දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැත්වෙන සිව්දින සහ එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අද (27 දා) පස්වරුවේදී දකුණු අප්‍රිකාව බලා පිටත්විය. පසිඳූ සූරියබණ්ඩාරගේ නායකත්වය යටතේ අද පිටත්ව ගිය එක්දින කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ප.ව. 6.00 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පිටත්ව ගියහ.
තරගාවලිය සඳහා පිටත්ව යෑමට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ තරගාවලිය අවසානයේදී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා ක්‍රීඩකයකු හෝ දෙන්නකු සොයා ගැනීමට හැකිවනු ඇති බව තමා අපේක්ෂා කර සිටින බවයි.
“ඒ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් මගේ කාර්යය වෙන්නේ මෙතනින් ක්‍රීඩකයෝ හදලා ජාතික කණ්ඩායමේ තියෙන අඩුපාඩුවලට ක්‍රීඩකයින් තල්ලු කරන එක. මං හිතන්නේ අන්තිම මාස 12 මාස 18 විතර මට මතකයේ හැටියට ක්‍රීඩකයෙන් හත් දෙනෙකු හෝ 8 දෙනෙක් ඒ කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ තරගාවලියේද ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ක්‍රීඩකයෙක් හෝ දෙන්නෙක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා“ යනුවෙන් ගුණවර්ධන සඳහන් කර සිටියේය.
මෙම තරග සංචාරය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට අවුරුදු 23 ට අඩු ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. “පුහුණුකරු විදියට මම දකින විශේෂත්වය තමයි අවුරුදු 23 ට අඩු ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත්වීම. ගොඩ කාලෙකට පස්සේ මේ වගේ තරුණ කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට යන්නේ“ යැයි සඳහන් කර සිටි ප්‍රධාන පුහුණුකරු, “පසිඳුව ඉස්කෝලේ කාලේ ඉඳන්ම දන්නවා. එයාට හොද ක්‍රිකට් දැනුමක් තියෙන කෙනෙක්. එයා නායකත්වයට සුදුසුයි. ඒ වගේ තරුණ ක්‍රීඩකයෙක් නායකත්වය දරන එක හොඳයි. ඒක එයාටත් අභියෝගයක්“ යැයිද සඳහන් කර සිටියේය.
කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කර ඇති පසිදු සූරියබණ්ඩාර 24 හැවිරිදි වියේ පසුවන්නේය. ඔහු පළමු පෙළ තරග 38 කට සහභාගිවෙමින් ලකුණ් 2799 ක් රැස් කරගෙන සිටින්නේ ශතක 8 ක් සහ අර්ධ ශතක 12 ක් සමගිනි. ගෙවී ගිය මාස කීපය මුළුල්ලේදීම පිතිකරුවකු ලෙස දැඩි ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට සමත්ව සිටින දකුණත් පිතිකරුවාගේ ඉනිමක ලකුණු ලබා ගැනීිමේ සාමාන්‍ය 54.88 ක් ලෙසින් සටහන් වේ. එක්දින තරග 55 කට ද ක්‍රීඩා කර ඇති පසිඳු ලකුණු 1483 ක් රැස් කරගෙන සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 34.48 ක් රඳවා ගනිමිනි.
තරගාවලියේ පළමුවෙන්ම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය පැවැත්වෙන අතර එහි පළමු වැන්න අගෝස්තු මස 31 වැනිදා පැවැත්වේ. එම තරගාවලිය අතරතුරදී සැප්තැම්බර් මස 08 වැනිදා ආරම්භ වන සිව්දින තරගාවලිය සඳහා ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයින් කණ්ඩායමට එකතුවීමට නියමිත වේ.
“ප්‍රතිවාදීන් බැලුවහම එයාලගේ රටට ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් හත් දෙනෙක් ක්‍රීඩා කරනවා. ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් දෙකටම. හොද ප්‍රතිවාදී කණ්ඩායමක් සිටිනවා. මං කලින්කිව්වා වගේ අපේ කණ්ඩායමේ ඉන්නවා අවුරුදු 23 ට අඩු ක්‍රීඩකයින් හත් දෙනෙක්. මං හිතනවා මේක හොද අවස්ථාවක් ඒගොල්ලොන්ට. මොකද ඉදිරියට අපිට දකුණු අප්‍රිකානු සංචාරයක් තියෙනවා. මේ කණ්ඩායමේ ක්‍රීඩකයන් දක්වනු ලබන දක්ෂතා ගොඩක් වැදගත් වෙයි ඒගොල්ලන්ට ඉස්සරහට තියෙන ජාතික කණ්ඩායමේ තරග සංචාරයට“ යැයි අවිශ්ක ගුණවර්ධන වැඩිදුරටත් සදහන් කර සිටියේය.
පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර, කමිල් මිශාර, පවන් රත්නායක, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්ච්ගේ, දුශාන් හේමන්ත, සොනාල් දිනූශ, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාස්, වනුජ සහන්, චමිඳු වික්‍රමසිංහ, එශාන් මාලිංග, දිනුර කළුපහන සහ කවිඳු නදීශාන්
සිව් දින තරග සංචිතය;
පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර, පවන් රත්නායක, නුවනිඳු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, සොනාල් දිනූශ, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාස්, නිශාන් පීරිස්, වනුජ සහන්, ඉසිත විජේසුන්දර, එශාන් මාලිංග, ඕෂධ ප්‍රනාන්දු, විශාද් රන්දික, ජනිත් ලියනගේ සහ දිනුර කළුපහන