slc
logo
Home   |    News
ජූලි 22, 2024
වාර්තා රැසක් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේසියාව පරදවති

sinhala editor

BY CHAMILA KARAWITA

පන්දු 69 ක් තුළ චමරි අතපත්තු රැස් කරන ලද ලකුණු 119 ක විශිෂ්ඨ ශතකයත් සමඟ කාන්තා ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ මැලේසියාවට එරෙහිව කුණු 144 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (22 දා) පස්වරුවේදී හැකියාව ලැබිණ. විස්සයි-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම තරග ජයත් සමඟ අවසන් කණ්ඩායම් 4 හෙවත් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ස්ථාවර අඩිතාලමක් එක් කර ගැනීමටද ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදි කඩුලු 4 කට ලකුණු 184 ක් රැස් කර ගැනීමට සමත් වූ අතර ඊට පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් මැලේසියානු පිල පන්දුවාර 19.5 කදී ලකුණු 40 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.

මැලේසියානු කාන්තා කණ්ඩායම අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාලීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු වමත් දඟ පන්දු යවන ශෂිනි ගිම්හානි පන්දුවාර 4 කදී ලකුණු 09 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ලීමට සමත්වූවේය. ඇය දවා ගන්නා ලද කඩුලු 3 න් 2 ක්ම පවර් ප්ලේ පන්දුවාර 6 ඇතුළතදී දවා ගැනීමට සමත්වූවාය. ඇයට අනගි සහායක් ලබා දුන් කවීෂා දිල්හාරි සහ කාව්‍යා කාවින්දි කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් කෙතරම් හොඳින් පන්දු යැව්වේද කිවහොත් ඔවුන් හමුවේ ලකුණු 10 ඉක්මවා යෑමට සමත්වූයේ එක් පිතිකාරිණියක් පමණක් වීම කැපී පෙනෙයි.

පන්දුවට පහර දීමේදී වේගවත් පිහිහරඹයක නිරත වුණු අතපත්තු තම ඉනිම සදහා හයේ පහර 7 ක් සහ හතරේ පහර 14 ක් එල්ල කිරීමට සමත්වූවාය. තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ශතකය ලෙසින් සටහන් වුණු මෙම ඉනිම ඇයගේ පෞද්ගලික තරග දිවියේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය.

ආරම්භක පිතිකාරිණිය වුණු විශ්මි ගුණරත්න එක් ලකුණකට දැවී ගියද තම ප්‍රහාරාත්මක පිතිහරඹයකට මඳකට හෝ නතර නොකළ චමරි තම අර්ධ ශතකය මුහුණ දුන් 35 වැනි පන්දුවේදී සම්පූර්ණ කර ගත්තේ වින්ෆ්‍රෙඩ් දුරෙයිසිංහම්ට පිට පිටම එල්ල කරන ලද හයේ පහර 2 ද සමඟිනි. ඒ අතරතුර හර්ෂිතා සමරවික්‍රම සමග එක්වුණු චමරි දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 64 ක් ද තෙවැනි කඩුල්ල වෙනුවෙන් අනුෂ්කා සංජීවනී සමග පන්දු 62 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය දැක්වූවාය. මෙය ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් වුණු ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසින්ද සනිටුහන් විය. මීට පෙර මෙහි වාර්තාව වූයේ චමරි අතපත්තු සහ නලක්ෂිකා ද සිල්වා එක්ව රැස් කර තිබූ ලකුණු 77 විය.

පන්දු 24 කට මුහුණ දුන් කඩුලු රකින්නියද ලෙසින් කටයුතු කරන අනුෂ්කා හතරේ පහර 4 ක් ද සමගින් පන්දු 23 කදී ලකුණු 31 ක් ලබා ගත්තාය. 11 වැනි පන්දුවාරය අවසන් වන විටත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 85 ක් ලෙසින් සටහන්ව තිබූ නමුත් අවසන් පන්දුවාර 9 දී වේගය වැඩි කළ චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකාරිණියෝ ලකුණු 99 ක් රැස් කරගත්හ. එම ලකුණු 99 න් 68 ක්ම චමරිගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු විය. චමරිගේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි වූයේ අවසන් පන්දුවාර 3 දීය 17 වැනි පන්දුවාරය වන විටත් චමරි රැස් කරගෙන සිටියේපන්දු 57 කදී ලකුණු 76 ක් පමණක් වුවත් අවසන්  පන්දුවාර 3 දී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් එල්ල කරමින් ඇය ශතකය කරා ඇදී ගියාය. අයිස්යා එලීසාට එරෙහිව රැස් එල්ල කරන ලද පිට පිට හයේ පහර දෙකත් සමග චමරි ශතකය සම්පූර්ණ කර ගනු ලැබුවේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියකදී පිතිකාරිණියක් වාර්තා කරන ලද පළමු ශතකයටද හිමිකම් කියමිනි.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව තරග වදිනු ලබන තෙවැනි තරගය ජූලි මස 24 වැනිදා තායිලන්ත කාන්තා කණඩායමට එරෙහිව ප.ව. 7.00 ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 184 යි

චමරි අතපත්තු 119, හර්ෂිතා සමරවික්‍රම 26 අනුෂ්කා සංජීවනී 31,, වින්ෆ්‍රෙඩ් දුරෙයිසිංහම් 34/2

මැලේසියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 40 යි

එල්සා ජූලියා 10, ශෂිනි ගිම්හානි 09/3, කාව්‍යා කාවින්දි 07/2, කවීෂා දිල්හාරි 04/2

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee