slc
logo
Home   |    News
අගෝස්තු 30, 2024
නැෂනල් යූත් ලීග් 17 න් පහළ ආධිපත්‍ය කොළඹ දකුණට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17 න් පහළ බාළක ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු කලම්බු සවුත් කණ්ඩායම අද (30 දා) පස්වරුවේදී සමත්විය.  

ඉතිහාසයේ පළමු වතාවට අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර ර ගනිමින් දිස්ත්‍රික් තරගාවලියක් පැවැති පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වුණු මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී කැන්ඩි කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 5 ක මුදලටද හිමිකම් කීය. අනුශූරතාවට පත් කැන්ඩි කණ්ඩායමට මුදලින් ලක්ෂ 3 ක් පිරිනැමිණ.

ලකුණු 193 ක ඉලක්කයක් හඹා ගිය කලම්බු සවුත් කණ්ඩායම පන්දුවාර 35.4 ක් පමණක් වැය කරමින් ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදී කණ්ඩායම හමුවේ පිරිනමමිනි. කලම්බු කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ විමත් දින්සර පන්දු හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමඟින් පන්දු 65 කදී ලකුණු 77 ක් රැස් කළේය. තරගය නිමා වීමට පෙර හයේ පහරක් එල්ල කළ විමත්, ජයග්‍රාහී පරතරය ලකුණු 3 ක් බවට පත් කර ගත්තත් ඊළඟ පන්දුවෙන් තරගය නිමා කිරීමට ගත් උත්සාහයේදී ඔහු දැවී ගියේය. ඔහුට අමතරව සාර්ථක පිතිහරඹයක නිරත වුණු ආරම්භක පිතිකරු රෙහාන් පීරිස් පන්දු 66 කදී ලුණු 52 ක් රැස් කළේ ආරම්භය ශක්තිමත් කරමිනි. ඔවු හා අනෙක් ආරම්භක පිතිකරුවා වූ සුහස් ප්‍රනාන්දු පන්දු 46 කදී ලකුණු 35 ක් එක් කරන ලද්දේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සාර්ථක සම්බන්ධතාවයක්ද පවත්වමිනි.

කාසියේ වාසිය දිනා ගත් කලම්බු සවුත් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා කැන්ඩි කණ්ඩායමට ආරාධනා කර සිටියේය. ඒ අනුව ඉනිම ආරම්භ කළ කැන්ඩි කණ්ඩායමට රන්දීෂ බණ්ඩාරනායක ප්‍රමුඛ කලම්බු සවුත් පන්දු යවන්නන් හමුවේ රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 38.2 කදී සියලු දෙනා දැවී ලකුණු 192 ක් පමණි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන් සමත් වුවත් ජොෂුවා සෙබස්ටියන් විසින් කාශ්‍යප දිසානායක දවා ගැනීමට සමත්වීමත් සමඟ කැන්ඩි පිලේ කඩුලු දැවී යෑම ආරම්භ විය.

කෙසේ වෙතත් අනෙක් ආරම්භක පිතිකරුවා වූ කෞෂික කුමාරසිංහ පන්දු 46 කදී ලකුණු 47 ක් ලබා ගත්තද මැද පෙළ කිසිම පිතිකරුවකුට දිගු ඉනිම කරා යෑමට නොහැකි විය. කෙසේ වෙතත් පසුපෙළින් පැමිණි කඩුලු රකින ක්‍රීඩක ආදම් හිල්මි පන්දු 47 කදී ලකුණු 42 ක් වාර්තා කිරීම නිසා ලකුණු 200 සීමාවේ ආසන්නයට පැමිණීමට කැන්ඩි කණ්ඩායමට අවස්ථාව උදාවිය.

කැන්ඩි කණ්ඩායමේ පළමු කඩුලු 8 ම ලකුණු 147 ක් ඇතුළත බිඳ වැටුණද ආදම් හිල්මි සමඟ එක්වූ කෙනුල පිහිලිංග 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 42 ක් එකතු කරමින් කැන්ඩි පිලේ ලකුණු සංඛ්‍යාව 200 ආසන්නයට රැගෙන ගියහ. පන්දු යැවීමේදී කැපී පෙනුණු රන්දීෂ බණ්ඩාරනායක ලකුණු 29 කට කඩුලු 3 ක් බිද හෙළද්දී කැන්ඩි පිතිකරුවන් මට්ටු කිරීම සඳහා කලම්බු සවුත් නායක විමත් බින්සර කැඳවන ලද පන්දු යවන්නන් 6 දෙනාම එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

තරගාවලියේ ජය සංඛේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධාන කමිටුවේ ලේකම් කසුන් ප්‍රනාන්දු සහ උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ සභාපති සහ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් වනෝජ් විජේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී අවසන් මහ තරගයේ වීරයා ලෙසින් කලම්බු සවුත් කණ්ඩායමේ නායක විමත් දින්සර නම් කෙරිණ. ඒ වෙනුවෙන් ඔහුට කුසලාන සමඟ මුදලින් රු. 50,000 ක් පිරිනැමිණ.

මෙවර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් මූලික තරග වටයේ තරග 4 කදී කඩුලු 7 ක් බිඳ හෙළූ කලම්බු නෝර්ත් කණ්ඩායමේ මෙවන් දිසානායකද, දක්ෂතම පිතිකරුවා ලෙස තරග 4 කදී ලකුණු 223 ක් රැස් කළ එම ණ්ඩායමේම දුලුනිත් සිගේරාද සම්මාන දිනා ගත්හ. ඔවුන් දෙදෙනාටම එම කුසලානවලට අමතරව මුදලින් රු. 50,000 ක මුදලක් පිරිනැමිණ.

තරගාවලියේ වැඩිම අවධානයක් දිනා ගන්නා ලද දක්ෂතම ක්‍රීඩකයා සම්මානය කැන්ඩි කණ්ඩායමේ නායක කවීජ ගමගේ විසින් දිනා ගන්නා ලදී. ඔහු මෙවර තරගාවලියේ මූලික වටයේ තරග 4 කදී ශතක 2 ක් සහ අර්ධ ශතකක් සමගින් ලකුණු 291 ක්ද පන්දු යවමින් කඩුලු 3 ක්ද දවා ගනිමින් එම කුසලානයට අමතරව මුදලින් රු. 75.000 ක මුදල දිනා ගත්තේය.

කැන්ඩි කණ්ඩායම පන්දුවාර 38.2 කදී සියලු දෙනා දැවී ලකුණු 192 යි –

කෞෂික කුමාරසිංහ 47, කාෂශ්‍යප දිසානායක 13, දිමන්ත මහවිතාරණ 19, කවීජ ගමගේ 04, කලන හේරත් 13, සෙත්මික සෙනෙවිරත්න 14, ආදම් හිල්මි 42, රයන් ග්‍රෙගරි 03, දසුන් වැලිඅංග 01, කෙනුල පිලිලිංග 19*, නිමේෂ් සිල්වා 02, රන්දීෂ බණ්ඩාරනායක 29/3, හිරූෂ ප්‍රනාන්දු 41/1, ජොෂුවා සෙබස්ටියන් 20/1, ඔෂාන් ද සිල්වා 31/1, අඅබීත පරණවිදාන 28/1, රමිරු පෙරේරා 28/1, විමත් දින්සර 11/1

කලම්බු සවුත් පන්දුවාර 35.4 කදි කඩුලු 4 ක් දැවි ලකුණු 193 යි –

විමත් දින්සර 77, රෙහාන් පීරිස් 52, සුහස් ප්‍රනාන්දු 35, දිනෙත් සිතුමිණ 18*, ඔසාන් ද සිල්වා 00, රමිරු පෙරේරා 04, රයන් ග්‍රෙගරි 34/2, කෙනුල පිහිලිංග 43/1

අවසන් මහ තරගයේ වීරයා වූ විමත් දින්සර එම ශූරතා කුසලාන උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ සභාපති සහ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් වනෝජ් විජේසිංහ මහතා අතින් ලබා ගත් අවස්ථාව.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වූ කලම්බු නෝර්ත් කණ්ඩායමේ මෙවන් දිසානායක එම කුසලාන උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ සභාපති සහ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් වනෝජ් විජේසිංහ මහතා අතින් ලබා ගත් අවස්ථාව.
තරගාවලියේ දක්ෂතම පිතිකරුවා වූ කලම්බු නෝර්ත් කණ්ඩායමේ  දුල්නිත් සිගේරා එම කුසලාන ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධාන කමිටුවේ ලේකම් කසුන් ප්‍රනාන්දු මහතා අතින් ලබා ගත් අවස්ථාව.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූණු මහනුවර කණ්ඩායමේ නායක කවීජ ගමගේ එම කුසලාන සහ චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග සංවිධාන කමිටුවේ ලේකම් කසුන් ප්‍රනාන්දු මහතා අතින් ලබා ගත් අවස්ථාව.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee