සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (23) දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහකට ලකුණු 119ක් ලබා සම්පූර්ණ තරගයේ මේ වන විට ලකුණු 211කින් ඉදිරියෙන් පසු වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිමේදී රැස් කළ ලකුණු 280ට පිළිතුරු ලෙසින් බංග්ලාදේශය අද සවස තේ පානයට මඳකට පෙර සිය මුල් ඉනිමේ සියලු ක්‍රීඩකයන් දැවී රැස් කර ගත්තේ ලකුණු 188ක් පමණකි. ප්‍රථම ඉනිමේදී ලකුණු 92කින් ඉදිරියෙන් පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේ කඩුලු පහකට රැස් කළ ලකුණු 119ත් සමඟ මේ වන විට ලකුණු 211කින් ඉදිරියෙන් පසු වන අතර නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටී.
ප්‍රථම ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශතක ලාභීන් වන ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් මේ වන විට පන්දුවට පහරදීමට ඉතිරිව සිටින හෙයින් ඉතිරිව සිටින ලංකා පිතිකරුවන් පස්දෙනාට තවත් ලකුණු 100 – 150ක් රැස් කිරීමට අවස්ථාව උදා වන්නේ නම් වේගපන්දු යවන්නන්ට වාසිදායක මෙම සිලෙට් තණතිල්ලේ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ලංකා කණ්ඩායමට බොහෝ සෙයින් අවස්ථාවක් ඇති බැව් පෙනේ.
බංග්ලාදේශය ප්‍රථම ඉනිමේදී ලකුණු 188කට දවාලීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් තිදෙනා විශ්ව ප්‍රනාන්දු (48/4) ළහිරු කුමාර (31/3) සහ කසුන් රාජිත (56/3) සමත් වූ අතර තරගයේ තෙවන දින සවස් භාගයේ සහ සිව්වන දින උදයවරුවේ මොවුන් තිදෙනාගෙන් සහ දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරියගෙන් ලංකා කණ්ඩායමට වාසිදායක තත්ත්වයක් අපේක්ෂා කළ හැකි වේ.
බංග්ලාදේශ කණ්ඩායම අද සවස තේ පානයට පෙර ලකුණු 188කට දැවී යාමෙන් පසු පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් නිශාන් මධුෂ්ක මුළු ලකුණු 19දී ලකුණු දහයකට දැවී ගියේ නහිඩ් රානාගේ පන්දුවකට කඩුලු රකින ලිට්න් දාස්ට උඩපන්දුවක් දෙමිනි.
උපනායක කුසල් මෙන්ඩිස් මුළු ලකුණු 32දී ශ්‍රී ලංකා දෙවන කඩුල්ල ලෙස ලකුණු තුනකට දැවී ගියේ නිශාන් මධුෂ්ක දැවී ගිය ආකාරයටමය. තෙවන කඩුල්ලට දිමුත් කරුණාරත්න සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හොඳින් පන්දුවට පහරදෙමින් ලකුණු 28ක සබඳතාවයක් තබා ගත්තේ පන්දු 38කට මුහුණ දෙමිනි. මුළු ලකුණු 60දී ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට එලවා පහරදීමට ගොස් මැතිව්ස් නිකරුණේ දැවී ගියේ හොඳම තත්ත්වයකින් පන්දුවට පහර දෙමින් ලකුණු 22ක් (පන්දු 24යි හතරේ තුනයි) ලබා සිටියදීය.
ප්‍රථම ඉනිමේදී මෙන්ම මේ ඉනිමේදී ද දිනේෂ් චන්දිමාල්ට අඩු ලකුණු සංඛ්‍යාවකට (00) දැවීයාමට සිදු වූයේ මෙහෙඩි හසන්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව මුළු ලකුණු 64දී ශ්‍රී ලංකා සිව්වන කඩුල්ල ලෙසිනි. (ඕවර 19.1දී) චන්දිමාල්ට දැවී ගිය තීරණය ලබාදුන්නේ තෙවන විනිසුරුය.
දක්ෂ අයුරින් සිය 36 වන අර්ධ ශතකය කරා ගමන් ගත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න විශාල ලකුණු සංඛ්‍යාවක් කරායතැයි අපේක්ෂා කළත් මුළු ලකුණු 113දී සොරිෆුල් ඉස්ලාම්ගේ බවුන්සර් පන්දුවකට අවාසනාවන්ත අයුරින් දිමුත් දැවී ගියේ නහිඩ් රානා උඩපන්දුවක් රැක ගැනීමෙනි. දිමුත් පන්දු 101කදී හතරේ හතක් හයේ පහරක් සමඟ ලකුණු 52ක් ලැබීය.
නායක ධනංජය ද සිල්වා පන්දු 41කදී හතරේ තුනක් සමඟ නොදැවී 23ක් ද නයිට් වොච්මන් ලෙස පැමිණි විශ්ව ප්‍රනාන්දු (ඇඳිරි ආරක්ෂකයා) පන්දු 19කදී නොදැවී ලකුණක් ද ලබා සිටියේය.
ප්‍රථම දින තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා ලකුණු 32කට කඩුලු තුනක් දැවී (ඕවර දහයකදී) සිටි බංග්ලාදේශ කණ්ඩායම තරගයේ දෙවන දිනය වූ අද (23) සවස තේ පානයට පැය භාගයකට පමණ පෙර සියලු පිතිකරුවන් දැවී ලබා ගත්තේ ලකුණු 188ක් (ඕවර 58.3කදී) පමණකි.
මෙදින ඔවුන් කණ්ඩායමේ ඉතිරිව සිටි පිතිකරුවන් හත්දෙනාම දැවී රැස් කළේ තවත් ලකුණු 156කි. (ඕවර 48.3කදී) උදෑසන තරගය නැවත ආරම්භ කළ අවස්ථාවේ සිට දිවා ආහාරය තෙක් බංග්ලාදේශය ලකුණු සියයක් රැස් කළත් කඩුලු තුනක් ද බිඳ වැටිණි. දිවා ආහාරය වන විට බංග්ලාදේශය කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 132ක් ලබා සිටියේ තවත් කඩුලු හතරක් ඉතිරිව ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 148ක් පිටු පසින් සිටිමිනි.
උදෑසන දැවී ගිය පිතිකරුවන් තිදෙනාම දැවී ගියේ වේගපන්දු යවන ළහිරු කුමාරගේ දක්ෂ පන්දු යැවීම හමුවේය. ළහිරු කුමාර උදයවරුවේ ඕවර හයක් යවා ලකුණු 22කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය. සවස තේ පානයට පැය භාගයකට පෙර බංග්ලාදේශ ඉනිම 188ක් නිමා වන විට ඔවුන් පසු වූයේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 92ක් පිටුපසිනි.
ලංකා පන්දු යවන්නන් අතුරින් වඩාත්ම කැපී පෙනුණු පන්දු යවන්නා වූයේ ආරම්භක වේගපන්දු යවන 32 හැවිරිදි විශ්ව ප්‍රනාන්දුය. විශ්ව මේ තරගයේ ප්‍රථම දින කඩුලු දෙකක් දවාලු අතර දෙවන දින ද තවත් කඩුලු දෙකක් දවාලමින් බංග්ලාදේශ මුල් ඉනිමේ කඩුලු හතරක්ම බිඳ දැමුවේ ලකුණු 48ක් ලබාදෙමිනි. 21 වන ටෙස්ට් තරගයට සහභාගි වන විශ්ව මේ වන විට ටෙස්ට් කඩුලු 58ක් බිඳ දමා සිටී.
පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු අනෙක් පන්දු යවන්නන් දෙදෙනා වන ළහිරු කුමාර ලකුණු 31කට කඩුලු තුනක් ද කසුන් රාජිත ලකුණු 56කට කඩුලු තුනක් ද දවාලුහ. බංග්ලාදේශ ඉනිමේ පිතිකරුවන් දසදෙනාම දැවී ගියේ මෙම ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් තිදෙනා හමුවේය.
ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේ ලබාගත් ලකුණු 280ක සංඛ්‍යාව හඹායාමට බංග්ලාදේශ කණ්ඩායම පිටියට පිවිසි අවස්ථාවේ ඔවුන් වරක් කඩුලු පහක් දැවී ලකුණු 83ක් ද තවත් වරක් කඩුලු අටක් දැවී ලකුණු 147ක් ද පමණක් ලබා සිටියේය. මොවුනට ලකුණු 200 සීමාව ආසන්නයට (188) පවා ඒමට අවස්ථාව උදා වූයේ නවවන කඩුල්ලට ෂොරිෆුල් ඉස්ලාම් (15) සහ කලිඩ් අහමඩ් (22) නවවන කඩුල්ලට වේගයෙන් රැස් කළ ලකුණු 40 මතය. එහිදී ෂොරිෆුල් සහ කලිඩ් හයේ පහර දෙක බැගින් ද එල්ල කළේය. බංග්ලාදේශයේ හොඳම සබඳතාව වූයේ හයවන කඩුල්ලට ලිට්න් දාස් (25) සහ අංක හතර පිතිකරු ටයිජුල් ඉස්ලාම් (47) රැස් කළ ලකුණු 41ක සබඳතාවයයි.
බංග්ලාදේශ පිතිකරුවන් අතුරින් කැපී පෙනුණු ටයිජුල් ඉස්ලාම් ලකුණු 47ක් ද (පන්දු 80යි හතරේ හයයි) ලිට්න් දාස් ලකුණු 25ක් ද (පන්දු 43යි හතරේ හතරයි) කලිඩ් අහ්මඩ් ලකුණු 22ක් ද (පන්දු 28යි හතරේ පහරයි හයේ දෙකයි) සහඩට් හොසේන් ලකුණු 18ක් ද (පන්දු 26යි හතරේ තුනයි) ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 15ක් ද (පන්දු 21යි හයේ පහර දෙකයි) රැස් කළහ.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව මුල් ඉනිම සියල්ල දැවී 280 (ඕවර 68යි)
ධනංජය ද සිල්වා 102, කමිඳු මෙන්ඩිස් 102, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 16, කලිඩ් අහමඩ් 72/3, නහිඩ් රානා 87/3යි)
බංග්ලාදේශය මුල් ඉනිම සියල්ල දැවී 188 (ඕවර 51.3යි)
(ටයිජුල් ඉස්ලාම් 47, ලිට්න් දාස් 25, කලිඩ් අහමඩ් 22, සහඩට් හොසේන් 18, ෂොරිෆුල් ඉස්ලාම් 15, විශ්ව ප්‍රනාන්දු 48/4, ළහිරු කුමාර 31/3, කසුන් රාජිත 56/3යි)
ශ්‍රී ලංකාව දෙවන ඉනිම කඩුලු 5ට 119යි (පන්දුවාර 36යි)
(දිමුත් කරුණාරත්න 52, ධනංජය ද සිල්වා නොදැවී 23, ඇන්ජලෝ මැතිව්ස් 22, නහිඩ් රානා 42/2, ෂොරිෆුල් ඉස්ලාම් 27/1, ටයිජුල් ඉස්ලාම් 12/1, මෙහෙඩි හසන් 5/1යි)
බන්දුල මොල්ලිගොඩ