ක් ප්‍රධාන ලකුණු පුවරුවේ සඳහන් වෙද්දී සිව්වන කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවීමට හසුව ලකුණු පහකට දැවී ගියේය.

 ලංකා කණ්ඩායම ලකුණු 57ක් ලබා සිටියදී පස්වන කඩුල්ල ද බිඳ වැටුණේ (පන්දුවාර 16.2දී) දිනේෂ් චන්දිමාල් වේගපන්දු යවන සොරිෆුල් අහමඩ්ගේ පන්දුවකට මෙහෙඩි හසන් උඩපන්දුවක් රැක ගැනීමෙන් ලකුණු නවයකට (පන්දු 13යි) දැවීයාමෙනි.

 දිවා ආහාරය වන විට ලංකා කණ්ඩායම පන්දුවාර 22කදී කඩුලු පහකට ලකුණු 92ක් ලබා සිටි අතර කණ්ඩායම නැවත ගොඩ ගැනීමේ මහඟු කාර්යයට උරදෙමින් සිටි නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 25ක් ද (පන්දු 24යි හතරේ හතරයි) කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 11ක් ද (පන්දු 19යි හතරේ පහරයි) ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

 දිවා ආහාරයේ සිට සවස තේ විවේකය තෙක් මේ පිතිකරුවන් දෙදෙනා මුළු ලකුණු 92 සිට 217ක්  දක්වා ලකුණු 125ක් එක් කරමින් තේ විවේකය වන විට කඩුලු පහකට ලකුණු 217 වන සේ ලකුණු පුවරුව ඉහළ නැංවුයේ දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් ඉනිම ගොඩ ගනිමිනි. තේ විවේකය වන විට ශ්‍රී ලංකාව කඩුලු පහකට ලකුණු 217ක් (ඕවර 49යි) ලබා සිටි අතර ඒ වන විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 83ක් ද (පන්දු 108යි හතරේ නවයයි හයේ පහරයි) කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 75ක් ද(පන්දු 99යි හතරේ නවයයි හයේ දෙකයි) ලබා සිටියහ.

 නැවත තරගය ආරම්භ වීමෙන් පසු හත්වන ඕවරයේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 102කට නවවන ඕවරයේදී නායක ධනංජය ද සිල්වා ලකුණු 102කටත් දැවී යාමෙන් අනතුරුව ලංකා කණ්ඩායමේ බිඳ වැටීම නැවත ඇරැඹිණි. මේ කඩුලු දෙකම දවාලුවේ ප්‍රථම වරට ටෙස්ට් තරගයකට සහභාගි වන නහිඩ් රානාය.

 තේ පානය පසු මුළු ලකුණු 259දී කමිඳු මෙන්ඩිස් නහිඩ් රානාගේ පන්දුවකට ලිට්න් දාස්ට උඩපන්දුවක් දී හයවන කඩුල්ල ලෙස දැවී ගියේ පන්දු 127කදී හතරේ 11ක් සහ හයේ තුනක් සමඟ ලකුණු 102ක් ලබා සිටියදීය. මෙන්ඩිස් දැවී ගියේ රානා එවු එම ඕවරයේ දෙවන පන්දුවට ශතකය ලබා ඊළඟ පන්දුවේදීය. 

 මුළු ලකුණු සංඛ්‍යාවට තව ලකුණු පහක් පමණක් එක්වද්දී රානාගේ ඊළඟ ඕවරයේ සිව්වන පන්දුවට නායක ධනංජය ද සිල්වා හයේ පහරක් එල්ල කිරීමට උත්සාහ දැරීමේදී මෙහෙඩි හසන් උඩපන්දුවක් රැකීමෙන් හත්වන කඩුල්ල ලෙස මුළු ලකුණු 264දී දැවී ගියේය. ධනංජය ද සිල්වා ලකුණු 102ක් රැස් කළේ පන්දු 131කදී හතරේ 12ක් සහ හයේ පහරක් සමඟය.

 ලකුණු සංඛ්‍යාව 264 සිට අවසාන පිතිකරුවන් සිව්දෙනාම දැවී ගියේ තවත් ලකුණු 16ක් පමණක් එක් වද්දීය. ප්‍රභාත් ජයසූරිය (01) කසුන් රාජිත (නොදැවී 06) විශ්ව ප්‍රනාන්දු (09) ළහිරු කුමාර (00) අගපෙළ පිතිකරුවනට ලකුණු අතරට ඒමට අවස්ථාවක් නොලැබිණි.

 ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම සියල්ල දැවී 280 (ඕවර 68යි)

(ධනංජය ද සිල්වා 102, කමිඳු මෙන්ඩිස් 102, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 16, කලිඩ් අහමඩ් 72/3, නහිඩ් රානා 87/3යි).

බංග්ලාදේශය ප්‍රථම ඉනිම කඩුලු 3ට 32යි (ඕවර 10යි)

 (මහුමඩුල්ලා හසන් ජෝයි නොදැවී 09, විශ්ව ප්‍රනාන්දු 9/2, කසුන් රාජිත 20/1යි).

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee