slc
logo
Home   |    News
ජූලි 31, 2024
ශ්‍රී ලංකා පිල සුපිරි පන්දුවාරයේදී පරදියි

sinhala editor

පන්දු රැකීම මෙන්ම පන්දු යැවීම හොඳ මට්ටම පැවැතුණද පිට පිටම තෙවැනි වතාවටත් ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන ලද දුර්වල පිතිකරණ විලාශය හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයේ සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. මේ ජයත් සමඟම ඉන්දියානු පිල ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයක් වාර්තා කළේය.

ලකුණු 138 ක ඉලක්කයක් හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවාර 16 අවසන් වන විට කඩුලු 2 ට ලකුණු 115 ක් ලබා ජයග්‍රහණයට ඉතා ආසන්නයට පැමිණ සිටියද පළමු තරග 2 පරිදිම නැවතත් ලකුණු 22 ක් ඇතුළත කඩුලු 7 ක් අහිමිවීම නිසා පහසුවෙන්ම ජය වාර්තා කිරීමට තිබූ තරගය ලකුණු සමව අවසන් කර ගැනීමට ඉන්දියානුවෝ සමත්වූහ.

වොෂිංටන් සුන්දර් යවන ලද සුපිරි පන්දුවාරයේ පළමු පන්දු 4 අවසනදී කුසල් පෙරේරා සහ පැතුම් නිස්සංක දැවී ගිය හෙයින් ඉන්දියානුවන්ට ජයග්‍රහණය සඳහා ලබාගත යුතු වූයේ ලකුණු 03 කින්. එයින්ද එක් ලකුණක්ද සුන්දර් යවන ලද වයිඩ් පන්දුවකින් විය. එය හඹා යෑම සඳහා පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු 4 ක් ලබා තරගයේ ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකා පිලට අවසන් පන්දු 24 න් ලබා ගත යුතුව තිබුණේ ලකුණු 23 ක් පමණක් වුවත් පසුපෙළ දුර්වලතාවය ශ්‍රී ලංකා පිලේ විනාශයට හිටියේය. මෙහිදී කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් පසු පැමිණි වනිඳු හසරංග මෙන්ම නායක චරිත් අසලංක පිට පිට පන්දු දෙකකදී දැවී යෑම ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ දැඩි පාඩුවක් විය.

එසේ වුවද ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලබාගතයුතුව තිබුණේ ලකුණු 06 ක් පමණක් වුවත්, එම පන්දුවාරය යැවූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ලකුණු 05 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගනිමින් තරගය සම තත්ත්වයට රැගෙන ආවේ ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයට ඇද දමමිනි.

පළමු පන්දුවාරය යැවූ චමිදු වික්‍රමසිංහ තම මංගල තරගයේදිම සාර්ථක වෙමින් පන්දුවාර 4 අවසන් කරන ලද්දේ ලකුණු 17 ක් ඇතුළත තම මංගල කඩුල්ලද දවා ගනිමිනි. මෙම පන්දු යැවීමත් සමඟම ඉන්දියානු පිලට හිමි පවර් ප්ලේ අවස්ථාවේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 30 ක් පමණි. ඒ අතරතුර ඉන්දීය කණ්ඩායමේ කඩුලු 4 ක් දවා ගැනීමටද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

මෙම තරගය සඳහා යොදා ගැනුණු තණතීරුවෙහි අදහාගත නොහැකි දඟ කැවීම නිසා බහුතරයක් පන්දු යැවීම සිදුකරන ලද්දේ දඟ පන්දු යවන්නන් විසිනි. එබැවින් මතීෂ පතිරණට එකම පන්දුවක් හෝ යැවීමට අවස්ථාව නොලැබුණු අතර ඔහුගේ වගකීම ඉටු කරන ලද්දේ කමිඳු මෙන්ඩිස් විසින් වීම කැපී පෙනින. අද තරගයේදී පන්දුවාර 3 ක් යැවූ කමිඳු තම පන්දු යැවිම නිමා කළේ කුණු 24 ක් ලබා දෙමිනි.

වැඩිම ප්‍රහාරයක් එල්ල වුණු පන්දු වාරයේ හිමිකරුවා වූයේ වනිඳු හසරංග වන අතර ඔහුගේ එක් පන්දුවාරයකට හයේ පහර 2 ක් එල්ල කිරීමට ඉන්දීය පිතිකරුවන් සමත්විය. එසේ නොවුණා නම් ශ්‍රී ලංකා ඉලක්කය මීට වඩා අඩුවන්නට තිබිණ. කෙසේ වෙතත් එකම පන්දු වාරය ඇතුළත ශුබ්මන් ගිල් සහ රයාන් පරාග් දැවී යෑම ශ්‍රී ලංකාවට අස්වැසිල්ලක් ගෙන දුන්නේය.

ඉන්දියාව පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 137 යි

යසශ්වි ජයිස්වාල් 10, ෂුබ්මන් ගිල් 39, සංජු සැම්සන් 00, රින්කු සිං 01, සූර්යකුමාර් යාදව් 08, ෂිවම් ඩුබේ 13, රයාන් පරාග් 26, වොෂිංටන් සුන්දර් 25, රවී බිෂ්නෝයි 08*, මොහොමඩ් සිරාජ් 00, මහීෂ් තීක්ෂණ 28/3, වනිඳු හසරංග 29/2

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 137 යි

පැතුම් නිස්සංක 26, කුසල් මෙන්ඩිස් 43, කුසල් පෙරේරා 46, වනිඳු හසරංග 03, චරිත් අසලංක 00, රමේෂ් මෙන්ඩිස් 03, කමිඳු මෙන්ඩිස් 01, චමිඳු වික්‍රමසිංහ 04*, මහීෂ් තීක්ෂණ 00, අසිත ප්‍රනාන්දු 01, සූර්යකුමාර් යාදව් 05/2, රින්කු සිං 03/2, රවී බිෂ්නෝයි 38/2, වොෂිංටන් සුන්දර් 23/2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee