සිව්වන කඩුල්ලට පැතුම් නිශ්ශංක (114) සහ චරිත් අසලංක (91) ලකුණු 185ක වාර්තාගත සබඳතාවයත් වනිඳු හසරංග (45/4 යි සහ ලකුණු 25යි) තුන් ඉරියව්වේ දැක් වූ දක්ෂතාවයත් මුල්කර ගනිමින් දෙවැනි ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගයෙන් කඩුලු තුනකින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1 – 1 බැගින් සම කර ගැනීමට ද සමත් විණි.
තීරණාත්මක තුන්වන සහ අවසාන එක්දින තරගය සඳුදා (18) මේ ක්‍රීඩාංගණයේදීම දිවා කාලයේ තරගයක් ලෙස උදෑසන 9ට ආරම්භවීමට නියමිතය.
චිතගොං ක්‍රීඩාංගණයේ දෙවන එක්දින තරගයේදී බංග්ලාදේශය අද (15) මුලින් පන්දුවට පහර දෙමින් ඕවර 50 අවසානයේ කඩුලු හතකට රැස් කළ ලකුණු 286 හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 47.1ක් අවසානයේ කඩුලු හතකට ලකුණු 287ක් රැස් කරමින් තරගය ජය ගනු ලැබුවේ කඩුලු තුනක් සහ පන්දු 17ක් ද ඉතිරිව තිබියදීය.
ලංකා කණ්ඩායමට මේ අනගි ජයග්‍රහණය අත්කර ගැනීමට අවස්ථාව උදා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 287ක ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී ලකුණු 43කට කඩුලු තුනක් දැවී අසීරු තත්ත්වයක සිටියදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක (114) සහ අංක හතර පිතිකරු චරිත් අසලංක (91) සිව්වන කඩුල්ලට එක් කළ ලකුණු 185ක වාර්තා ගත සබඳතාවයයි. මීට පෙර එක්දින තරගයක ශ්‍රී ලංකා සිව්වන කඩුල්ලට වාර්තාව වූයේ අර්ජුන රණතුංග සහ රොෂාන් මහානාම රැස් කර තිබු ලකුණු 171ක සබඳතාව වේ.
මේ නව සබඳතාවයේදී වඩාත් ආක්‍රමණශීලී පිතිකරුවා ලෙස කැපී පෙනුණු පැතුම් නිශ්ශංක පන්දු 113කදී හතරේ 13ක් හයේ තුනක් සමඟ ලකුණු 114ක් රැස් කර තරගයේ දක්ෂතම ක්‍රීඩක සම්මානය ද හිමි කර ගනු ලැබීය. දකුණතින් පිත්ත හසුරු වන 25 හැවිරිදි පැතුම් නිශ්ශංක සහභාගි වූ 55 වන එක්දින තරගය මෙය වන අතර අද ඔහු ලබා ගත්තේ සිය හත්වන එක්දින ශතකයයි. ඒ සමඟම ඔහු මේ වන විට එක්දින ලකුණු 2224ක් ද ලබා සිටී.
පැතුම්ට අනගි සහයක් දුන් උපනායක චරිත් අසලංක ද සිල්වාට අද (15) සිය පස්වන එක්දින ශතකය අවාසනාවන්ත අයුරින් ලකුණු නවයක් අඩුවෙන් අහිමිව ගියත් 59 වන එක්දින තරගයට සහභාගි වූ චරිත් මෙදින වාර්තා කළේ සිය 13 වන අර්ධ ශතකයයි. චරිත් පන්දු 93කදී ලකුණු 91ක් රැස් කළේ හතරේ හයක් සහ හයේ හතරක් සමඟය.
චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිමේ 38 වන ඕවරයේ අවසාන පන්දුවට ලකුණු 91කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු තත්ත්වය කඩුලු පහකට ලකුණු 235ක් වූ අතර ඒ වන විට ලංකා ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ඕවර 12ක් ඉතිරිව ලකුණු 57ක් පමණකි.
එය වළකාලීමට බංග්ලාදේශ කණ්ඩායම සියලු උත්සාහයන් ගත්තත් තවත් කඩුලු දෙකක් දැවී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගියේ පන්දු 17ක් ඉතිරිව තිබියදීය.
සිය පන්දු ඕවර දහයේදී ලකුණු 45කට කඩුලු හතරක් දවාලු වනිඳු හසරංග ලංකා ඉනිම අගභාගයේදී පන්දු 16කදී හතරේ පහරක් හයේ පහර දෙකක් සමඟ ලකුණු 25ක් රැස් කරමින් ජයග්‍රහණයට දැක් වූ දායකත්වය ද විශිෂ්ටය.
ශ්‍රී ලංකාව ලකුණු 287ක ජයග්‍රහණ ඉලක්කයක් කරායාමට පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ෂොරිෆුල් ඉස්ලාම් එවු තරගයේ ප්‍රථම ඕවරයේ දෙවන පන්දුවට අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු නොලබාම සෞම්‍ය සාකර්ට උඩපන්දුවක් ලබා දෙමිනි.
පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ලකුණු 41ක් රැස්කර සිටියදී (ඕවර 5.1යි) නායක කුසල් මෙන්ඩිස් වේග පන්දු යවන ටස්කින් අහමඩ්ගේ පන්දුවකට කඩුලු රකින මුස්ෆිකර් රහිම්ට උඩපන්දුවක් දී මුළු ලකුණු 42දී දැවී ගියේ ලකුණු 16කටය. මෙන්ඩිස් පන්දු 13කට මුහුණදී හතරේ පහර තුනක් එල්ල කළේය.
අංක හතර පිතිකරු සධීර සමරවික්‍රම (01) ලකුණු අතරට පිවිසීමට පෙර මුළු ලකුණු 43දී ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට මෙහෙඩි හසන්ට උඩපන්දුවක් දී දැවී යාමෙන් ලංකා කණ්ඩායම පත්වූයේ අසීරු තත්ත්වයකටය.
ඉන්පසු එළැඹුණේ පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංකගේ සිව්වන කඩුල්ලේ ඕවර 30.3ක ලකුණු 185ක ජයග්‍රාහී සබඳතාවයයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් ජයග්‍රහණයට තවත් ලකුණු 58ක් පමණක් තිබියදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මුළු ලකුණු 228දී සිව්වන කඩුල්ල ලෙස දැවී ගියේ මෙහෙඩි හසන්ගේ පන්දුවකට ලිට්න් දාස්ට උඩපන්දුවක් දී අගනා ලකුණු 114කටය.
මුළු ලකුණු 235දී චරිත් අසලංක පස්වන කඩුල්ල ලෙස දැවී ගියේ ටස්කින් අහමඩ්ගේ පන්දුවකට මුස්ෆිකර් රහිම්ට උඩපන්දුවක් දී ලකුණු 91කටය. (පන්දු 93යි හතරේ හයයි හයේ හතරයි)
ජනිත් ලියනගේ මුළු ලකුණු 251දී ශ්‍රී ලංකා හයවන කඩුල්ල ලෙස ලකුණු නවයකට (පන්දු 16යි) ටන්සින් හසන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී යාමෙන් පසු ඉක්මනින් ජයග්‍රහණය කරා යාමට තිබු අවස්ථාව ක්‍රමයෙන් අඩාල විණි.
මේ වන විට ලංකා ජයග්‍රහණයට පන්දු 54කදී අවශ්‍යව තිබුණේ ලකුණු 36ක් පමණකි. එහෙත් වනිඳු හසරංග සහ දුනිත් වෙල්ලාලගේ ජයග්‍රහණය කරා සෙමින් පිය නැගුවේ අඩු වේගයකින් ලකුණු රැස් කරමිනි. ලංකා ජයග්‍රහණය වැළකීමට බංග්ලාදේශ පන්දු රකින්නන් සියලු ප්රයත්නයන් යෙදුවත් එය අසාර්ථක විණි.
ඉනිම අවසාන භාගයේ වනිඳු හසරංග තම පළපුරුද්ද හා අත්දැකීම් උපයෝගී කර ගනිමින් පන්දු 16කදී හතරේ පහරක් හයේ දෙකක් සමඟ ලකුණු 25ක් ලබා ශ්‍රී ලංකා හත්වන කඩුල්ල ලෙස ජයග්‍රහණයට ලකුණු දෙකක් තිබියදී (285) දැවී ගියේ ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට ලිට්න් දාස්ට උඩපන්දුවක් දීමෙනි. වනිඳු පන්දු යැවීමේදී කඩුලු හතරක් ද දවා පසුව පිතිකරණයෙන් ද පෙන් වූ දක්ෂතා ලංකා ජයග්‍රහණයට බෙහෙවින් බලපෑවේය.
තරුණ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 26කදී නොදැවී ලකුණු 15ක් රැස් කරමින් ලංකා ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළ විලාශය ද පැවසිය යුතු වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා මෙවර තීරණය කළේ මුලින් පන්දු රැකීමටය. බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිට්න් දාස් ප්‍රථම තරගයේදී මෙන්ම මේ තරගයේදීත් දිල්ෂාන් මධුශංක එවු තරගයේ ප්‍රථම ඕවරයේ තෙවන පන්දුවට (ප්‍රථම තරගයේ ප්‍රථම පන්දුවට) දුනිත් වෙල්ලාලගේට උඩපන්දුවක් දී ලකුණු නොලබාම දැවී ගියේය. වෙල්ලාලගේ මේ තරගයට සහභාගි වන්නේ මහීෂ් තීක්ෂණ වෙනුවටය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට සිදු කළ එකම වෙනස්කමය.
ප්‍රථම තරගයේදී බංග්ලාදේශ ඉනිමට ජීවය ලබා දුන් නායක අංක තුන පිතිකරු නජ්මුල් හොසේන් ෂැන්ටෝ මේ තරගයේදී ද ලකුණු අතරට එමින් දෙවන කඩුල්ලට ආරම්භක පිතිකරු සෞම්‍ය සාකර් සමඟ ලකුණු 75ක සබඳතාවයක් තබා ගත්තේ ඕවර 11.5 (පන්දු 71යි) කදීය.
ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේදී ද තර්ජනයක් වෙමින් සිටි ෂැන්ටෝ මුළු ලකුණු 75දී දිල්ෂාන් මධුශංකගේ පන්දුවකට කඩුලු රකින කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක් දී දැවී ගියේ ලකුණු 40කටය. (පන්දු 39යි හතරේ හයයි)
බංග්ලාදේශය 16 වන ඕවරය වන විට කඩුලු දෙකකට ලකුණු සියය ඉක්මවා පහසුවෙන් ලකුණු තුන්සියයේ සීමාවට යනු ඇතැයි අපේක්ෂා කළත් 22 වන ඕවරය දී (වනිඳු හසරංගගේ තෙවන ඕවරය) තරග ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ තරග වාසිය ශ්‍රී ලංකාව දෙසට යොමු කරමිනි.
වනිඳු හසරංග ප්‍රථම එක්දින තරගයේ කඩුලු නොලබා සිටියත් මේ තරගයේදී ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වෙමින් තම යුතුකම් ඉටු කළේ සිය තෙවන ඕවරයේ දෙවන පන්දුවට සෞම්‍ය සාකර් දුන් උඩපන්දුව දිල්ෂාන් මධුශංක රැක ගැනීමෙන් මුළු ලකුණු 130දී තෙවන කඩුල්ල බිඳ වැටීමෙනි. වනිඳුගේ එම ඕවරයේ සිව්වන පන්දුවට ප්‍රබල පිතිකරු මහ්මඩුල්ලා ඉදිරියට ඒමේදී කඩුලු රකින කුසල් මෙන්ඩිස් ස්ටම්ප් කිරීමෙන් මහ්මඩුල්ලා ලකුණු නොලබාම දැවී ගියේ සිව්වන කඩුල්ල ලෙස මුළු ලකුණු 130දීමය.
ප්‍රථම තරගයේදී නොදැවී ලකුණු 73ක් රැස්කර එම ජයග්‍රහණයට විශාල ලෙස දායක වූ හිටපු නායක මුස්ෆිකර් රහිම් මෙදින වැඩි ලකුණු සංඛ්‍යාවකට යාමට වනිඳු හසරංග අවස්ථාව නොදුන්නේ ය. මුළු ලකුණු 173දී මුස්ෆිකර් වනිඳුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ ලකුණු 25කටය. (පන්දු 28යි හතරේ තුනයි)
මුළු ලකුණු 189දී වනිඳු හසරංග සිය සිව්වන කඩුල්ල ලෙස මෙහඩි හසන් මිරාෂ් ලකුණු 12කට දැවී ගියේ (පන්දු 18යි හතරේ පහරයි) පන්දුව කඩුල්ලේ වැදීමෙනි.
වේග පන්දු යවන ප්‍රමෝද් මධුෂාන්ට මෙදින ප්‍රථම කඩුල්ල හිමි වුයේ ටන්සිම් හසන් සකිබ් මුළු ලකුණු 236දී එල්ල කළ උඩපන්දුව වනිඳු හසරංග රැක ගැනීමෙන් ලකුණු 18කට දැවී යාමෙන්ය. ටන්සිම් පන්දු 33කට මුහුණදී හතරේ පහරක් එල්ල කළේය.
ඉනිමේ අවසාන ඕවර තුන තුළදී ටව්හිඩ් හ්රිඩෝයි සහ ටස්කින් අහමඩ් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 45කි. තරගයේ 48 වන ඕවරය යැවු වනිඳු හසරංගගෙන් ඔවුන් හයේ පහර දෙකක් සමඟ ලකුණු 12ක් ද ප්‍රමෝද් මධුෂාන් යැවු 49 වැනි ඕවරයෙන් ලකුණු 17ක් ද ළහිරු කුමාර යැවු 50 වන ඕවරයෙන් ලකුණු 16ක් ද ලබා ගත්හ. අවසාන පන්දු දෙකට හ්රිඩෝයි එල්ල කළ හයේ පහර දෙක ද ඊට අයත්ය.
ටව්හිඩ් හ්රිඩෝයි පන්දු 102කදී හතරේ තුනක් සහ හයේ පහක් සමඟ නොදැවී ලකුණු 96ක් ද ටස්කින් අහමඩ් පන්දු දහයකදී හතරේ දෙකක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 18ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.
මොවුන් දෙදෙනා පන්දු 23කදී අටවන කඩුල්ලට නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 50කි.
ලකුණු පුවරුව
බංග්ලාදේශය ඕවර 50දී කඩුලු 7ට 286යි – (ටව්හිඩ් හ්රිඩෝයි 96, සෞම්‍ය සාකර් 68, මුස්ෆිකර් රහිම් 25, ටන්සිම් හසන් 18, ටස්කින් අහමඩ් නොදැවී 18, වනිඳු හසරංග 45/4, දිල්ෂාන් මධුශංක 30/2)
ශ්‍රී ලංකාව ඕවර 47.1කදී කඩුලු 7ට 287 – (පැතුම් නිශ්ශංක 114, චරිත් අසලංක 91, වනිඳු හසරංග 25, දුනිත් වෙල්ලාලගේ නොදැවී 15, කුසල් මෙන්ඩිස් 16, සොරිෆුල් ඉස්ලාම් 49/2, ටස්කින් අහමඩ් 49/2යි)
බන්දුල මොල්ලිගොඩ