ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග දෙකක පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සිකුරාදා (මාර්තු 22) බංග්ලාදේශයේ සිලෙට් නගරයේදී උදේ 9.30ට ආරම්භ වීමට නියමිතය.
මේ කණ්ඩායම් දෙක මෙවර තරග වදිනුයේ 25 වන වතාවටය. මීට පෙර පැවැති තරග 24න් ශ්‍රී ලංකාව තරග 18ක් ජයගත් අතර බංග්ලාදේශය ජය ගත්තේ තරගයක් පමණකි. තරග පහක් නිම වූයේ ජයපැරැදුමින් තොරවය.
ශ්‍රී ලංකාව ජයගත් තරග 18න් 11ක් ශ්‍රී ලංකාවේදී ජයගත් අතර ඉතිරි තරග හත ශ්‍රී ලංකාව ජය ගත්තේ බංග්ලාදේශයේදීය. බංග්ලාදේශය ජයගත් එකම ටෙස්ට් තරගය ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේදීය.
අවසානවරට කණ්ඩායම් දෙක 2022 මැයි මස මුණ ගැසිණි. මැයි 15 වැනිදා ආරම්භ වූ ප්‍රථම ටෙස්ට් තරගය ජයපැරැදුමින් තොර වූ අතර එම මස 23 වැනිදා ආරම්භ වූ දෙවන තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දහයක ජයක් ලැබීය. 2021 අප්‍රේල් මස කණ්ඩායම් දෙක මුණගැසුණු අවස්ථාවේදී අප්‍රේල් 21 ආරම්භ වූ ප්‍රථම ටෙස්ට් තරගය ජයපැරැදුමින් තොරව නිම වූ අතර අප්‍රේල් මස 29 වැනිදා ආරම්භ වූ දෙවන තරගයෙන් ශ්‍රී ලංකාව පහසු ජයක් අත්කර ගත්තේ ලකුණු 209කිනි. 2018 පෙබරවාරි 18 වැනිදා ආරම්භ වූ එකම ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 215ක ජයක් අත්කර ගත්තේය. මේ අනුව කණ්ඩායම් දෙක අවසානවරට මුණ ගැසී ඇති අවස්ථා පහෙන් ශ්‍රී ලංකාව තරග තුනක්ම ජයගෙන තිබේ.
වැඩිම ලකුණු ලබා ඇති පිතිකරුවා වන්නේ 2001 සිට 2015 දක්වා තරග 15කදී ඉනිම 21කදී ලකුණු 1816ක් (නොදැවී ඉනිම් දෙකයි) රැස් කළ කුමාර් සංගක්කාරය. සංගක්කාර වරක් ඉනිමකදී ලකුණු 319ක් රැස් කළේය. සංගක්කාර රැස් කළ ලකුණු 1816ට ශතක හතක් සහ අර්ධ ශතක හතක් ද ඇතුළත් විය.
ඉනිමක වැඩිම ලකුණු ඉනිම තුනකදීම ලබා ඇත්තේ ශ්‍රී ලංකාවයි. එම අවස්ථා තුනවන්නේ 1. කඩුලු 6ට 780යි 2. කඩුලු 9ට 713යි සහ 3. කඩුලු 8ට 648යි. ඉනිමක වැඩිම කඩුලු දවාලු පන්දු යවන්නා වන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ය. ලකුණු 62ට කඩුලු 11යි.
මෙවර කණ්ඩායම් දෙකේ නායකයන් ලෙස කටයුතු කරන්නේ ධනංජය ද සිල්වා (ශ්‍රී ලංකාව) සහ නජ්මුල් හොසේන් ෂැන්ටෝ ය. (බංග්ලාදේශය)
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකන් තිදෙනකුම වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා සංචිතයට අයත්ව සිටීම විශේෂත්වයකි. බංග්ලාදේශයේ මුස්ෆිකර් රහිම් ආබාධයට ලක්ව සිටින අතර ඔහුගේ ස්ථානයට ඉදිරිපෙළ ක්‍රීඩක හ්රිඩෝයි නම් කර සිටී.
ශ්‍රී ලංකා සංචිතයට මෙවර ප්‍රබල පිතිකරුවන් රැසකින්ම සමන්විතය. ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම සහ කමිඳු මෙන්ඩිස් ඒ අතර වෙති.
ලංකා දඟපන්දු යවන්නන් ලෙස නම් කර ඇත්තේ ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස් සහ නිශාන් පීරිස් ය.
කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ චාමික ගුණසේකර සංචිතයේ වේගපන්දු යවන්නන්ගේ බල ඇණියට එක්ව සිටිති.
බංග්ලාදේශය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය
ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උපනායක) දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ චාමික ගුණසේකර
බංග්ලාදේශ සංචිතය
නජ්මුල් හොසේන් ෂැන්ටෝ (නායක) සකිර් හසන්, මහ්මඩුල් හසන් ජෝයි, සඩ්මන් ඉස්ලාම්, ලිට්න් දාස්, මොමියුල් හක් ෂවුරබ්, ෂහඩට් හොසේන් ඩිපු, මෙහිඩි හසන් මිරාස්, නයීම් හසන්, තයිජුල් ඉස්ලාම්, ෂෝරිෆුල් ඉස්ලාම්, ස්ටෙක් කලෙක් අහමඩ්, මුස්ෆික් හසන්, නහිඩ් රානා සහ හ්රිඩෝයි
බන්දුල මොල්ලිගොඩ