slc
logo
Home   |    News
මැයි 14, 2024
සී.සී.සී.-කෝල්ට්ස්-එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් ජය වාර්තා කරති

sinhala editor

සී.සී.සී.-කෝල්ට්ස්-එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් ජයබවාර්තා කරතිශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (14) බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති කැන්ඩි කස්ටම් එරෙහි තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 33කට මුහුණදී හතරේ තුනක් සහ හයේ තුනක් සමඟ නොදැවී ලකුණු 46ක් රැස් කරමින් එම කණ්ඩායමට කඩුලු හතක ජයක් අත්කර දීමට මුල් වූවේය.
කෝල්ට්ස් ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 92 හඹායද්දී සිව්වන කඩුල්ලට එක්වූ දිනේෂ් චන්දිමාල් සහ රවිඳු රසන්ත (නොදැවී 36) නොදැවී ලකුණු 77ක සබඳතාවයක් තබා ගනිමින් තම කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා ගෙන ගියහ.
මෙදින පැවැති සෙසු තරගවලදී සී.සී.සී. ලකුණු 46කින් පොලීසිය ද එන්.සී.සී. කඩුලු හතකින් නුගේගොඩ ද බ්ලුම්ෆීල්ඩ් කඩුලු අටකින් පාණදුර ද පරාජය පත් කළේය.

• සී.සී.සී. ලකුණු 46කින් පොලීසිය පරාජය කරයි.
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඒ‘ කොටසට අයත් වූ මේ තරගයේදී සී.සී.සී. කණ්ඩායමේ නිශාන් මධුෂ්ක ලකුණු 36ක් ද (පන්දු 20යි හතරේ හතරයි හයේ දෙකයි) ලසිත් කෘස්පුල්ලේ ලකුණු 48ක් ද (පන්දු 32යි හතරේ හතරයි හයේ දෙකයි) සහ පවන් පතිරාජ ලකුණු 46ක් ද (පන්දු 41යි හතරේ හයයි) රැස් කළහ. දෙවන කඩුල්ලට ලසිත් කෘස්පුල්ලේ සහ පවන් පතිරාජ ලකුණු 93ක් රැස් කළේ පන්දු 63කදීය.
පොලීසියේ හේෂාන් ධනුෂ්ක ලකුණු 48ක් රැස් කළේ පන්දු 45කදී හතරේ හතරක් හයේ පහරක් සමඟය.
සී.සී.සී. ඕවර 20දී කඩුලු 7ට 175යි – (ලසිත් කෘස්පුල්ලේ 48, පවන් පතිරාජ 46, නිශාන් මධුෂ්ක 36, චමිඳු විජේසිංහ නොදැවී 29, සුපුන් මධුශංක 24/4, දිලුම් සුධීර 17/1යි)
ශ්‍රී ලංකා පොලීසිය ඕවර 19.4දී 129යි – (හේෂාන් ධනුෂ්ක 48, චතුරංග ජයතිලක 25, චාමර සිල්වා 18, කුසල් පෙරේරා 12, ඉසුරු උදාන 20/2, අෂාන් ප්‍රියංජන් 28/2, විශ්ව ප්‍රනාන්දු 16/1යි)
• එන්.සී.සී. කඩුලු 7කින් නුගේගොඩ පරාජය කළේය.
එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා නිරෝෂන් දික්වැල්ල ලකුණු 45ක් ද (පන්දු 16යි හතරේ හයයි හයේ තුනයි) සහ කමිල් මිෂාර ලකුණු 63ක් ද (පන්දු 38යි හතරේ අටයි හයේ තුනයි) මුල් විකට්ටුවට ලකුණු 79ක් රැස් කළේ පන්දු 32කට පමණක් මුහුණ දෙමිනි.
නුගේගොඩ කණ්ඩායමේ ඇන්ජලෝ පෙරේරා පන්දු 16කට පමණක් මුහුණදී හතරේ දෙකක් හයේ තුනක් සමඟ ලකුණු 34ක් ලැබීය. ‘ඒ‘ කොටසට අයත් මේ තරගය බ්ලුම්ෆීල්ඩ් පිටියේ පැවැත් විණි.
නුගේගොඩ ඕවර 19.1කදී සියල්ල දැවී 132යි – (ඇන්ජලෝ පෙරේරා 34, රාහුල් ගුණසේකර 27, තිලකරත්න සම්පත් 23, පුළිඳු පෙරේරා 18, චාමික කරුණාරත්න 17/3, ලසිත් ඇඹුල්දෙණිය 30/3, සහන් ආරච්චිගේ 30/2යි)
එන්.සී.සී. ඕවර 12.1කදී කඩුලු 3ට 135යි – (කමිල් මිෂාර 63, නිරෝෂන් දික්වැල්ල 45, සහන් ආරච්චිගේ නොදැවී 20, පසිඳු පැතුම් 8/1, රවිෂාන් පෙරේරා 16/1)
• කෝල්ට්ස් කඩුල් 7කින් කැන්ඩි කස්ටම් පරාජය කරයි.
බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති ‘ඩී‘ කොටසට අයත් මේ තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 33කදී හතරේ තුනක් හයේ තුනක් සමඟ නොදැවී ලකුණු 46ක් රැස් කිරීමෙන් සහ එම කණ්ඩායමේ සනෝජ් දර්ශික ලකුණු 5කට කඩුලු 4ක් දවාලීමෙන් කෝල්ට්ස්ට කඩුලු 7ක ජයක් අත්වුයේ ඕවර 12.4ක් ද ඉතිරිව තිබියදීය.
දිනේෂ් චන්දිමාල් සහ රවිඳු රසන්ත (නොදැවී 36) කෝල්ට්ස් තෙවන කඩුල්ලට නොදැවී ලකුණු 77ක් රැස් කළේ පන්දු 50කට මුහුණ දෙමිනි.
කැන්ඩි කස්ටම් ඕවර 20දී සියල්ල දැවී 91යි – (සසිත් මනුරංග 33, සහන් කෝසල 22, සළිඳු පතිරණ 11, සනෝජ් දර්ශික 5/4, අකිල ධනංජය 18/3යි)
කෝල්ට්ස් ඕවර 11.4කදී කඩුලු 3ට 92යි – (දිනේෂ් චන්දිමාල් නොදැවී 46, රවිඳු රසන්ත නොදැවී 36, අස්ජාත් ඛාන් 25/2යි)
• බ්ලුම්ෆීල්ඩ් කඩුලු 8කින් පාණදුර පරාජය කරයි.
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඩී‘ කොටසට අයත් මේ තරගයේදී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ නායක ළහිරු මධුශංක පන්දුවෙන් සහ පිත්තෙන් (තුන් ඉරියව්වේම) දැක් වූ දක්ෂතා බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම කඩුලු අටක ජයක් අත්කර ගැනීමට මුල් විණි.
පාණදුර ඕවර 20දී කඩුලු 7ට 125යි – (හිරුන් කපුරුබණ්ඩාර 33, රමේෂ් විතානවසම් නොදැවී 31, නිමේෂ් විමුක්ති 18, විෂේන් හැළඹගේ 15, ළහිරු මධුශංක 37/2, සචිත ජයතිලක 14/2)
බ්ලුම්ෆීල්ඩ් ඕවර 18.3දී කඩුලු 2ට 129යි – (හසිත අමරසිංහ 44, හසිත බෝයගොඩ 35, ළහිරු මධුශංක නොදැවී 26, කසුන් අබේරත්න නොදැවී 22, විශ්ව ළහිරු 24/1යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee