slc
logo
Home   |    News
ජූලි 19, 2024
කැන්ඩි ෆෝල්කන්ස් අවසන් මහ තරගයට කිට්ටු කරයි

sinhala editor

BY CHAMILA KARAWITA

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටය යටතේ පැවැත්වෙන එලිමිනේටර් තරගය හෙවත් පිළිමළුන් පිටු දැකීමේ තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයක් ලද වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම අවසන් මහ තරගයට පෙර කඩයිම වන දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (18 දා) රාත්‍රියේ සමත්විය.

ඒ අනුව අද පස්වරුවේ පැවැති තරගයේ පරාජිතයින් වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම එළැඹෙන සෙනසුරාදා දිනයේදී දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වැදීමට නියමිත අතර එම තරගයේ ජයග්‍රාහයකින් එළැඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී ගෝල් මාවල්ස් පිලේ එදිරිවාදීන් බවට පත්වනු ඇත.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සදහා ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි පිතිකරුවෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 8 ක්ද ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. ලකුණු 86 ක් ඇතුළත සිය පළමු කඩුලු 6 ම බිඳ වැටී අසීරු අවස්ථාවක පසුවද්දී පිටියට එකතුවුණු කමිඳු මෙන්ඩිස් සහ දසුන් ශානක කැන්ඩි ෆෝල්ක්න්ස් පිලට ජයග්‍රහණයේ දොරටු විවෘත කළහ. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 40 කදී ලකුණු 69 ක් විය. ජයග්‍රහණයට ලකුණු 8 ක් ලබාගත යුතුව තිබියදී දසුන් ශානක සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනාම දැවී ගිය නමුත් රමේෂ මෙන්ඩිස් ෆෝල්කන්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

කැපී පෙනන පිතිහරඹයක් දියත් කළ කමිදු මෙන්ඩිස් පන්දු 36 කට මුහුණ දෙමින් ලකුණු 54 ක් ලබා ගත්තේ ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් කරමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් දසුන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 39 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ දැවී ගිය කඩුලු 8 න් 6 කටම වගකීවේ කඩුලු 3 බැගින් බෙදා ගනිමිනි.

පළමුව පන්දුවට පහර දුන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට සධීර සමරවික්‍රම පත්විය. පන්දු 45 කට මුහුණ දුන් සදීර හතරේ පහර 7 ක් ද සමගින් ලකුණු 62 ක් ලබා ගත්තේ කණ්ඩායමට කොඳු නාරටිය වෙමිනි. ලකුණු 42 ක් ඇතුළත මුල් කඩුලු 3 ම බිද වැටී තිබූ අවස්ථාවේ ක්‍රියාත්මක වුණු රාමුල්ලා ගුර්බාස් සමඟ එක්වුණු සධීර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 40 ක් එක් කළේය. අනතුරුව පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ සමඟ (28) හය වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 68 ක් එක් කළ සදීර තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 150 න් ඔබ්බට රැගෙන යෑමට වැඩිම වෙහෙවරක් ඉටු කළේය.

කලම්බු පිල අඩපණ කිරීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මොහොමඩ් හස්නේන් පන්දුවාර 3 කදී ලකුණු 24 කට කඩුලු 3 ක් ද වනිදු හසරංග ලකුණු 21 ට කඩුලු 2 ක්ද දවා ගත්ගත්හ

කලම්බු ස්ට්‍රයිකර්ස් පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 159 යි –

රාමනුල්ලා ගුර්බාස් 30, සදීර සමරවික්‍රම 62, දුනිත් වෙල්ලාලගේ 28, මොහොමඩ් හස්නේන් 24/3, වනිඳු හසරංග 21/2

කැන්ඩි ෆෝල්කන්ස් පන්දුවාර 18.4 කදී කඩුලු 8 ට ලකුණු 163 යි

ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 20, කමිඳු මෙන්ඩිස් 54, දසුන් ශානක 39, බිනුර ප්‍රනාන්දු 35/3, මතීෂ පතිරණ 38/3

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee